අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.10.16 අමාත්‍ය මණ්ඩල තීරණ

    ඔක්තෝබර් 17, 2014

    මූල්‍ය අංශයේ නියාමකයන් අතර තොරතුරු හුවමාරු කිරීම

     

    මූල්‍ය අංශයේ ස්ථායීතාව ප‍්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය අංශයේ සංවර්ධනය  සඳහා මූල්‍ය අංශයේ නියාමකයන් විසින් සාමූහිකව ගත යුතු ක‍්‍රියාමාර්ග හඳුනාගැනීමේ අරමුණින් අන්තර් නියාමන ආයතනික සභාව පිහිටුවන ලදී.

    බලපත‍්‍රලාභී බැංකු, බලපත‍්‍රලාභී මූල්‍ය සමාගම් හා කල්බදු සමාගම්,  මුදල් තැරැව්කරුවන්, ප‍්‍රාථමික අලෙවිකරුවන්, රක්ෂණ සමාගම්, රක්ෂණ තැරැව්කරුවන්, රක්ෂණ නියෝජිතයන් , අලාභ ගැළපුම්කරුවන්, ආයතනික නියෝජිතයන්, කොටස් වෙළෙඳපොළ සහ කොටස් තැරැව්කරුවන්, අලෙවිකරුවන්, මූල්‍ය ආයතන යටතට වැටේ. මේ අරමුණ සඳහා අදාළ නීති පාර්ලිමේන්තු පනතක් මඟින් නීතිගත කිරීමටත් අදාළ නීතින් කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමටත් මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම
     

    තිරසාර ආර්ථික හා සමාජ සංවර්ධනයක් ආසියාව තුළ සහතික කරනු පිණිස හා ඉදිරියේ ඇති විය හැකි මූල්‍ය අර්බුද හා වෙනත් බාහිර කම්පනයට එරෙහි ව කලාපීය නම්‍යතාව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවක් පිහිටුවීමට චීන ජනපති විසින් යෝජනා කරන ලද අතර එහි ආරම්භක සාමාජිකයෙකු ලෙස එයට සම්බන්ධ වන ලෙස ශ‍්‍රී ලංකා රජයට නිල වශයෙන් ආරාධනය කෙරී ඇත.  ශ‍්‍රී ලංකාව ලොව විශාලත ම බහුපාර්ශවික සංවර්ධන මූල්‍ය ආයතන දෙක වන ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙක් වෙයි. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපනය කිරීම ආසියානු ආර්ථිකයන් තනි ව මුහුණු දෙන්නා වූ මූල්‍යමය අවහිරතා ඉවත් කරමින් හා අවශ්‍ය කරන අතිරේක සම්පත් ආසියාව තුළින් හා ආසියාවට පිටතින් ඒකරාශී කිරීමට උපකාරී වන අතර පවත්නා බහුපාර්ශ්වීය බැංකු සඳහා ඌන පූරකයක් වනු ඇත.

    මෙහි ආරම්භක සාමාජිකයන් ලෙස එක්වීමට කලාපයේ රටවල් 22ක් තම කැමැත්ත පළ කොට ඇත. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට අදාළ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි


    ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රතිශක්තිකරණ ප‍්‍රතිපත්තිය


    රටක එන්නත් මඟින් වැලැක්විය හැකි රෝග පාලනය කිරීම ප‍්‍රතිශක්තිකරණ ප‍්‍රතිපත්තියේ මූලික අරමුණ වේ. සෞඛ්‍ය අමාත්‍යංශය වෘත්තීය ආයතන හා  රාජ්‍ය ආයතන ඇතුළු සියලු කොටස්කරුවන් සමඟ සමීප සහයෝගිත්වයෙන් මේ ජාතික ප‍්‍රතිශක්තිකරණ ප‍්‍රතිපත්තිය නිර්මාණය කර ඇත.  සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


    2014 අගෝස්තු 22-24 දක්වා මහනුවරදී පැවති ප‍්‍රජා ජල සේවාව පිළිබඳ තුන් වන ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණය


    ප‍්‍රජා ජල සේවාව පිළිබඳ තුන්වන ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණය ජලය, ප‍්‍රජා සංවර්ධනය හා සෞභාග්‍ය යන තේමාව යටතේ අගෝස්තු 22 සිට 24 වැනිදා දක්වා පැවැත්විණි.

    දේශීය නියෝජිතයන් ද ඇතුළුව ප‍්‍රජා මූලික ජල සංවිධාන 475 කින් 750ක් දෙනා මේ සඳහා සහභාගී වූහ. මෙහිදී ශ‍්‍රී ලංකා සෙංකඩගල ප‍්‍රකාශනය එළිදැක්විණි. එය යුනිසෙෆ්  හා ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ සහය ඇති ව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජාතික ප‍්‍රජා ජල භාරය හා ලංකා වැසි ජල එකතුකරන්නන්ගේ සංසදය විසින් සංවිධානය කෙරිණි. ඉහත කරුණු ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.


    වැලිඔය හා මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇඟලුම් හා ඒ ආශ‍්‍රිත කර්මාන්ත ප‍්‍රවර්ධනය කිරීම
     

    ශ‍්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් ආයතනය හා ශ‍්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය වැලිඔය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ වෙමින් අදාළ ප‍්‍රදේශයන්හි සිදු කරන ලද සමීක්ෂණයක් මඟින් මේ දිස්ත‍්‍රික්කයන්හි ඇඟලුම් ක්ෂේත‍්‍රයේ රැකියා කිරීමට කැමැත්තක් දක්වන 2,500කට අධික ශ‍්‍රමිකයන් පිරිසක් සිටින බවත් 500 දෙනකු දැනටමත් වෙනත් ප‍්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලාවල පළපුරුද්ද ලබා ඇති බවත් හෙළි විය. ඒ අනුව යුද ගැටුම්වලින් අනතුරුව රජය විසින් ඒ ප‍්‍රදේශවල පදිංචි කළ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඒ ප‍්‍රදේශයෙහි ඇඟලුම් කර්මාන්තශාලා පිහිටුවීමට හේතුවනු ඇත. ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් අක්කර 50 භූමියක වැලිඔය ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඇඟලුම් හා ආශ‍්‍රිත කර්මාන්ත ප‍්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති 05ක් ද මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොණ්ඩච්චි ග‍්‍රාම නිලධාරි කොට්ඨාසයේ කල්ලාරු ග‍්‍රාමයෙහි පිහිටි රජයේ අක්කර 25ක භූමි ප‍්‍රදේශයක ව්‍යාපෘති 05ක් ද ක‍්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු ඉදිරියට කරගෙන යාමට කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


    ලංකා විදුලිබල මණ්ඩලය හා චීනයේ චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන් සමාගම අතර අවබෝධතා ගිවිසුමක්


    මෙගාවොට් 3×300 ධාරිතාවෙන් යුත් නොරච්චෝලේ ගල් අගුරු බලාගාර ව්‍යාපෘතියේ ස්ථාවර සහ කාර්යක්ෂම ක‍්‍රියාකාරීත්වයකට තාක්ෂණික සහයෝගිතාව ලබා දීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය හා චීනයේ චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන් සමාගම අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම.

    ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට අදාළ කටයුතු කරගෙන යාමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


    තැනැත්තන් වෙළෙඳාමේදී ගොදුරුවන වින්දිතයන් හඳුනාගැනීම හා ආරක්ෂා කිරීම සඳහා වන සම්මත මෙහෙයුම් ක‍්‍රියා පටිපාටිය


    තැනැත්තන් වෙළෙඳාමේදී ගොදුරු වන වින්දිතයන් හඳුනාගැනීම සහ ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් සම්මත මෙහෙයුම් ක‍්‍රියා පටිපාටියක් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්තුමියගේ ප‍්‍රධානත්වයෙන් යුත් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය බලකාය විසින් වැඩිදියුණු කර ඇත. සම්මත මෙහෙයුම් ක‍්‍රියා පටිපාටිය තැනැත්තන් වෙළෙඳාමේදී පීඩාවට පත්වන තැනැත්තන් ආරක්ෂා කිරීම සහ ඒ ක‍්‍රියාදාමයේදී වරදකරුවන් වන තැනැත්තන්හට නීතිය ප‍්‍රකාර ව නිසි දඬුවම් පැමිණවීම සඳහා වගකීම් දරන රාජ්‍ය ආයතනවල භූමිකාව හා වගකීම පිළිබඳ දැනුවත් භාවයක් ඇති කිරීම පිණිස ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල වන ලෙස සංවර්ධනය කරන ලද ජාතික ක‍්‍රමෝපායකි. අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කරන ලද තැනැත්තන් වෙළෙඳාම් කිරීමේදී ගොදුරුවන වින්දිතයන් හඳුනාගැනීම හා ආරක්ෂා කිරීම සඳහා වන සම්මත මෙහෙයුම් ක‍්‍රියා පටිපාටියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


    ශ‍්‍රී ලංකා රජය හා බෙලරූස් ජනරජය අතර සංචාරක ක්ෂේත‍්‍රයේ සහයෝගීතා ගිවිසුම


    දෙරට අතර සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමෙහිලා සහයෝගිතා යාන්ත‍්‍රණය තවදුරටත් සවිමත් කිරීම හා තහවුරු කරලීම මේ ගිවිසුමේ අරමුණයි. ඉහත ගිවිසුම අත්සන් කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


    2014 සමාජ ඒකාබද්ධතා සතිය - ප‍්‍රගති සමාලෝචනය


    සමාජ ඒකාබද්ධතා සතියට ( 2014 ජූලි 14 සිට 20) සමගාමී ව දිස්ත‍්‍රික්ක 23ක භාෂා සංගම් දායක කර ගනිමින් සමාජ ඒකාබද්ධතා වැඩසටහන් 23ක් ක‍්‍රියාත්මක කෙරිණි. ඒ වැඩසටහන් මඟින් භාෂා සංගම් සාමාජිකයන්ට භාෂා ඉගෙනුම හා ආකල්පමය වෙනස මඟින් ජාතීන් අතර සාමය ප‍්‍රවර්ධනය කිරිමේ  ක‍්‍රියාකාරකම්වලට සහභාගී වීමට ලැබිණි. මේ කාලය තුළ පාසල් උපකරණ බෙදා දීම මොනරාගල හා බදුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තෙබස් නාම පුවරු සකස් කිරීම ද සිදු කෙරිණ. තවත් වැඩසටහන් කිහිපයක් මේ සතිය තුළ ක‍්‍රියාත්මක වූ අතර අදාළ තොරතුරු ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුළුල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපනය කිරීම


    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පළල් බඳ සහිත ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපන සැලැස්ම පළමු ගුවන් යානා 9 මුදල් යොදවන ආකාරය ඇතුළත් කර පිළියෙල කර අවසන් ව ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දන්වන ලද අතර එහි විස්තර පහත දැක්වේ.

    ROLLS ROYCE TRENT 700 බල ගැන්වෙන A 330 -300 ගුවන් යානා 6ක් 2014 වසරේ අවසන් කාර්තුවේ සිට 2015 වසර දක්වා එයාර්බස් සමාගමෙන් මිලදී ගැනීමට,

    A 330 -200 ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා 2017 වසරේදී අමතර A 350 -900 ගුවන් යානා 3ක් කල් බදු ක්‍රමයට ලබා ගැනීමට,

    මේ අනුව පළමු නවීනත ම එයාර් බස් වර්ගයේ  ඒ 330 -300 ගුවන් යානය 2014 ඔක්තෝබර් මස අවසන් සතියේ ලැබීමට නියමිතය.


    ගුවන් යානා ආපදාවකදී සෝදිසි කටයුතු හා බේරාගැනීමේ සේවය - ශ්‍රී ලංකාව හා ‍ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව හා මාල දිවයින් වැනි අසල්වැසි රටවල් අතර


    ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ගිවිසුමේ (චිකාගෝ ගිවිසුම - 1944) කොටස්කරුවකු වන ශ්‍රී ලංකාව එයට අනුව ජාත්‍යන්තර සම්මුතීන් හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී. සෑම රාජ්‍යයක් ම සෝදිසි කටයුතු හා මෙහෙ‍යුම් කටයුතු අවශ්‍ය වූ විට අදාළ සේවා ලබා දීම සඳහා අසල්වැසි රාජ්‍යයන් සමඟ ගිවිසුම්වලට එළඹීම අවශ්‍යතාවක් වේ. රටවල් යොදා ගෙන ඇති ගුවන් ආරක්ෂණ පිළියම් පිළිබඳ ජාත්‍යන්තර සමීක්ෂණයකදී 2013 වසරේදී ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් 191ක් අතුරින් 19 වන තැනට ආසියා ෆැසිපික් කලාපයේ රටවල් 34කින් 4 වන ස්ථානයට ද පැමිණියේය. මාල දිවයින් බලධාරීන් විසින් ඉල්ලනු ලැබ ඇති සැලසුමේ අරමුණ වෙනස් නොවන ආකාරයෙන් එහි මූලික අන්තර්ගතයෙහි (Original Text) යම් වෙනසක් සිදු කිරීමට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


    1942 අංක 31 දරන ජාතික කෞතුකාගාර ආඥා පනත පරිච්ඡින්න කර ශ‍්‍රී ලංකාවේ වර්තමාන හා අනාගත අවශ්‍යතාවට අනුරූප වන අයුරින් නව පනතක් නිර්මාණය කිරීම


    ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවේ නිර්දේශවලට අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් 1942 අංක 31 දරන ජාතික කෞතුකාගාර පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පළ කිරීමටත් අනතුරු ව එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල ජාතික ඵලදායිතා සංවිධාන ප‍්‍රධානීන්ගේ 55 වන වාර්ෂික සැසිවාරය පැවැත්වීම


    ජපානය පාදක කොට ගෙන පිහිටුවා ගෙන ඇති ආසියානු ඵලදායිතා සංවිධානය අන්තර්ජාතික සංවිධානයක් ලෙස එහි සාමාජික රටවල කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයන්හි ඵලදායිතාව ඉහළ නැංවීමෙහිලා සහය ලබා දෙයි. ආසියා හා ෆැසිපික් කලාපයේ රටවල් 19ක් ඒ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත. මෙහි 55 වන වාර්ෂික සමුළුව 2014 ඔක්තෝබර් 21 සිට 23 දක්වා ශ‍්‍රී ලංකාවේදී පැවැත්වේ. ඵලදායිතා ප‍්‍රවර්ධන අමාත්‍ය බෂීර් සේගුදාවුද් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම


    ශ‍්‍රී ලංකාවේ රෝගී ජනතාව වෙත මහත් සේවයක් සපයන ශ‍්‍රී ලංකා ජාතික රෝහල 2014දී සිය 150 වෙනි සංවත්සරය සමරයි. ජාතික රෝහලේ ගොඩනැගිලි අතර බණ්ඩාරනායක ගොඩනැගිල්ල ප‍්‍රධාන වන අතර එහි හදිසි ප‍්‍රතිකාර ඒකකය, ශල්‍යාගාර, ස්නායු ශල්‍යාගාර, විකිරණ අංශය, උගුර කන නාසය පිළිබඳ වාට්ටු හා ප්ලාස්ටික් සැත්කම් ඒකකය ආදිය පිහිටා ඇත. ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් 190,236,983.37ක වියදමකින් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරිම


    සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලු අංශ එක් ගොඩනැගිල්ලක් යටතට ගෙන ඒමේ අරමුණ ඇති ව මහල් දහයකින් යුත් නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් 3,896,553,840.00ක වියදමින් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    යාපනය - කිලිනොච්චිය ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය - පූත්තූර්, මීසාලෙයි, පුනරීන්, නාවට්කුලී, කඩ්ඩුදායී, වේලනෙයි හා මණ්ඩතිව් යන ප‍්‍රදේශවල ජල කුලුණු ඉදිකිරීම (1 වන පැකේජය)


    යාපනය - කිලිනොච්චිය ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකුව, AFD හා ශ‍්‍රී ලංකා රජයේ සහය ඇති ව ක‍්‍රියාත්මක කරන ලදී. මේ යටතේ ප‍්‍රධාන පැකේජ 13ක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. ඉහත ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පැවරීමට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    යාපනය - කිලිනොච්චිය ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය - පලෙයි, කොඩිකාමම්, නල්ලූර්, කරෙයිනගර්, පුන්කුඩුතිව්, කයිට්ස්, වඩුක්කොඩෙයි හා යාපනය මහ නගර සභාව යන ප‍්‍රදේශවල ජල කුලුණු ඉදිකිරීම


    මේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුව, ප‍්‍රංශය හා ශ‍්‍රී ලංකා රජයේ අරමුදල් මඟින් ක‍්‍රියාත්මක කෙරේ. ඉහත ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පැවරීමට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

    ඇතැම් දේශපාලන නායකයන් යාපනයේ ඉරණමඩු ජලාශයේ අතිරේක ජලය යොමු කිරීමට අකමැත්තෙන් පසු වන බව වාර්තා වන බැවින් මේ ව්‍යාපෘතිය සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් උතුරු පළාත් සභාවේ එකඟතාව ලබා ගත යුතු බව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.


    පිවිතුරු බලශක්ති සහ ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය 01 වන පැකේජය මන්නාරම සම්ප්‍රේෂණ ජාල යටිතල පහසුකම් ලොට් A - වව්නියා 132/33 kv ග්‍රීඩ් උපපොළ ඉදිකිරීම හා මන්නාරම 132/33 kv ග්‍රීඩ් උපපොළ ඉදිකිරීම


    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත ටෙන්ඩරය ප්‍රදානය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


    සොයිසාපුර පුනස්ථාපන ව්‍යාපෘතිය යටතේ ඉතුරු පස් මහල් ගොඩනැගිලි 03 ඉදිකිරීම
     

    ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සම්බන්ධව ඉදිකිරීම් , ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව එය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බදුල්ල, හාලිඇළ, විගමනික සම්පත් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම


    ඉහත විගමනික සම්පත් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


    රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 අනුව සැකසූ ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේක 6/2006 අනුව සංශෝධනය කරන ලද හා රාජ්‍ය සේවා කොමිසම් සභාව විසින් අනුමත කරන ලද විදුහල්පති සේවා ව්‍යාවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්ති නිශ්කාෂණය ලබා දෙන ලදී.


    2015 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතට අදාළ යෝජිත පාර්ලිමේන්තු වැඩසටහන


    පහත සඳහන් ඉහත පාර්ලිමේන්තු වැඩසටහන අමාත්‍ය මණ්ඩලය විසින් සටහන් කරන ලදී.

    • අයවැය කථාව - 2014.10.24
    දෙවන වර කියවීමේ විවාදය - 2014.10.25 සිට 2014.11.01 (වෙන් කරන ලද දින 07යි)
    • කාරක සභා අවස්ථා විවාදය - 2014.11.03 සිට 2014.11.24 දක්වා (වෙන් කරන ලද දින 17 යි)


    පරිසරය හා වන විද්‍යාව පිළිබඳව අන්තර්ජාතික සම්මන්ත්‍රණය


    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසර හා වන විද්‍යා පීඨය මඟින් පරිසර හා වන විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් 2014 ඔක්තෝබර් මස 24-25 දිනයන්හි පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සම්මන්ත්‍රණයේ ප්‍රතිඵල පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ හා අනුබද්ධ ආයතනවල කාර්යයන් සඳහා අනුප්‍රවාහගත කිරීම පිණිස ඒ ආයතනවලට අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා මේ සමුළුවේ සහ පරිසර හා වන විද්‍යා පීඨයේ සම්පත් දායකයන්ගේ තාක්ෂණික දායකත්වය ලබා ගැනීමට වැඩසටහනක් පිළියෙළ කර ඇත.

    අදාළ කටයුතු කරගෙන යාම සඳහා පරිසර හා පුනර්ජනනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

     


    මහාචාර්ය ආරියරත්න ඇතුගල
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya