නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.08.07 - අමාත්‍ය මණ්ඩල තීරණ

    අගෝස්තු 07, 2014
    රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ (සංශෝධිත) පනත් කෙටුම්පත
     
    අතිගරු ජනාධිපතිතුමා විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කරන ලද ඉහත කී සංශෝධිත පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව මෙම සංශෝධිත පනත මඟින් පහත සඳහන් විධිවිධානයන් රක්ෂණ කර්මාන්ත පනතට අන්තර්ගත කරනු ලැබේ.

    • ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය යන නාමය “රක්ෂණ නියාමන කොමිසම් සභාව” යනුවෙන් වෙනස් කිරීම.
    • සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයක් හෝ දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා සැලසුම් නිශ්චය කිරීම.
    •දේශීය පාලිත රක්ෂණ සමාගමේ කොටස්වලින් අවම වශයෙන් 85%ක් ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටියා වූ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තුගත කර ඇති හා එම ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය, ව්‍යාපාර වස්තු විනිමය ස්ථාන පිළිබඳ ලෝක සම්මේලනයේ සාමාජිකයෙකු වුවද විදේශීය පාලක රක්ෂණ සමාගමක් විසින් දරනු ලබන්නේ නම්, එම දේශීය පාලිත රක්ෂණ සමාගම 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසම් සභා පනත යටතේ බලපත්‍ර ලබාදෙන ලද ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තු ගත කිරීමෙන් නිදහස් කිරීම.
    • යම් රක්ෂිත නියෝජිතයෙකුට එක් සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයක් හා එක් දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරයක් සඳහා සේවය කිරීමට ඉඩ සැලසීම.
     
    ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නව පනත
     
    පරමාණුක ශක්ති අධිකාරිය ස්ථාපනය සඳහා සහ අදාළ බලතල සහ කාර්යයන් පවරාදීම සඳහා දැනට විධිවිධාන සපයා ඇත්තේ 1969 අංක 16 දරන පරමාණුක ශක්ති අධිකාරි පනත මඟිනි. 1969 වසරේ සිට මේ දක්වා පරමාණුක ශක්ති භාවිතයන් පිළිබඳ පනවා ඇති නීතිරීතීන්හි සැලකිය යුතු අන්දමේ වෙනස්කම් සිදුව ඇති අතර එම පනත සඳහා නව විධිවිධාන කිහිපයක් ඇතුළත් කිරීමේ අවශ්‍යතාව පැන නැග ඇත. උපදේශ සහ ප්‍රවර්ධන කාර්යයන්වලින්, න්‍යාමක කාර්යයන් වෙනස් කිරීමේ අවශ්‍යතාව වැදගත් වන බැවින් පරමාණුක බලශක්තීන්හි සාමකාමි භාවිතය පිළිබඳ සියලු අවශ්‍යතාවන් මෙන්ම පරමාණුක බලශක්ති භාවිතයට ගැනීම නියාමනය කිරීම සඳහා ප්‍රමාණවත් විධිවිධානයන්ද ඇතුළත් කරමින් නව ව්‍යවස්ථාවක් පැනවීම අවශ්‍ය වේ. 
     
    මෙම පනත් කෙටුම්පත මඟින් “ශ්‍රී ලංකා පරමාණුක ශක්ති මණ්ඩලය” සහ “ශ්‍රී ලංකා පරමාණුක නියාමන සභාව” යන ආයතනයන් 02ක් ස්ථාපනය සඳහා විධිවිධාන සැලසේ. දැනට පවතින පරමාණුක ශක්ති අධිකාරිය වෙනුවට මෙම ආයතන දෙක පිහිටුවනු ලැබේ. මේ සම්බන්ධයෙන් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     
    කටාන ජලසම්පාදන ව්‍යාපෘතිය -  1 වන අදියර
     
    කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ජලනළ පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකරනු ලැබේ. මෙහි 1 වන අදියර කටාන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 45ක ජනගහනයෙන් 50%ක් ආවරණය කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් 35,500,000.00 සහ ශ්‍රී.ලං.රු. 4,065,195,253.00ක් වැයවනු ඇත. මෙම මුදලින් රු. මිලියන 2,031.01ක් ශ්‍රී ලංකා රජය මඟින් වැය කරනු ලැබේ. මෙම 1 වන අදියර සම්බන්ධ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     
    ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) මඟින් නඩත්තු කරනු ලබන බෙදාහැරීම් ජාලයේ ධාරිතාව වැඩිදියුණු කිරීම
     
    මීගමුවේ සිට ගාල්ල දක්වා වන බටහිර වෙරළ තීරයේ විදුලි බෙදා හැරීමේ ජාලය ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ) මඟින් ක්‍රියාකරවනු ලබයි. මේ සඳහා මුළු ප්‍රාථමික උප පොළ 31ක් උපරිම ස්ථාවර ධාරිතාවන්ට බලගන්වා ඇත. කි.වො. 33/11 ප්‍රාථමික උප පොළයන් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර මත පවිත්‍ර බලශක්ති හා ප්‍රවේශ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කටුනායක, කොටිකාවත්ත, කිරිබත්ගොඩ, නාවල හා හික්කඩුව යන ප්‍රදේශයන්හි ලෙකෝ සමාගම විසින් ක්‍රියාත්මක කරමින් පවතී. බෙදා හැරීමේ ජාලයේ ධාරිතාව සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 2164.3ක වියදමින් මෙම කටයුතු සම්පූර්ණ කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     
    ජාතික ක්‍රීඩා කෞතුකාගාරය ඉදිකිරීම
     
    ක්‍රීඩාවේ ඓතිහාසික වැදගත්කම අනාගත පරපුරට උරුමකර දීමට මානව විද්‍යාත්මක වැදගත්කමකින් යුතු ක්‍රීඩාව හා බැඳි වැදගත්කමක් සංරක්ෂණය කිරීම සඳහා කෞතුකාගාරයක් නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව පිහිටි දිවංගත එෆ්. ආර්. සේනානායක මහතාගේ පාරම්පරික නිවසේ ස්ථාපිත කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

     
    2015 - 2017 මධ්‍යම කාලීන අයවැය රාමුව සහ 2015 වසර සඳහා අයවැය සකස් කිරීම
     
    2016 වසර වන විට ශ‍්‍රී ලංකාව දිළිඳුබවින් තොර රටක් බවට පත්කිරීම හා අඛණ්ඩව ඒකපුද්ගල ආදායම වර්ධනය කර ගැනීම අරමුණු කර ගත් රජයේ දෙවන පස් අවුරුදු සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව 2011 වසරේ සිට ක‍්‍රියාත්මක කෙරිණ. රජය ප‍්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී හා දිළිඳු පවුල් පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් වැඩි ජීවනෝපාය හා රැකියා අවස්ථා, ආහාර ආරක්ෂණය, බලශක්ති ආරක්ෂණය හා පාරිසරික ආරක්ෂණය ඇති කිරීම මඟින් සංවර්ධනය තහවුරු කිරීම සඳහා 2015 -2017 මධ්‍යම කාලීන අයවැය රාමුව කෙරෙහි අවධානය යොමු කරයි. සමාජ සංවර්ධනය, මූලික යටිතල පහසුකම් හා ආර්ථික දර්ශක අතින් ජාතික සාමාන්‍ය අගයට වඩා පහළින් සිටින දිස්ත‍්‍රික්කවල සෞඛ්‍ය, අධ්‍යාපනය, මාර්ග හා ආරක්ෂිත පානීය ජලය වැනි මූලික යටිතල පහසුකම් සඳහා ප‍්‍රවේශය ඉහළ නැංවීම කෙරෙහි ප‍්‍රමුඛත්වය ලබාදෙමින් 2015 - 2017 මධ්‍යම කාලීන අයවැය රාමුව තුළ සිටිමින් 2015 අයවැය සකස් කිරීමට යෝජනා වී ඇත. අදාළ කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.
     
    ඒ 5 මාර්ගයේ බදුල්ල සිට චෙන්කලාඩි දක්වා ප‍්‍රතිසංස්කරණය කිරීම
     
    පේරාදෙණිය-බදුල්ල-චෙන්කලාඩි මාර්ගය නැගෙනහිර පළාත මධ්‍යම පළාත හා සම්බන්ධ කරන ප‍්‍රධාන මහා මාර්ගයකි. පේරාදෙණිය සිට බදුල්ල දක්වා මාර්ග කොටස මේ වන විටත් පිළිසකර කර ඇත. බදුල්ල සිට චෙන්කලාඩි දක්වා වූ කිලෝමීටර 151.3ක් වන ඉතුරු කොටස ඇ.ඩො. මිලියන 140ක ඇස්තමේන්තුගත වියදමකින් සංවර්ධනය කිරීමට නියමිතය. 
     
    ව්‍යාපෘතිය සඳහා වන අරමුදල් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල හා සෞදි සංවර්ධන අරමුදල විසින් ලබා දෙන අතර ශේෂය ශ‍්‍රී ලංකා රජය විසින් දරනු ලැබේ. මේ සඳහා පළමු ව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමකට එළඹීම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.
     
    2015 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන
     
    රජය විසින් උපාය මාර්ගිකව හා ඉලක්කගත සැලසුම් යටතේ ප‍්‍රාදේශීය මට්ටමින් ක‍්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කාර්යයන් ජනතාව වෙත පුළුල් ලෙස සමීප කිරීම සඳහා ජාතික නිදහස් උත්සවයට සමගාමීව දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයක දැයට කිරුළ වැඩසටහන ක‍්‍රියාත්මක කර තිබේ. එ මඟින් ප‍්‍රධාන සංවර්ධන වැඩසටහන් මඟින් අවරණය නොවූ ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා මෙන් ම ඔවුන් එදිනෙදා මුහුණ දෙන ආයතනික ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම ද සිදු වේ. 
     
    2015 දැයට කිරුළ වැඩසටහන ගාල්ල, මාතර, හම්බන්තොට හා රත්නපුර යන දිස්ත‍්‍රික්කවල ක‍්‍රියාත්මක කෙරේ. දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට හා 2015 නිදහස් දින සැමරුමට සමගාමී ව දැයට කිරුළ ප‍්‍රදර්ශනය කඹුරුගමුව, කොටවිල වත්ත භූමියේදී හා මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැත්වේ. අදාළ කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.
     

    මහාචාර්ය ආරියරත්න ඇතුගල
    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya