ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැබිනට් තීරණ

    මූල්‍ය අංශයේ නියාමකයන් අතර තොරතුරු හුවමාරු කිරීම

     

    මූල්‍ය අංශයේ ස්ථායීතාව ප‍්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය අංශයේ සංවර්ධනය  සඳහා මූල්‍ය අංශයේ නියාමකයන් විසින් සාමූහිකව ගත යුතු ක‍්‍රියාමාර්ග හඳුනාගැනීමේ අරමුණින් අන්තර් නියාමන ආයතනික සභාව පිහිටුවන ලදී.

    කොළඹ නෙළුම් කුලුනට සමගාමී ව යෝජිත නෙළුම් කුලුන සාප්පු හා විනෝදාත්මක ක‍්‍රීඩා සංකීර්ණය
     
    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් කොළඹ නෙළුම් කුලුන නම් මීටර් 350ක් උස බහුකාර්ය කුලුන හා විනෝද කටයුතු මධ්‍යස්ථානයක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදි කරනු ලබයි. නෙළුම් කුලුන ආශ‍්‍රිත භූමි ප‍්‍රදේශය වාහන නැවැත්වීමේ පහසුකම් ද සහිතව අවශ්‍ය යටිතල පහසුකම් ද සමඟින් විනෝද උයනයක් වශයෙන් සංවර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ. කුලුනේ ව්‍යුහාත්මක කටයුතු 2015 ජූනි මස වන විට නිම කිරීමට අපේක්ෂිතය. අතිගරු ජනාධිපතිතුමන් ගේ යෝජනාවකට අනුව යාබද භූමියෙන් අතිරේක ඉඩම් ප‍්‍රමාණයක් පවරා ගැනීමට හා අදාළ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි. 

    ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාව හා විස්වාසය ඇති කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් නියාමනය කිරීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම.


    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙහි නිර්දේශ අතර විශේෂ අවධානයක් සහජීවනය ඇති කිරීම පිළිබඳව යොමු වී ඇත. රජයේ විවිධ ආයතන මේ සම්බන්ධ විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති ජාතික හා ප්‍රාදේශීය තලයන්හි ක්‍රියාත්මක කරමින් පවති. අතිගරු ජනාධිපතිතුමා විසින් යෝජනා කරන ලද පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    මනුෂ්‍ය හෘද කපාට බැංකුවක් ස්ථාපිත කිරීම

     

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට වසරකට දරුවන් 2500 - 3000ක් පමණ සහජ හෘද දෝෂ සහිත ව උපත ලබන බවට ඇස්තමේන්තු කර ඇති අතර මොවුන් අතුරින් 2000ක් පමණ ශල්‍යකර්ම කළ යුතුව ඇත. මෙවැනි එක් කපාටයක් සඳහා රුපියල් 300000ක් පමණ වැය වන අතර එම මුදල රජය විසින් දරනු ලැබේ.

    දේශීය බැංකුවලින් ණය ලබාගෙන ප්‍රමූඛ ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

    නාගරික ඝන අපද්‍රව්‍ය පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයට සංක්‍රාමණය හා බැහැරලීම

    රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ (සංශෝධිත) පනත් කෙටුම්පත
     
    අතිගරු ජනාධිපතිතුමා විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කරන ලද ඉහත කී සංශෝධිත පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව මෙම සංශෝධිත පනත මඟින් පහත සඳහන් විධිවිධානයන් රක්ෂණ කර්මාන්ත පනතට අන්තර්ගත කරනු ලැබේ.

    • ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය යන නාමය “රක්ෂණ නියාමන කොමිසම් සභාව” යනුවෙන් වෙනස් කිරීම.
    • සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයක් හෝ දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා සැලසුම් නිශ්චය කිරීම.
    •දේශීය පාලිත රක්ෂණ සමාගමේ කොටස්වලින් අවම වශයෙන් 85%ක් ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටියා වූ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තුගත කර ඇති හා එම ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය, ව්‍යාපාර වස්තු විනිමය ස්ථාන පිළිබඳ ලෝක සම්මේලනයේ සාමාජිකයෙකු වුවද විදේශීය පාලක රක්ෂණ සමාගමක් විසින් දරනු ලබන්නේ නම්, එම දේශීය පාලිත රක්ෂණ සමාගම 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසම් සභා පනත යටතේ බලපත්‍ර ලබාදෙන ලද ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තු ගත කිරීමෙන් නිදහස් කිරීම.
    • යම් රක්ෂිත නියෝජිතයෙකුට එක් සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයක් හා එක් දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරයක් සඳහා සේවය කිරීමට ඉඩ සැලසීම.
     
    ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නව පනත
     
    පරමාණුක ශක්ති අධිකාරිය ස්ථාපනය සඳහා සහ අදාළ බලතල සහ කාර්යයන් පවරාදීම සඳහා දැනට විධිවිධාන සපයා ඇත්තේ 1969 අංක 16 දරන පරමාණුක ශක්ති අධිකාරි පනත මඟිනි. 1969 වසරේ සිට මේ දක්වා පරමාණුක ශක්ති භාවිතයන් පිළිබඳ පනවා ඇති නීතිරීතීන්හි සැලකිය යුතු අන්දමේ වෙනස්කම් සිදුව ඇති අතර එම පනත සඳහා නව විධිවිධාන කිහිපයක් ඇතුළත් කිරීමේ අවශ්‍යතාව පැන නැග ඇත. උපදේශ සහ ප්‍රවර්ධන කාර්යයන්වලින්, න්‍යාමක කාර්යයන් වෙනස් කිරීමේ අවශ්‍යතාව වැදගත් වන බැවින් පරමාණුක බලශක්තීන්හි සාමකාමි භාවිතය පිළිබඳ සියලු අවශ්‍යතාවන් මෙන්ම පරමාණුක බලශක්ති භාවිතයට ගැනීම නියාමනය කිරීම සඳහා ප්‍රමාණවත් විධිවිධානයන්ද ඇතුළත් කරමින් නව ව්‍යවස්ථාවක් පැනවීම අවශ්‍ය වේ. 
     
    මෙම පනත් කෙටුම්පත මඟින් “ශ්‍රී ලංකා පරමාණුක ශක්ති මණ්ඩලය” සහ “ශ්‍රී ලංකා පරමාණුක නියාමන සභාව” යන ආයතනයන් 02ක් ස්ථාපනය සඳහා විධිවිධාන සැලසේ. දැනට පවතින පරමාණුක ශක්ති අධිකාරිය වෙනුවට මෙම ආයතන දෙක පිහිටුවනු ලැබේ. මේ සම්බන්ධයෙන් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     
    කටාන ජලසම්පාදන ව්‍යාපෘතිය -  1 වන අදියර
     
    කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ජලනළ පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකරනු ලැබේ. මෙහි 1 වන අදියර කටාන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 45ක ජනගහනයෙන් 50%ක් ආවරණය කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් 35,500,000.00 සහ ශ්‍රී.ලං.රු. 4,065,195,253.00ක් වැයවනු ඇත. මෙම මුදලින් රු. මිලියන 2,031.01ක් ශ්‍රී ලංකා රජය මඟින් වැය කරනු ලැබේ. මෙම 1 වන අදියර සම්බන්ධ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     
    ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) මඟින් නඩත්තු කරනු ලබන බෙදාහැරීම් ජාලයේ ධාරිතාව වැඩිදියුණු කිරීම
     
    මීගමුවේ සිට ගාල්ල දක්වා වන බටහිර වෙරළ තීරයේ විදුලි බෙදා හැරීමේ ජාලය ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ) මඟින් ක්‍රියාකරවනු ලබයි. මේ සඳහා මුළු ප්‍රාථමික උප පොළ 31ක් උපරිම ස්ථාවර ධාරිතාවන්ට බලගන්වා ඇත. කි.වො. 33/11 ප්‍රාථමික උප පොළයන් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර මත පවිත්‍ර බලශක්ති හා ප්‍රවේශ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කටුනායක, කොටිකාවත්ත, කිරිබත්ගොඩ, නාවල හා හික්කඩුව යන ප්‍රදේශයන්හි ලෙකෝ සමාගම විසින් ක්‍රියාත්මක කරමින් පවතී. බෙදා හැරීමේ ජාලයේ ධාරිතාව සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 2164.3ක වියදමින් මෙම කටයුතු සම්පූර්ණ කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     
    ජාතික ක්‍රීඩා කෞතුකාගාරය ඉදිකිරීම
     
    ක්‍රීඩාවේ ඓතිහාසික වැදගත්කම අනාගත පරපුරට උරුමකර දීමට මානව විද්‍යාත්මක වැදගත්කමකින් යුතු ක්‍රීඩාව හා බැඳි වැදගත්කමක් සංරක්ෂණය කිරීම සඳහා කෞතුකාගාරයක් නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව පිහිටි දිවංගත එෆ්. ආර්. සේනානායක මහතාගේ පාරම්පරික නිවසේ ස්ථාපිත කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

     
    2015 - 2017 මධ්‍යම කාලීන අයවැය රාමුව සහ 2015 වසර සඳහා අයවැය සකස් කිරීම
     
    2016 වසර වන විට ශ‍්‍රී ලංකාව දිළිඳුබවින් තොර රටක් බවට පත්කිරීම හා අඛණ්ඩව ඒකපුද්ගල ආදායම වර්ධනය කර ගැනීම අරමුණු කර ගත් රජයේ දෙවන පස් අවුරුදු සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව 2011 වසරේ සිට ක‍්‍රියාත්මක කෙරිණ. රජය ප‍්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී හා දිළිඳු පවුල් පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් වැඩි ජීවනෝපාය හා රැකියා අවස්ථා, ආහාර ආරක්ෂණය, බලශක්ති ආරක්ෂණය හා පාරිසරික ආරක්ෂණය ඇති කිරීම මඟින් සංවර්ධනය තහවුරු කිරීම සඳහා 2015 -2017 මධ්‍යම කාලීන අයවැය රාමුව කෙරෙහි අවධානය යොමු කරයි. සමාජ සංවර්ධනය, මූලික යටිතල පහසුකම් හා ආර්ථික දර්ශක අතින් ජාතික සාමාන්‍ය අගයට වඩා පහළින් සිටින දිස්ත‍්‍රික්කවල සෞඛ්‍ය, අධ්‍යාපනය, මාර්ග හා ආරක්ෂිත පානීය ජලය වැනි මූලික යටිතල පහසුකම් සඳහා ප‍්‍රවේශය ඉහළ නැංවීම කෙරෙහි ප‍්‍රමුඛත්වය ලබාදෙමින් 2015 - 2017 මධ්‍යම කාලීන අයවැය රාමුව තුළ සිටිමින් 2015 අයවැය සකස් කිරීමට යෝජනා වී ඇත. අදාළ කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.
     
    ඒ 5 මාර්ගයේ බදුල්ල සිට චෙන්කලාඩි දක්වා ප‍්‍රතිසංස්කරණය කිරීම
     
    පේරාදෙණිය-බදුල්ල-චෙන්කලාඩි මාර්ගය නැගෙනහිර පළාත මධ්‍යම පළාත හා සම්බන්ධ කරන ප‍්‍රධාන මහා මාර්ගයකි. පේරාදෙණිය සිට බදුල්ල දක්වා මාර්ග කොටස මේ වන විටත් පිළිසකර කර ඇත. බදුල්ල සිට චෙන්කලාඩි දක්වා වූ කිලෝමීටර 151.3ක් වන ඉතුරු කොටස ඇ.ඩො. මිලියන 140ක ඇස්තමේන්තුගත වියදමකින් සංවර්ධනය කිරීමට නියමිතය. 
     
    ව්‍යාපෘතිය සඳහා වන අරමුදල් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල හා සෞදි සංවර්ධන අරමුදල විසින් ලබා දෙන අතර ශේෂය ශ‍්‍රී ලංකා රජය විසින් දරනු ලැබේ. මේ සඳහා පළමු ව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමකට එළඹීම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.
     
    2015 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන
     
    රජය විසින් උපාය මාර්ගිකව හා ඉලක්කගත සැලසුම් යටතේ ප‍්‍රාදේශීය මට්ටමින් ක‍්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කාර්යයන් ජනතාව වෙත පුළුල් ලෙස සමීප කිරීම සඳහා ජාතික නිදහස් උත්සවයට සමගාමීව දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයක දැයට කිරුළ වැඩසටහන ක‍්‍රියාත්මක කර තිබේ. එ මඟින් ප‍්‍රධාන සංවර්ධන වැඩසටහන් මඟින් අවරණය නොවූ ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා මෙන් ම ඔවුන් එදිනෙදා මුහුණ දෙන ආයතනික ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම ද සිදු වේ. 
     
    2015 දැයට කිරුළ වැඩසටහන ගාල්ල, මාතර, හම්බන්තොට හා රත්නපුර යන දිස්ත‍්‍රික්කවල ක‍්‍රියාත්මක කෙරේ. දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට හා 2015 නිදහස් දින සැමරුමට සමගාමී ව දැයට කිරුළ ප‍්‍රදර්ශනය කඹුරුගමුව, කොටවිල වත්ත භූමියේදී හා මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැත්වේ. අදාළ කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.
     

    මහාචාර්ය ආරියරත්න ඇතුගල
    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

    තායිලන්තයේ පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය සාකච්ඡාව

     

    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ මූලිකත්වයෙන් වූ ශ්‍රී ලංකා දූත පිරිසක් මෙම සාකච්ඡාවට සම්බන්ධ විය. මෑතකදී පැවැත්වූ මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වූයේ, සහස්‍ර සංවර්ධන ඉලක්ක පාදම මත 2015න් පසු ශක්තිමත් සංවර්ධන න්‍යායපත්‍රයක් ගොඩනැගීම සඳහා ගෝලීය එකඟතාවකට එළඹීමය. මෙම සාකච්ඡාවට රටවල් 32කට වඩා රාජ්‍ය නියෝජිත පිරිසක් හා වෙළඳ හා සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගි වූහ. මෙම විස්තර කැබිනට් මණ්ඩලයට සපයනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසිනි.

     

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන සඳහා මාල දිවයින් රාජ්‍ය සමඟ අවබෝධතා ගිවිසුම්

     

    මේ සඳහා අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදෙන ලදී. මේ අනුව ශ්‍රී ලංකාවේ රජයේ පිළිගත් ආයතනවලදී මාල දිවයින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු පිරිසගේ මානව සම්පත් සංවර්ධනය කිරීම සහ ඖෂධ එන්නත් සහ වෛද්‍ය උපකරණ මිලදි ගැනීම සඳහා මාල දිවයින් රජයට උපකාර කිරීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් පුහුණු කිරීමට ඉඩ සැලසේ.

    ජන සෙවණ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන - කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේකැලේ නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එම අධිකාරියට අයත් ඉඩම්වල ජන සෙවණ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ දැනට ඉඩම් නොමැති ජනතාව සඳහා දේශීය පෞද්ගලික අයෝජකයන්ගේ සහයෝගය මත කුණ්ඩසාලේ පල්ලේකැලේ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යෝජනා කර ඇත. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

     

    2015 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව දකුණු පළාත තුළ මගී ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම

     

    පහත සඳහන් බස්නැවතුම් පොළවල් 4 ක් දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමීව ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි රු. මිලියන 85ක වියදමින් ඉදිකිරීමට පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය ආර්.එම්.සී.බී. රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

     

    මෙම බස්නැවතුම් පොළවල් වන්නේ ගාලු දිස්ත්‍රික්කයේ හබරාදූව බස්නැවතුම් පොළ, මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස බස්නැවතුම් පොළ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර හා වලස්මුල්ල බස්නැවතුම් පොළවල්ය.

     

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා නව උද්භිද උද්‍යාන පිහිටුවීම සහ පවත්නා උද්‍යාන වල පහසුකම් වැඩිදියුණු කිරීම

     

    විදේශීය හා දේශීය සංචාරකයන් උද්භිද උද්‍යාන නැරඹීම සඳහා පැමිණීම ශීඝ්‍ර වශයෙන් ඉහළ ගොස් ඇති අතර මේ මඟින් රජයට 2013 දී රු. මිලියන 416.5ක ආදායමක් හා 2014 මුල් මාස පහ ඇතුළත රු. මිලියන 219.8ක ආදායමක් ලැබී ඇත. ඒ අනුව පහත සඳහන් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

    මෙම කටයුතු වන්නේ,
    •2014 සැප්තැම්බර් මස විවෘත කිරීමට නියමිත අවිස්සාවේල්ලේ තෙත් කලාපීය උද්භිද උද්‍යානයේ කටයුතු ක්‍රියාත්මක කිරීම.
    •හම්බන්තොට මිරිජ්ජවිල උද්භිද උද්‍යානයේ දෙවෙනි අදියරේ කටයුතු ඉතිරි භූමි ප්‍රදේශය තුළ සංවර්ධනය කිරීම.
    •හග්ගල උද්භිද උද්‍යානයේ අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීම.

     

    ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර අංක 2518/2519(SF)-SRI (Clean Energy & Access Improvement Project) යටතේ ප්‍රයෝජනයට නොගත් අරමුදල් මඟින් කැලණිය ග්‍රීඩ් උපපොළ වැඩිදියුණු කිරීම

     

    කැබිනට් අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පදාන කමිටුව මඟින් නිර්දේශිත ටෙන්ඩර්කරුට මේ සඳහා වන ටෙන්ඩරය ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී. මේ සම්බන්ධයෙන් කිසිම පැමිණිල්ලක් අනෙකුත් ටෙන්ඩර්කරුවන්ගෙන් ලැබී නොමැති බවද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කෙරිණි.

     

    සපුගස්කන්ද විදුලි බලාගාරයේ පිටාර වායු නල පද්ධතිය අලුත්වැඩියා කිරීම

     

    කැබිනට් අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පදාන කමිටුව මඟින් නිර්දේශ අනුව ඉහත කී ටෙන්ඩරය ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

     

    මේ සම්බන්ධයෙන් කිසිම පැමිණිල්ලක් අනෙකුත් ටෙන්ඩර්කරුවන්ගෙන් ලැබී නොමැති බවද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කෙරිණි.

     

    නගමු පුරවර - මහල් නිවාස හා යටිතල පහසුකම් නවීකරණ කිරීම

     

    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉහත කී කටයුතු සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා 2 කට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.

     

    ඒ අනුව පහත සඳහන් වැඩකටයුතු මහා භාණ්ඩාගාරය මඟින් සපයනු ලබන ප්‍රතිපාදන උපයෝගී කරගෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් නගමු පුරවර 2014 වැඩසටහන යටතේ ක්‍රියාවට නංවනු ඇත.

    1. රු. මිලියන 122.1 ක වියදමින් නිවාස යෝජනා 9ක් රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව මඟින් නවීකරණය කිරීම. මෙම නිවාස යෝජනා වන්නේ,
    •සර් ජේම්ස් පීරීස් මාවතේ නිවාස යෝජනා ක්‍රමය
    •කොළඹ - 08 කැටවලමුල්ල නිවාස යෝජනා ක්‍රමය
    •කොළඹ - 09 මල්ලිකාරාම නිවාස යෝජනා ක්‍රමය
    •බත්තරමුල්ල ජයවඩනගම නිවාස යෝජනා ක්‍රමය
    •මොරටුව ඉද්දලවත්ත නිවාස යෝජනා ක්‍රමය
    •රාගම එළපිටිවල නිවාස යෝජනා ක්‍රමය
    •කොළඹ - 09 ඩැනිස්ටර් ද සිල්වා මාවත නිවාස යෝජනා ක්‍රමය
    •මොරටුව ජයගත්පුර නිවාස යෝජනා ක්‍රමය
    •මොරටුව ගුඩ්විල්වත්ත නිවාස යෝජනා ක්‍රමය

     


    2. රු. මිලියන 620ක වියදමින් නිවාස යෝජනා 18ක් රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව මඟින් නවීකරණය කිරීම. මෙම නිවාස යෝජනා වන්නේ,
    •මුල්ලේරියාවේ හිඹුටුඋයන නිවාස යෝජනා ක්‍රමය
    •පිළියන්දල සයිමන් ඩේල් නිවාස යෝජනා ක්‍රමය
    •රාගම එළපිටිවල නිවාස යෝජනා ක්‍රමය
    •කොළඹ - 05 නාරාහේන්පිට චිත්‍රා ලේන් නිවාස යෝජනා ක්‍රමය
    •කොළඹ - 10 මාලිගාවත්ත දුම්රිය සේවක නිවාස යෝජනා ක්‍රමය
    •කොළඹ - 12 පිටකොටුව ඩයස් ප්ලේස් නිවාස යෝජනා ක්‍රමය
    •කොළඹ - 10 මරදාන කම්මල්වත්ත නිවාස යෝජනා ක්‍රමය
    •කොට්ටාව මත්තේගොඩ නිවාස යෝජනා ක්‍රමය
    •කොළඹ - 06 කිරුළපන පාමංකඩ නිවාස යෝජනා ක්‍රමය
    •කොළඹ - 07 නාරාහේන්පිට ටොරින්ටන් ප්‍රදේශයේ අඩුආදායම්ලාභීන්ගේ නිවාස යෝජනා ක්‍රමය.
    •කොළඹ - 05 නාරාහේන්පිට මැනිං ටවුමේ මාතා පාර නිවාස යෝජනා ක්‍රමය
    •කොළඹ - 08 බොරැල්ල ගෝතමී පාර නිවාස යෝජනා ක්‍රමය
    •බොගවත්ත ඇල්බියන් වීදියේ නිවාස යෝජනා ක්‍රමය.
    •කොළඹ - 06 කිරුළපන සිද්ධාර්ථපුර නිවාස යෝජනා ක්‍රමය
    •කොළඹ - 12 අලුත්කඩේ පීර්සාහීබූ නිවාස යෝජනා ක්‍රමය
    •රත්මලාන ඡන්ද කොට්ඨාසයේ නිවාස 20 යෝජනා ක්‍රමය
    •කොළඹ - 12 අලුත්කඩේ නවලෝක K සහ J නිවාස යෝජනා ක්‍රමය
    •දෙමටගොඩ බේස්ලයින් පාරේ නිවාස යෝජනා ක්‍රමය

     

     

    කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයේ ඉතුරුව පවතින ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම

    අදාළ ගොඩනැගිල්ලේ ඉතුරු ව පවතින මහල් 14ක ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම පිළිබඳ කාර්යයන් ඉදිරියට කරගෙන යාම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ ජාතික ළමා උපදේශන මධ්‍යස්ථානයක් සහ ජාතික ළමා රැකවරණ නිවහනක් පිහිටුවීම

    ළමා අපචාර හා අනෙකුත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්හි වින්දිතයන් බවට පත් වූ දරුවන්ට නවාතැන් පහසුකම් සැලසීම හා එවැනි වින්දිතයන්ට උපදේශනය ලබාදීම අරමුණු කර ගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ ජාතික ළමා උපදේශන මධ්‍යස්ථානයක් සහ ජාතික ළමා රැකවරණ නිවහනක් පිහිටුවීම හා ඊට අදාළ කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.

    2014 අයවැය කතාවේ අංක 22 ජේදය යටතේ ළමා අපයෝජනය හා කාන්තා හිංසනය යන ශීර්ෂ සහිත ව විශේෂ සඳහනකින් යුතු ව අයවැය ඇස්තමේන්තු මඟින් ලබා දෙන ලද ප‍්‍රතිපාදනයෙන් රුපියල් මිලියන 90ක් වර්ග අඩි 19,716ක් සහිත ජාතික ළමා උපදේශන මධ්‍යස්ථානය සහ ජාතික ළමා රැකවරණ නිවහන ඉදිකිරීම වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කර ඇත.


    කටුනායක අපනයන සැකසුම් කලාපයේ මධ්‍යම අපවහන පිරියම් යන්ත‍්‍රාගාරය වැඩිදියුණු කිරීම /අධිශ්‍රේණිකරණය සඳහා විද්‍යුත් යාන්ත‍්‍රික උපකරණ සැපයීම හා ස්ථාපනය

    පවත්නා කර්මාන්තවල මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත වීම හා නව කර්මාන්ත පිහිටුවීම මත කටුනායත අපනයන සැකසුම් කලාපය සිදු වන ක‍්‍රියාකාරකම්වල වර්ධනය සැලකිල්ලට ගනිමින් කර්මාන්තවලින් පිටකරන අප ජලය පිරියම් කිරීමේ පවත්නා හා අනාගත අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කටුනායක අපනයන සැකසුම් කලාපයේ මධ්‍යම අපවහන පිරියම් යන්ත‍්‍රාගාරය වැඩිදියුණු කිරීමට යෝජනා කෙරී ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත සඳහන් ටෙන්ඩරය ප‍්‍රදානය කිරීම සඳහා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ. අසාර්ථක ලන්සුකරුවන් ගෙන් අභියාචන ලැබී නොමැති බව ද අමාත්‍ය මණ්ඩලය සඳහන් කළේ ය.


    කන්තලේ, හිඟුරාණ, සෙවණගල හා පැල්වත්ත සීනි කර්මාන්ත සංවර්ධනය කිරීම

    2020 වන විට රටෙහි සීනි අවශ්‍යතාවෙන් 40%ක් දේශීය වශයෙන් නිපදවීම අරමුණු කර ගනිමින් ඉහත සීනි කර්මාන්තායතනයන් පුනරුත්ථාපනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරී කමිටුවේ නිර්දේශ මත සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ ව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. යෝජනාවේ ඇතුළත් ඇතැම් වැදගත් අංගයන් කිහිපයක් පහත දැක්වේ.

    Ø  ඉහත කර්මාන්තායතන හතර සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසු කම් ලබාගැනීම සඳහා 100% රාජ්‍ය සමාගමක් වන සී/ස ලංකා සීනි (පෞද්ගලික) සමාගම වෙත එහි හිමිකරු ප‍්‍රාග්ධනය වර්ධනය කිරීම සඳහා කන්තලේ, හිඟුරාණ, සෙවණගල හා පැල්වත්ත යන සීනි කර්මාන්තායතනවලට අයත් ඉඩම් හෙක්ටයාර 27,567ක් වසර 99ක් සඳහා බදු දීම.

    Ø  චෙක් ජනරජයේ සහාය ඇති ව කන්තලේ සීනි කර්මාන්තායතනය සංවර්ධනය කිරීම හා නවීකරණය කිරීම

    Ø උක් වගා කිරීම සඳහා ඉඩම් කට්ටි, උක් මිල දී ගැනීම පිළිබඳ ව ගොවීන් සමඟ ඇති කරගන්නා ගිවිසුම් මඟින් ඔවුන් වෙත ලබාදීම. දැනටමත් උක් වගාවේ යෙදී සිටින හා අදාළ කර්මාන්තායතන පිහිටි දිස්ත‍්‍රික්ක තුළ වාසය කරන ගොවීන් හට ප‍්‍රමුඛතාව ලබාදේ.

     

    ඉහත වාර්තාවේ අඩංගු වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    මහාචාර්ය ආරියරත්න ඇතුගල
    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

    මුදල් වර්ෂය සඳහා වන මුදල් කොමිෂන් සභාවේ නිර්දේශය

    කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් නැවත පදිංචි කරවීමනාගරික සංවර්ධන අධිකාරිය කොළඹ නගරයේ පදිංචි පැල්පත්වාසීන් හා අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 65,000ක් පමණ ඉදිකිරීමට සැලසුම්කර ඇත.

    අඩු පහසුකම් ජනාවාසවල හා තාවකාලික නිවාසවල පදිංචිකරුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන

    නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මෙම පහසුකම් ජනාවාසවල හා තාවකාලික නිවාසවල පදිංචිකරුවන් පුනස්ථාපනය කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමට රජය විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙහි අරමුණ  දැනට අඩු පහසුකම් යටතේ ජීවත්වන ජනතාවට ඉහළ ගුණාත්මක බවකින් හා උසස් ප්‍රමිතියකින් යුතු නිවාස ලබා දීමයි. ඒ අනුව මහල් 15කින් යුතු නිවාස ‍යෝජනා ක්‍රමයක් ඇති කිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

    තුන්වැනි ඉස්තාන්බුල් ජාත්‍යන්තර ජල සංසදය මැයි 27 - 29 දක්වා
     

    ශ්‍රී ලංකාවේ දූත පිරිසක් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම සංසදයට සහභාගී වූහ.


    ජලය පිළිබඳ උගතුන්, විද්‍යාඥයන් සහ එම ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සහභාගී වූ මෙම සංසදයේදී ජල සුරක්ෂිතාව සහ ජලය පිළිබඳ නෛතික දෘෂ්ටික විෂයයන් කෙරෙහි අවධානය යොමු කරන ලදී.


    ජලය සහ සනීපාරක්ෂක ආසියානු කලාපය සඳහා වූ සාක්ෂරතා ඉලක්කයන්  මුදුන්පත් කර ගැනීම සඳහා පොදු ක‍්‍රියාපරිපාටියක් අනුගමනයක කිරීමට රැස්වීමේදී එකඟතාව පළ කරන ලදී. මෙම සංසදය පිළිබඳ වාර්තාවක් ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
     

    බෙදුම් නඩු නීතිය යටතේ සකස් කරන ලද මිනුම් රෙගුලාසි ගාස්තු


    දැනට පවතින රෙගුලාසි සංශෝධනය කර මිනුම් කටයුතු සඳහා නව ගාස්තු නියම කර එම ගාස්තු ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශ කිරීමටත් ඉන්පසු එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    ජනාධිපතිතුමා චීනයේ ෂැංහායි හි නිරත වූ සංචාරය - 2014 මැයි 20 සිට 21


    ජනාධිපති හමින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකාවේ දූත පිරිසක් ආසියාව තුළ අන්‍යෝන්‍ය ක‍්‍රියාකාරිත්වය ඇති කර ගැනීමේ හා විශ්වාසය ගොඩනගා ගැනීමේ පියවර පිළිබඳ 4 වැනි සමුළුවට සහභාගී වූහ.


    ජනාධිපතිතුමා සමුළුව අමතමින් නව ආසියානු ආරක්ෂක සංකල්පයක දැක්මේ වැදගත්කම පෙන්වා දෙමින් ආසියාවේ යම් කටයුත්තක් සමතයකට පත්කර ගැනීමේදී ආසියාව මුල් තැන ගැනීම යෝග්‍ය බව ද පෙන්වා දෙන ලදී. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ ජනාධිපතිතුමා පැවැත් වූ සාකච්ඡාවේදී ලෝක තරුණ සමුළුව ඉතා සාර්ථකව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් මහ ලේකම්වරයා ප‍්‍රශංසාව පළ කරන ලද අතර ශ‍්‍රී ලංකාව ආර්ථික හා සමාජීය වශයෙන් ලබා ඇති දියුණුව කෙරෙහි ද සතුට පළ කරන ලදී. මෙම වාර්තාව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන  ලදී.


    දේශීය වෙළෙඳපොළ තුළ පොල් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදකයන්ගේ භාණ්ඩ සඳහා නිසි වෙළෙඳපොළක් සකසා දීම


    පොල් හා ඒ ආශ‍්‍රිත නිමි භාණ්ඩ 150 ක් පමණ නිෂ්පාදනය වන අතර ඉන් තෝරා ගත් නිෂ්පාදන 50කට අධික ප‍්‍රමාණයක් විදේශ වෙළෙඳපොළට අපනයන කරයි.


    එ මඟින් රුපියල් බිලියන 50කට ආසන්න විදේශ විනිමයක් වාර්ෂිකව උපයා ගනු ලැබේ.  පොල් සංවර්ධන අධිකාරිය හරහා කොහු මෙට්ට, ඉදල්, පාපිසි, වැසිකිළි, කැසිකිලි පිරිසිදු කිරීමේ උපකරණ සියයට ප‍්‍රමාණයක් රාජ්‍ය ආයතනවලට ලබාදීමට පොල් සංවර්ධන ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර මහතා විසින් යෝජනා කරන ලදී.


    ඒ අනුව මෙම භාණ්ඩ සඳහා ටෙන්ඩර් කැඳවීමේදී දේශීය නිෂ්පාදකයන්ට 10%ක ප‍්‍රමුඛතාවක් දීමට කැබිනට් මණ්ඩලය එකඟ විය.


    දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ අරීය ගේට්ටු මධ්‍යයන පාලන ක‍්‍රමයක් යටතේ විදුලි පද්ධතියක් මඟින් පාලනය කිරීම


    දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ මඟින් අක්කර 30,000කට වාරි ජලය සපයන අතර කුරුණෑගල හා පුත්තලම දිස්ත‍්‍රික්කවල පවුල් 50,000කට පානීය ජලය සැපයීමට නියමිතය.


    මෙම ව්‍යාපෘතිය සඳහා අරීය ගේට්ටු මධ්‍යයන පාලන ක‍්‍රමයක් යටතේ පාලනය කිරීම සඳහා විදුලි පද්ධතියක් ස්ථාපනය කිරීමට වාරිමාර්ග හා ජල සම්පත්  කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

     
    කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ‍්‍රයේ රක්තකාන්දු පෙරණ ඒකකය සහ වකුගඩු රුධිරවාහිණි බද්ධ කිරීමේ ඒකකය ස්ථාපිත කිරීම


    මෙම නව ඒකකයන් දකුණු පළාතේ ප‍්‍රධානතම මධ්‍යස්ථානය වශයෙන් විශාල සේවාවක් ඉටු කරනු ලබන අතර මොණරාගල, රත්නපුරය වැනි යාබද දිස්ත‍්‍රික්කයන්හි ජනතාව ද මෙම ඒකකයේ සේවාවන් ලබා ගනු ලැබේ.


    මෙම ඒකකයන් ඇතුළත් නව පස් මහල් ගොඩනැගිලි සංකීර්ණයක් ඉඳිකිරීමටත් එය තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත ගොඩනැගිලි ඉඳිකිරීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් මිලියන 884.89කට ඉදිකිරීම් හා ඉංජිනේරු කාර්යාංශයට පැවරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ගල්අඟුරු දැවි අළු විකිණීම


    පුත්තලම් ගල්අඟුරු විදුලිබල ව්‍යාපෘතියේ 11 වන අදියරේ 2 වන යන්ත‍්‍රයේ කටයුතු 2014 අපේ‍්‍රල් මස ඇරැඹි අතර 3 වන යන්ත‍්‍රය 2014 සැප්තැම්බරයෙහි ඇරැඹීමට නියමිත ය. මෙ මගින් අඛණ්ඩ ව නිපදවෙන ගල්අඟුරු  දැවි අළු ඉවත් කළ යුතු අතර ඒවා සිමෙන්ති නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා හා කාර්මික අංශයේ වෙනත් කටයුතු සඳහා යොදාගත හැකි ය.


    එක් යන්ත‍්‍රයකින් ගල්අඟුරු දැවි අළු ටොන් 75,000 පමණ වාර්ෂික ව නිපදවෙන අතර යන්ත‍්‍ර දෙකෙන් ම වසරකට ටොන් 150,000 නිපද වේ. ගල්අඟුරු දැවි අළු සුදුසු කම් සහිත සමාගම් පහකට විකිණීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     
    ආසියානු සංවර්ධන බැංකුවේ හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාංශයේ ණය යටතේ ක‍්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල විෂය පථය එකී ණය ශේෂයන් උපයෝගී කරගනිමින් පුළුල් කිරීම.
     

    ආසියානු සංවර්ධන බැංකුවේ හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාංශයේ ණය යටතේ ක‍්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල කොන්ත‍්‍රාත්තු තරගකාරීත්වය හේතුවෙන් ඇස්තමේන්තුගත පිරිවැයට වඩා අඩු මුදලකට පිරිනැමීම මගින් ඉතුරු වූ මුදල් එකී ව්‍යාපෘතිවල විෂය පථය පුළුල් කිරීම සඳහා යොදාගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     
    ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රත්නපුර විගමනික සම්පත් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා කොන්ත‍්‍රාත්තුව පිරිනැමීම

     
    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත කොන්ත‍්‍රාත්තුව පිරිනැමීම සඳහා විදේහ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.
     

    ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම
     

    රටෙහි මාර්ග ජාලය සංවර්ධනය කිරීම මගින් සියලු ප‍්‍රධාන නගර, ගුවන් තොටුපළ හා වරාය සම්බන්ධ කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති අතර ග‍්‍රාමීය මාර්ග අතර සම්බන්ධය තහවුරු කිරීම සඳහා වන ආයෝජන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම මගින් සියලු ගම්මාන මාර්ග ජාලය හා සම්බන්ධ කිරීමට සැලසුම් කරනු ලැබේ. ජනගහනය හා සංවර්ධන විභවතා මත පදනම් ව ග‍්‍රාමීය කේන්ද්‍රස්ථාන වශයෙන් ගම්මාන 1,000 පමණ තෝරාගැනීමට නියමිත ය. පහත සඳහන් පරිදි පළාත් පහක ව්‍යාපෘති පහක් ඔස්සේ මේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇ.ඩො. මිලියන 800ක මූල්‍යාධාර ලබාදීමට එකඟ වී ඇති අතර මේ සඳහා වන රජයේ දායකත්වය ඇ.ඩො. මිලියන 106කි.
     
    1 වන ව්‍යාපෘතිය           -      දකුණු පළාත

    2 වන ව්‍යාපෘතිය          -      සබරගමුව පළාත හා බස්නාහිර පළාතේ කළුතර දිස්ත‍්‍රික්කය

    3 වන ව්‍යාපෘතිය           -      මධ්‍යම පළාත

    4 වන ව්‍යාපෘතිය          -      උතුරු මැද පළාත

    5 වන ව්‍යාපෘතිය           -      වයඹ පළාත
     

    ආසියානු සංවර්ධන බැංකුව සමග ඇති කරගැනීමට නියමිත ණය ගිවිසුම සම්බන්ධ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     
    ඩෙංගු මර්දන වැඩසටහන - 2014
     

    2014 ජූනි 20 සිට 22 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයනට අමතර ව ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන් යොදාගනිමින් කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත‍්‍රික්කවල ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු අදියර සාර්ථක ලෙස ක‍්‍රියාවට නැංවීම අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ලක් වූ අතර එ මගින් පරිශ‍්‍රයන් 105,879ක් පිරිසුදු කිරීම ද, මදුරුවන් බෝ විය හැකි ස්ථාන 6,347ක් හඳුනාගැනීම, දැනුම් දීම් 3,796ක් නිකුත් කිරීම හා පරිශ‍්‍රයන් 1,787කට එරෙහි ව නීතිමය පියවර ගැනීම සිදු කෙරිණ.

    මේ වැඩසටහනේ දෙ වන අදියර 2014 ජූලි මස 03 වන දා සිට ජූලි මස 10 වන දා දක්වා ඒ දිස්ත‍්‍රික්කවල ම ක‍්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ බියකරු ඩෙංගු වසංගතය මුලිනුපුටා දැමීම සඳහා විශාල ජනතා සහයෝගයක් අවශ්‍ය වන බැවින් අදාළ ඩෙංගු මර්දන කණ්ඩායම් තම වාසස්ථාන වෙත පරීක්ෂා කටයුතු සඳහා පැමිණි අවස්ථාවේ දී ඔවුනට තම පූර්ණ සහයෝගය දක්වන මෙන් අමාත්‍ය මණ්ඩලය ජනතාව ගෙන් ඉල්ලා සිටී.

     

    HC/NDH

     

    තුර්කියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක්
     
    මෙම ගිවිසුම මගින් ලංකාවේ මෙන්ම තුර්කියේ විදුලි සංදේශ සංවර්ධනයට දායක වීම සඳහා තාක්ෂණික හා ආයතනික ස‍හයෝගිතාව පිළිබඳ යාන්ත්‍රණයක් සපයයි. 

    2014.06.05 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැුස් වීමේ දී ගන්නා ලද තීරණ
    ව්‍යාපෘති හතක් සඳහා ඇස්තමේන්තුගත පිරිවැය සංශෝධනය කිරීම

    කාර්යයේ මූලික ස්වභාවය වෙනස් වීමත් මිල ගණන් ඉහළ යාමත් හේතුවෙන් පහත සඳහන් ජල සම්පාදන ව්‍යාපෘතිවල ඇස්තමේන්තුගත පිරිවැය සංශෝධනය කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.

    මාධ්‍යවේදීන්, කලාකරුවන් සහ ලේඛකයින් සඳහා සුබ සාධක අරමුදලක් පිහිටුවීම

    නේපාලයේ තිබුවාන් විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම

    උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් අධ්‍යාපනික හුවමාරු හා සහයෝගිතා සම්බන්ධයෙන් නේපාලයේ තිබුවාන් විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    ශ්‍රී පාදස්ථානය ශුද්ධ භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීම

    මෙරපෙනම් ග්රෑම් 01 එන්නත් කුප්පි 200,000ක් හා මෙරපෙනම් මිලිග්රෑම් 500 එන්නත් කුප්පි 185,000ක් සැපයීම සඳහා වන ටෙන්ඩරය

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි හා පහත සඳහන් ලෙස ඉහත භාණ්ඩ දෙකෙන් 25%ක ප‍්‍රමාණයක් සැපයීමේ ටෙන්ඩරය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ. මෙරපෙනම් ග්රෑම් 01 එන්නත් කුප්පි 50,000 හා මෙරෙපෙනම් මිලිග්රෑම් 500 එන්නත් කුප්පි 46,250කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya