අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.07.10 - අමාත්‍ය මණ්ඩල තීරණ

    ජූලි 10, 2014

    අඩු පහසුකම් ජනාවාසවල හා තාවකාලික නිවාසවල පදිංචිකරුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන

    නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මෙම පහසුකම් ජනාවාසවල හා තාවකාලික නිවාසවල පදිංචිකරුවන් පුනස්ථාපනය කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමට රජය විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙහි අරමුණ  දැනට අඩු පහසුකම් යටතේ ජීවත්වන ජනතාවට ඉහළ ගුණාත්මක බවකින් හා උසස් ප්‍රමිතියකින් යුතු නිවාස ලබා දීමයි. ඒ අනුව මහල් 15කින් යුතු නිවාස ‍යෝජනා ක්‍රමයක් ඇති කිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

     

    රාජ්‍ය සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ දී බටහිර ඖෂධ දේශීයව නිපදවන නිෂ්පාදකයින්ට ප්‍රමුඛතාව ලබා දීම

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට යම් ඖෂධ ප්‍රමාණයක් සැපයිය නොහැකි විට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු නොලබන එහෙත් දේශීය පෞද්ගලික අංශය විසින් නිපදවන ඖෂධ රජයේ රෝහල් සඳහා ලබා ගැනීමට පත් කළ කමිටුව මගින් එකඟ වූ මිල අනුව එම ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    ප්‍රජාව හා ජල සේවා පිළිබඳ 3 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2014 අගෝස්තු

    මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් 2014 අ‍ගෝස්තු මස 22 – 24 දක්වා මහනුවරදී පැවැත්වීමට නියමිතය. මෙම සම්මන්ත්‍රණයට කලාපයේ රටවල් වන ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය, භූතානය, ඇෆ්ගනිස්ථානය හා මාලදිවයිනේ නියෝජිතවරු සහභාගි වෙති. මෙම තෙදින සම්මන්ත්‍රණය දැනුම, ක්‍රමෝපායන් හා මනා පරිචයන් හා ප්‍රජාවන් අතර කතිකාවන් අන්‍යෝන්‍ය අවබෝධය හා සහයෝගය ප්‍රවර්ධනය කිරීම, ඔවුන්ගේ ජල යෝජනා ක්‍රම කළමනාකරණය යන කරුණු සාකච්ඡා කරන වේදිකාවක් බවට පත් කෙරේ. විවිධ ප්‍රජා මූලික සංවිධාන, ප්‍රතිපත්ති සම්පාදකයින්, උගතුන්, විද්වතුන්, ජාත්‍යන්තර නියෝජිත කණ්ඩායම්, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන හා ජාත්‍යන්තර සංවර්ධන ආයතන නියෝජිතයින් ආදීහු 500ක් පමණ පිරිසක් මීට සහභාගි වේ. ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම විස්තර කැබිනට් මණ්ඩලයට ලබා දෙන ලදී.


    ලංකාවේ මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ජල සම්පාදන හා  අප ජල කළමනාකරණ ප්‍රධාන සැලැස්මක් ස්ථාපනය කිරීම පිණිස කැබිනට් අනුමැතිය ලබා ගැනීම
     
    ලංකාවේ මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජල සම්පාදන හා අප ජල කළමනාකරණ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ප්‍රධාන සැලැස්මක් ජල සම්පාදන අමාත්‍යාංශය හා කොරියානු ජනරජයේ කොරියා පරිසර කර්මාන්ත හා තාක්ෂණ ආයතනය සමග අත්සන් කිරීමට ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ. මෙම ගිවිසුම මුළු දකුණු පළාතම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමේ හැකියාවද සොයා බැලේ.
     

    සමාජ ඒකාබද්ධතා සතිය - 2014 ජුලි 14 -20

    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානත් පෞද්ගලික අංශයේ සහයෝගයෙන් - සමාජ ඒකාබද්ධතාව උදෙසා අධ්‍යාපනය,  යන්න තේමාව කර ගනිමින් 2013 වසරේදී සමාජ ඒකාබද්ධතා සතිය තුළ දීප ව්‍යාප්ත ක්‍රියාකාරකම් සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහනේ තුන්වන අදියර මෙම වසරේ දී - සමාජ ඒකාබද්ධතාව තුළින් ජාතික සමගිය , යන තේමාව යටතේ සමාජ ඒකාබද්ධතා සතියක් ජුලි 14 -20  දක්වා පැවැත්වීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.


    ආසියානු පැසිපික් තැපැල් සංගමයේ (APPU) 2014 වර්ෂයේ විධායක සභා රැස්වීම ලංකාවේ පැවැත්වීම – 2014 සැප්. 15 -19

    2014 සැප්. 15 -19 දක්වා පැවැත්වෙන මෙම රැස්වීමට සාමාජික රටවල් 32 කින් නියෝජිතයින් 150 පමණ සහභාගි වෙති. මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැප්. 15 දින පැවැත්වේ. මේ සම්බන්ධයෙන් තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.


    ලංකා ගමනාගමන මණ්ඩලයේ තංගල්ල ඩිපෝවට අයත් ඉඩමක් තංගල්ල බාලිකා මහා විද්‍යාලයට පවරා ගැනීම

    හම්බන්තොට තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අක්කර 04 පර්චස් 18.7ක් වන ඉඩම තංගල්ල බාලිකා මහා විද්‍යාලය ස්ථාපිත කිරීමට ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     
     
    රත්නපුර ආදර්ශ ද්විතීය විද්‍යාලය පිහිටුවීමට ඉඩමක් පවරා ගැනීම

    රත්නපුර ප්‍රා.ලේ. කොට්ඨාසයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් හෙක්ටයාර් 5.1670ක ඉඩම රත්නපුර ආදර්ශ ද්විතීය විද්‍යාලය පිහිටුවීම සඳහා පවරා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ  යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

     
    දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට ලබා ගෙන ඇති ඉඩම්වලට වන්දි ගෙවීම හා උතුරු අධිවේගී මාර්ගය ඉදි කිරීම
     
    ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඉඩම් අයිතිකරුවන් සඳහා ඉඩම් පවරා ගැනීමේ පනත යටතේ වන්දි ගෙවීමට කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී. මේ සම්බන්ධයෙන් 2014.05.30 දින අංක 1864/54 දරණ විශේෂ ගැසට් පත්‍රය මගින් දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම සඳහාත් උතුරු අධිවේගී මාර්ගය ඉදි කිරීමටත් ලබා ගන්නා ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීම සිදු වනු ඇත.
     

    තමන්ටත් අනුන්ටත් ගරු කරන සමාජයක් (RYRO) ව්‍යාපෘතිය

    මෙම ව්‍යාපෘතිය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය (NSBM) විසින් දියත් කිරීමට යෝජිත ධනාත්මක සමාජ බලපෑමක් කරන සුවිශාල ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය විශේෂයෙන් තරුණයන් ඉලක්ක කරගන්නා අතර පුද්ගල සිතුම් රටාව වෙනස් කරමින් සම්මානිත ජාතිකත්වයකින් යුතු පෞර්ෂ්‍යයන් ගොඩ නැංවීමටද බලාපොරොත්තු වේ. මේ මගින් පාසල්, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, තෘතියික අධ්‍යාපන, ආයතන තරුණ සමාජ හා සංවිධාන රාජ්‍ය දෙපාර්තමේන්තු හා සංස්ථා, පුද්ගලික ආයතන හා දේශපාලන ආයතන ඇතුළු අනෙකුත් තරුණ කොටස් ආවරණය කරනු ඇත. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    කාර්මික, වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2014

    ජාතික නිපුණතා දිනය ජූලි 15 දිනට යෙදී ඇති අතර එය සැමරීමට ජුලි 15 හා 16 යන දෙදින ඉහත සම්මන්ත්‍රණය කොළඹදී පැවැත්වීමට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, ජර්මන් රජය හා ආසියානු සංවර්ධන බැංකුව, ‍ලෝක බැංකුව, කොරියා ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා ඔස්ට්‍රෙලියානු රජ‍යේ විදේශ කටයුතු හා වාණිජ අමාත්‍යාංශය යන අනෙකුත් පාර්ශ්ව සමග එක්ව කටයුතු සැලසුම් කර ඇත. ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මැලේසියාව, ද‍.කොරියාව, තායිලන්තය, ඔස්ට්‍රේලියාව හා සමෝවා වැනි රටවල් රැසක ප්‍රකට වෘත්තියවේදීන් මේ සඳහා සහභාගි වන බව තහවුරු කර ඇත. ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
     

    ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කිරීම
     
    ක්‍රීඩාවෙන් අපේක්ෂිත කායික හා මානසික සමබරතාවය තුළින් නිරෝගීකම, නිවැරදි ආකල්ප හා කණ්ඩායම් හැඟීම් වර්ධනය කිරීම පිණිස ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කිරීමටත් ඒ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ලබා ගැනීමටත් අපේක්ෂා කෙරේ. මෙහිදී රටපුරා නගර ආශ්‍රිතව පාගමන් මංතීරු ඇති කිරීම, සේවා ස්ථානවල ව්‍යායාමවල යෙදීමට අවස්ථාව ලබා දීමට ක්‍රියා කෙරේ.  මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින්  ගෙනආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    2013 වසරේ අංක 33 දරණ, ක්‍රීඩාවලදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි පනතට අයත් 34 -1 වගන්තිය යටතේ සාදන ලද නියෝග
     

    2014.05.19 දිනැති අංක 1863/4 විශේෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් හම්බන්තොට තොරතුරු තාක්ෂණ උද්‍යානයේ විදුලි සංදේශ මාධ්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම

    කැබිනට් මණ්ඩලය විසින් පත් කළ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශිත පරිදි ඉහත සඳහන් ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    මුලතිව් - කෝකිලායි - පුල්මුඩේ මාර්ගයේ කෝකිලායි කළපුව හරහා කෝකිලායි පාලම සහ එහි ප‍්‍රවේශ මාර්ග ඉදි කිරීම

    උතුරු පළාතේ හා නැඟෙනහිර පළාතේ වෙරළ තීරයේ භූමියේ සම්බන්ධතාව අඛණ්ඩ ව පවත්වා-ගැනීම සඳහා මුලතිව් - කෝකිලායි - පුල්මුඩේ මාර්ගයේ කෝකිලායි කලපුව හරහා නව පාලමක් ඉදි කිරීමට යෝජනා වී ඇත. ඉහත කොන්ත‍්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි පැවැරීමට මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    බයිෆසික් අයිසොෆේන් ඉන්සියුලින් බීපී, 1000 අයියූ/මිලි ලීටර 10 එන්නත් 800,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත ටෙන්ඩරය පිරිනැමීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    භාණ්ඩාගාර ඇපකරයක් සහිත ව දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මඟින් ප‍්‍රමුඛතා ජල සම්පාන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම - ව්‍යාපෘති හතරක් සඳහා කොන්ත‍්‍රාත් ප‍්‍රදානය

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පහත සඳහන් කොන්ත‍්‍රාත්තු පිරිනැමීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.

     

    කොළඹ දිස්ත‍්‍රික්කයේ නැඟෙනහිර නගර සඳහා වන ජල සම්පාදන ව්‍යාපෘතිය - 1 වන පැකේජය සඳහා වන කොන්ත‍්‍රාත්තුව

    රුහුණුපුර බෙදාහැරීමේ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා වන කොන්ත‍්‍රාත්තුව

    අම්පාර බෙදාහැරීමේ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා වන කොන්ත‍්‍රාත්තුවල සහ

    බෙන්තොට ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා වන කොන්ත‍්‍රාත්තුව


    100%ක විදුලියන ආවරණයක් සඳහා හදිසි භාණ්ඩ ප‍්‍රසම්පාදනය

    2005 සිට 2013 දක්වා කාල පරිච්ඡේදය තුළ රජය විසින් දිස්ත‍්‍රික්ක හතක 100% විදුලියන මට්ටමක් ළඟා කොට-ගෙන ඇත. අනෙක් දිස්ත‍්‍රික්ක දාහතෙහි ද 100% විදුලියනය ළඟා කරගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ ප‍්‍රසම්පාදනය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    යාපනය, සබරගමුව, කැලණිය, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, හා නැඟෙනහිර යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

    ඉහත විශ්වවිද්‍යාල හයට අදාළ පහත ඉදි කිරීම් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.

    යාපනය විශ්වවිද්‍යාලය
    පශ්චාත් උපාධි පීඨය සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
    ක‍්‍රීඩා හා විනෝද කටයුතු සංකීර්ණයක් ඉදි කිරීම (ක‍්‍රීඩා හා ශාරීරික අභ්‍යාස පුහුණු ශාලාව )

    ශ‍්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය
    ජ්‍යාමිතිවේද පීඨය - II අදියර සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීම.

    කැලණිය විශ්වවිද්‍යාලය
    සමාජයීය විද්‍යා පීඨය සඳහා පස් මහල් ගොඩනැගිල්ල ව්‍යාප්ත කිරීම.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලය
    විද්‍යා පීඨයේ භූ විද්‍යා අධ්‍යයනාංශය - II අදියර සඳහා තෙ මහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම.

    හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
    උපකුලපතිවරයාගේ යෝජිත නිල නිවස ඉදි කිරීම.

    ශ‍්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය
    කෘෂිකර්ම පීඨය සඳහා ගොඩනැගිලි සංකීර්ණය.


    පේරාදෙණිය, කැලණිය, වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවල ඉදි කරනු ලබන ගොඩනැගිලි සඳහා කොන්ත‍්‍රාත් ප‍්‍රදානය

    ඉහත විශ්වවිද්‍යාලවලට අදාළ පහත ඉදි කිරීම් කටයුතු ක‍්‍රියාත්මක කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලය
    දන්ත වෛද්‍ය පීඨය සඳහා පස් මහල් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීම.

    කැලණිය විශ්වවිද්‍යාලය
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීම.

    ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය - කුලියාපිටිය
    ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීම.

    මොරටුව විශ්වවිද්‍යාලය
    වාස්තු විද්‍යා පීඨය සඳහා දේශන ශාලා ගොඩනැගිල්ලක් ඉදි කිරීම.


    2015 වර්ෂයේ දි බෙදාදීම සඳහා පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි රුපියල් 1,840,639,050.00 මුළු වියදමකින් වර්ග 351ක පාසල් පෙළ පොත් පිටපත් 29,115,800 මුද්‍රණය කිරීම මුද්‍රණ ආයතන 22කට පැවරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    පොහොර ප‍්‍රසම්පාදනය - 2014

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි යූරියා මෙට්රික් ටොන් 18,000ක් ප‍්‍රසම්පාදනය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    කොළඹ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම හා ගම්පහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

    කොළඹ දිස්ත‍්‍රික්කයේ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම හා ගම්පහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල සමග ණය ගිවිසුමක් අත්සන් කර ඇත. මේ සඳහා කොරියානු තාක්ෂණ හා අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ උපදේශන සේවා ලබා-ගැනීමට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    2015 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීම

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි රජයේ පාසල්වල සිසුන් හා ශිෂ්‍ය භික්ෂූන් අතර 2015 වසරේ දී බෙදා-දීම සඳහා පාසල් නිල ඇඳුම් රෙදි මීටර 8,571,000 සහ සිවුරු රෙදි මීටර 300,000ක් දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් ගෙන් මිල දී ගැනීම සඳහා අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2014

    වසරේ මුල් මාස හතර ඇතුළත රාජ්‍ය ආදායම, වියදම, මුදල් ගැලීම් ක‍්‍රියාකාරකම් හා ණය ගැනීම් හා තොරතුරු ඇති පරිදි සාර්ව ආර්ථික කාර්යසාධනය, විදේශ මුදල්, රජයේ ණය, බාහිර අංශයේ කාර්යසාධනය හා රාජ්‍ය ව්‍යාපාරවල කාර්යසාධනය පිළිබඳ තොරතුරු ඇතුළත් වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2014, මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදි. ඉහත වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    DB/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya