මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.09.30 - අමාත්‍ය මණ්ඩල තීරණ

    සැප්තැම්බර් 30, 2014

    ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාව හා විස්වාසය ඇති කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් නියාමනය කිරීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම.


    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙහි නිර්දේශ අතර විශේෂ අවධානයක් සහජීවනය ඇති කිරීම පිළිබඳව යොමු වී ඇත. රජයේ විවිධ ආයතන මේ සම්බන්ධ විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති ජාතික හා ප්‍රාදේශීය තලයන්හි ක්‍රියාත්මක කරමින් පවති. අතිගරු ජනාධිපතිතුමා විසින් යෝජනා කරන ලද පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    ·        ජාතීන් අතර සහජීවනය ඇති කිරීම අරමුණු කරගත් සියලු වැඩසටහන් හා ව්‍යාපෘති නියාමනය කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් සමාජ සංහිදියාව සහ සහජීවනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම.
     

    ·        උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් මෙම අනුකාරක සභාවට සහය වීම පිණිස අමාත්‍ය ලේකම්වරුන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීම.
     

    විපක්ෂ නායක තුමාගේ කාර්යාලය පිහිටි පරිශ්‍රය ඇතුළත එතුමාගේ කාර්යාලය සඳහා අතිරේක ගොඩනැගිල්ලක් ඉදි කිරීම.


    විපක්ෂ නායක තුමාගේ කොළඹ කාර්යාලය ලෙස භාවිත කරන කොළඹ-07, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ, අංක 30 දරණ පරිශ්‍රය ඇතුළත ඉදි කිරීමට නියමිත මෙම ගොඩනැගිල්ල සැලසුම් ගත මුදල වන රු. 28,400,000.00 සිට භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම නිසා රු. 58,280,036.49 වියදමකින් ඉදිකිරීමට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    බැංකු ක්ෂේත්‍රයේ යෝජිත ඒකාබද්ධකරණය.


    2014 අයවැය යෝජනාවලදී ප්‍රකාශයට පත්කළ ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (DFCC) සහ DFCC සංවර්ධන බැංකුව අතර යෝජිත ඒකාබද්ධ පහසුකම් සැලසෙන පරිදි DFCC බැංකුව 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපිත සමාගමක් බවට පරිවර්තනය කිරීම සඳහා පනත් කෙටුම්පත සකස් කිරීමට ගරු ජනාධිපති තුමා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    ප්‍රමුඛතා පදනම මත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සපයනු ලබන නළ ජල සැපයුම් සේවා ආවරණ ප්‍රදේශය පුළුල් කිරීම සඳහා භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් ලබාගනු ලබන අරමුදල් යටතේ ජල සම්පාදන ව්‍යාපෘති 22ක් ක්‍රියාත්මක කිරීම.


    මෙම ව්‍යාපෘති 22 ක්‍රියාත්මක කිරීම සඳහා ජල සම්පාදන හා ජලා පවහන අමාත්‍යාංශය විසින් සකස් කර ඇති කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන හා ජලා පවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    මෙම ව්‍යාපෘති මගින් 2015 මාර්තු වන විට 150,000ක ජනතාවකට පිරිසිදු පානීය ජලපහසුකම් සපයනු ඇත.

     
    ශ්‍රී ලංකාව හා බෙලොරුසියානු ජනරජය අතර ඇති කර ගන්නා ලද ද්විපාර්ශ්වික ගිවිසුම.


    සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව දැක්වීම පිළිබඳ ගිවිසුමක් දෙරට අතර අත්සන් කර තිබේ. මෙම ගිවිසුම අනුව දෙරට අතර සාපරාධි කාරණාවලදී පරීක්ෂණ කටයුතු සිදු කිරීම, නඩු පැවරීම, නඩු විභාග පැවැත්වීම සහ එහි ප්‍රතිඵලයන් ලෙස උද්ගත වන නීති ඉටු කිරීම ඇතුළුව අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව ප්‍රධානය කරන විධි විධාන ඇතුළත් වේ.

    මෙම විධි විධානයන් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    සාගර විද්‍යා පරිසරය පිළිබද විශිෂ්ටතා කේන්ද්‍රයක් ස්ථාපිත කිරීම.


    ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයෙහි (IORA) දැනට රටවල් 20ක් සාමාජිකත්වය දරන අතර පොදු අභිලාෂයන් වර්ධනය කරගැනීම සඳහා සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා මෙන්ම, වෙළඳාම හා ආයෝජනය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා උපරිම වශයෙන් ඉඩ ප්‍රස්ථා සලසා දීම සහ මෙම කණ්ඩායමේ රටවල් අතර අන්තර් කලාපීය වෙළඳාම ක්‍රියාත්මක කිරීම මෙම සංගමයේ අරමුණයි.


    මෙම සංගමයෙහි මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    හීලෑ අලි ලියාපදිංචිය සහ නඩත්තුව පිළිබඳ රෙගුලාසි සකස් කිරීම.


    වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ II කොටස තුළ, ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ස්වාභාවික වාසස්ථාන තුළ හා ඉන් බැහැරව ගෘහාශ්‍රික තත්ත්වය යටතේ  නීතිමය ආරක්ෂා සඳහා වන නීතිමය ප්‍රතිපාදන අඩංගු අතර, එම ආඥා පනතේ අංක 662/4 හා 1991.05.14 දින දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි මගින් හිලෑ අලි ඇතුන්ගේ අයිතිය නීතිමය ආරක්ෂාව තවදුරටත් තහවුරු වේ. එම නියෝගය 1991 දළ ඇතුන් හා ඇතුන් ලියාපදිංචි කිරීමේ සහ ඔවුන් සඳහා බලපත්‍ර දීමේ නියෝග යනුවෙන් හැඳින්වේ.


    මෙම රෙගුලාසි අවශ්‍ය පරිදි සංශෝධනය කිරීම සඳහා වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසා මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    2014 එක්සත් ජාතීන්ගේ ඉ-සේවා සංවර්ධන දර්ශකයෙහි අගය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්ථාන 41කින් ඉහළ නැග විශිෂ්ට බවට පත්ව ඇත.


    මෙම දර්ශකයෙහි රටවල් 192 ක් අතරින් ශ්‍රී ලංකාව 74 වන ස්ථානයට ඉහළ නැග ඇත.  තවද ශ්‍රී ලංකාව ඉ-රාජ්‍ය සේවාවන් ඉටු කරන ප්‍රධාන පෙළේ රටවල් අතරට පත්ව ඇත. මෙම දර්ශකය තීන්දු කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් කරන ලද සමීක්ෂණයක් මගිනි.


    මේ අතර එක්සත් ජාතීන්ගේ 2014 වාර්තාව අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ රටවල් අතර පළමු ස්ථානයට ද පත්ව ඇත. මෙම තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසිනි.
     

    ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.


    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් පහත සඳහන් ප්‍රතිලාභ අත්වේ.


    ·        මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද, පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ පිටබැද්දර, අතුරලිය, වැලිගම, මුලටියන, මාලිම්බඩ, තිහගොඩ සහ දික්වැල්ල යන ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබා දීම.
     

    ·        හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන, දික්වැල්ල, බෙලි අත්ත, අඟුණුකොළපැලැස්ස, සූරියවැව, හම්බන්තොට නගරය සහ අම්බලන්තොට ප්‍රදේශ වාසීන්ට පානීය ජලය ලබා දීම.
     

    ·        මහ හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත හා වාණිජ කෘෂිකර්මාන්තය සඳහා ජල පහසුකම් ලබා දීම.
     

    ·        හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 8500ක නව ඉඩම් සඳහා යල සහ මහ කන්න දෙකටම ජල පහසුකම් සැපයීම තහවුරු කිරීම හා
     

    ·        හම්බන්තොට දිස්ත්‍රික්කයේ භූගත ජල මට්ටම ඉහළ යාම නිසා කෘෂි නිෂ්පාදන වර්ධනය වීම සහ අනෙකුත් දේශගුණික ප්‍රතිලාභ ඇතිවීම.


    වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.


    පොලොන්නරුව හා වැලිකන්ද රෝහල්වල සෞඛ්‍ය පහසුකම් සංවර්ධනය කිරීම


    පොලොන්නරුව හා වැලිකන්ද රෝහල්වල පහත ඉදි කිරීම් ව්‍යාපෘතිවලට අදාළ කටයුතු ඉදිරියට කරගෙනයාමට හා ඉදි කිරීම් කටයුතු ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවැරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


        පොලොන්නරුව මහ රෝහල

        රුපියල් 42,607,099.55ක වියදමින් බාහිර රෝගීන් සඳහා පහසුකම් සහිත රැඳීසිටීමේ ඒකකයක් ඉදි කිරීම,

        රුපියල් 199,527,717.76ක වියදමින් විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍ය නිලධරයන් සඳහා නව නිල නිවාස සංකීර්ණයක් ඉදි කිරීම, හා

        රුපියල් 37,132,813.18ක වියදමින් පවත්නා වෛද්‍ය නිලධාරි නිල නිවස අලුත්වැඩියා කිරීම,


        වැලිකන්ද මූලික රෝහල

        රුපියල් 18,682,176.45ක වියදමින් බාහිර රෝගීන් සඳහා පහසුකම් සහිත රැඳීසිටීමේ ඒකකයක් ඉදි කිරීම,


    මිද්දෙණිය-අඟුණකොළපැලැස්ස, වීරකැටිය, බරවාකුඹුක - රොටේ, දෙනියාය, ඌරුබොක්ක, හා මොරවක ජල සම්පාදන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම


    ඉහත ව්‍යාපෘතිය මගින් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ දැනට පවතින මිද්දෙණිය-අඟුණකොළපැලැස්ස, බරවාකුඹුක - රොටේ හා වීරකැටිය (මුරුතවෙල ජල සම්පාදන යෝජනාක‍්‍රමය) පුනරුත්ථාපනය කිරීමටත් මාතර දිස්ත‍්‍රික්කයේ දෙනියාය හා ඌරුබොක්ක ජල සම්පාදන යෝජනා ක‍්‍රම වැඩිදියුණු කිරීමටත් දැනට පවතින ප‍්‍රාදේශීය සභා ජල සම්පාදන යෝජනාක‍්‍රමය වෙනුවට මොරවක නව ජල සම්පාදන යෝජනාක‍්‍රමයක් ඉදි කිරීමටත් අපේක්ෂා කෙරේ.


    අදාළ කටයුතු ඉදිරියට කර-ගෙන යාම සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    ග‍්‍රාමීය ප‍්‍රදේශ සඳහා කුඩා බස් රිය 80ක් සැපයීම


    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි එක් බසයක් රුපියල් 3,600,000.00 සහ රුපියල් මිලියන 288.00ක මුළු වියදමකින් නව ආසන 35 දොර දෙකේ අශෝක් ලේලන්ඩ් ලින්ක්ස් බස් රිය 80ක් සැපැයීමේ කොන්ත‍්‍රාත්තුව ලංකා අශෝක් ලේලන්ඞ් සමාගම වෙත පැවැරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    රබර් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නව්‍යකරණය හා සංවර්ධන ශක්‍යතාවන් වැඩිදියුණු කිරීම


    රබර් කර්මාන්තයේ පර්යේෂණ හා සංවර්ධන අංශවල ඉල්ලුම සැපිරීම සඳහා 1909 වසරේ දී පිහිටුවන ලද රබර් පර්යේෂණ ආයතනය ලොව ඒ වර්ගයේ පළමු ආයතනය වන අතර එ මගින් ලෝක රබර් කර්මාන්තයේ දියුණුවට සිදු වූ වටනා දායකත්වය ලොව පුරා පිළිගැනීමට ලක් ව ඇත. ආයතනයේ ශක්‍යතා වැඩිදියුණු කිරීම සඳහා නවීන විද්‍යාගාර සංකීර්ණයක් පිහිටුවීමට යෝජනා කෙරී ඇත.

    යෝජිත විද්‍යාගාරය මගින් කුඩා වතු හිමි ප‍්‍රජාව, මහා පරිමාණ රබර් නිපැයුම් නිෂ්පාදකයන්, රබර් ආශ‍්‍රිත වෙළෙඳ සමාගම්, විශ්වවිද්‍යාල සිසුන් හා විද්වතුන් ඇතුළු රබර් ක්ෂේත‍්‍රයේ සියලු ම පාර්ශ්වකරුවන් සඳහා පහසුකම් සපයාදීමට අපේක්ෂා කෙරේ. අදාළ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් පිහිටුවීම - තාක්ෂණික නව්‍ය සොයාගැනීම් මධ්‍යස්ථානය ඉදි කිරීම


    නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය ස්ථාපනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අක්කර 48ක ඉඩමක් වෙන් කරන ලද අතර ජාතික විද්‍යා මධ්‍යස්ථානය පිහිටුවීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 300ක ප‍්‍රතිපාදන වෙන් කොට ඇත.


    ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 419ක් වන අතර එය 2014 හා 2015 වසරවල දී අදියර දෙකකින් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ඒකක මිලගණන් ඉදි කිරීම් ඉංජිනේරුමය සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ අනුමතියට යටත් ව කොන්ත‍්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශ වෙත පැවැරීමට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya