අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.05.29 - අමාත්‍ය මණ්ඩල තීරණ

    මැයි 29, 2014

    මාධ්‍යවේදීන්, කලාකරුවන් සහ ලේඛකයින් සඳහා සුබ සාධක අරමුදලක් පිහිටුවීම


    කලින් පූර්ණ කාලීන වශයෙන් සිය දායකත්වය ලබාදී දැන් විශ‍්‍රාමික තත්ත්වයේ ජීවිතය ගත කරන මාධ්‍යවේදීන්, කලාකරුවන් හා ලේඛකයින්ට ආධාර කිරීම පිණිස සුබ සාධක අරමුදලක් පිහිටුවනු ලැබේ. මෙම අරමුදලට ආරම්භක ප‍්‍රාග්ධනයක් ලෙස රුපියල් මිලියන 50ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් වෙන් කෙරේ.


    මෙම අරමුදල පවත්වාගෙන යාම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ ආදායමෙන් 10%ක් හා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ආදායමෙන් 10%ක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස යෝජනා කර ඇත. මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සම්පාදනය කිරීම සඳහා නීති කෙටුම්පත්කරුට නියෝග කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    1980 අංක 33 දරණ කෘමි නාශක පනත යටතේ පනවන ලද රෙගුලාසි ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත් කිරීම

    ඉහත කී පනත යටතේ පනවා ඇති රෙගුලාසි ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත් කිරීමටත් එම ගැසට් පත‍්‍රයට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමටත් එමඟින් පහත් තත්ත්වයේ යුත් කෘමි නාශක ලියාපදිංචි කිරීම වළක්වාලීමටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    යහපත් රැකියා සුරක්ෂිතතාවය සහ සංක‍්‍රමණික කම්කරුවන් හා ශ‍්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල යහපත යන තේමාව යටතේ ස්ව්ස්ටර්ලන්ත රාජ්‍යය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
     

    ශ‍්‍රී ලංකාවේ සමස්ත සංක‍්‍රමණික රැකියාවල නියුක්ත වූවන්ගේ සංඛ්‍යාව 2012 වසරේදී මිලියන 1.7ක් වු අතර, ඔවුන්ගෙන් මෙරටට දායක කෙරෙනු විදේශ විනිමය ප‍්‍රමාණය ඇමෙරිකානු බිලියන 6.4ක් විය. මෙය ලංකාවේ මුදලින් බිලියන 827ක් වේ. ඔවුන්ගේ ලංකාවේ සිටින පවුල්වල යහපත උදෙසා නැවත පැමිණෙන එම සේවක සේවිකාවන්ගේ සමාජ අන්තර්ගත කිරීම උදෙසා ජාතික කම්කරු සංක‍්‍රමණික ප‍්‍රතිපත්තිය ජාත්‍යන්තර මූල්‍යාධාර ඒජන්සිවල සහයෝගය ඇතිව ක‍්‍රියාත්මක කිරීමට කටයුතු සලසා ඇත. මේ සම්බන්ධයෙන් ස්ව්ස්ටර්ලන්ත රජය සමඟ ද්විපාර්ශවික සම්මුතියට අත්සන් කිරීම සඳහා විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ සිය වැනි උපන් දින සැමරුම
     

    2014 ජූනි 03 වැනි දිනට යෙදෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ සිය වැනි උපන් දිනය සම්බන්ධයෙන් වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාත්මක කිරීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    පොලිස් සහයෝගීතා ප‍්‍රවර්ධනය කිරීම සඳහාත්, අපරාධ මර්දනය කිරීම සඳහා සහයෝගීතා ගිවිසුම


    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ රුසියානු ජනරජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය අතර මෙම සහයෝගීතා ගිවිසුම ඇති කරගනු ලැබේ.


    මෙම සහයෝගීතා ගිවිසුමේ මූලික පරමාර්ථය වන්නේ තොරතුරු හුවමාරුව මඟින් ත‍්‍රස්තවාදය, ජීවිත හා දේපළවලට එරෙහි අපරාධ මර්දනය, වංචා, මත් ද්‍රව්‍ය හුවමාරුව, නීතිවිරෝධි මිනිස් ප‍්‍රවාහනය, මුදල් ශෝධනය ආදී අපරාධ වැළැක්වීම හා නතර කිරීමය.

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    නීතිය හා සාමය පිළිබඳ අන්තර් අමාත්‍ය මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීම

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ප‍්‍රතිපත්ති හා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමටත් පොලිස් දෙපාර්තමේන්තුවේ හා විශේෂ පොලිස් බලකායේ කටයුතු ක‍්‍රියාත්මක කිරීමටත් අනිකුත් අමාත්‍යාංශ හා ආයතනවල සහභාගීත්වය ඇතිව අන්තර් අමාත්‍යාංශ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් එමඟින් විනයගරුක හා නීතිගරුක සමාජයක් ඇති කිරීමටත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    අනුරාධපුර - උතුර ජල යෝජනා ක‍්‍රමයේ මුල් අදියර සඳහා සැලසුම් උපදෙස්, ඉදිකිරීම් නිරීක්ෂණ හා පරිපාලන උපකාරකවරුන් පත් කිරීම


    කැබිනට් ප‍්‍රතිසම්පාදන කමිටු නිර්දේශ මත ඉහත කී ජල සැපයුම් ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා වූ උපදේශක සේවාවන් සඳහා ටෙන්ඩරය ලබාදීමට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    බෙහෙත් වර්ග හා සෞඛ්‍ය ආම්පන්න මිලදී ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශ් රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

     

    ශ‍්‍රී ලංකාව වාර්ෂිකව සෞඛ්‍ය හා වෛද්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 30ක් පමණ වැය කරනු ලැබේ. ඉන් රුපියල් බිලියන 17ක් පමණ වැය වන්නේ ඖෂධ මිලදී ගැනීම සඳහාය.

    දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් දේශීය බටහිර ඖෂධ නිෂ්පාදකයින් විසින් සපයනු ලබන්නේ 10% සිට 15% දක්වා වූ ප‍්‍රමාණයක් පමණි. ඉතිරි ප‍්‍රමාණය ජාත්‍යන්තර ටෙන්ඩර් මඟින් ලබා ගනු ලැබේ.
     

    අඛණ්ඩව මෙම අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා බංග්ලාදේශ් රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


     ශ‍්‍රී ලංකාව හා බල්ගේරියානු රාජ්‍යයන්වල විදේශ කටයුතු අමාත්‍යාංශ අතර උපදේශන සඳහා සන්ධානය


    එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ අරමුණු හා මූල ධර්මවලට ඇප කැපවීම ප‍්‍රකාශ කරමින් සහ දෙරට අතර අදහස් හා මත සහ උපදේශන හුවමාරු කිරීමේ ප‍්‍රයෝජනවත් භාවය පිළිගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශවික සබඳතා ප‍්‍රවර්ධනය කිරීමේ හා සාම්ප‍්‍රදායික මිත‍්‍ර සබඳතා සහ සහයෝගීතාව සවිබල ගැන්වීමේ අරමුණු සඳහා ද්විපාර්ශවික උපදේශන පැවැත්වීමේ අවශ්‍යතාව මත දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    වර්ෂ 2013 සඳහා මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව

    2013 මූල්‍ය වර්ෂයේ රජයේ මුල්‍ය පරිපාලනය පිළිබඳ වාර්තා අඩංගු 2013 මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශ වාර්තාව ඉදිරිපත් කිරීමට මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    මහාචාර්ය ආරියරත්න ඇතුගල
    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya