අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.05.08 අමාත්‍ය මණ්ඩල තීරණ

    මැයි 08, 2014

    ශ්‍රී පාදස්ථානය ශුද්ධ භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීම

     

    මුහුදු මට්ටමෙන් අඩි 7353ක් උසින් අක්කර 100ක ඉඩමක ශ්‍රී පාදස්ථානය පිහිටා ඇත. අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව නිලධාරි කමිටුවක් පත්කිරීමටත් ශ්‍රී පාදස්ථානය එමඟින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සඳහා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් එහි වන්දනාකරුවන් සඳහා වූ පහසුකම් වැඩිකිරීමට කටයුතු යෙදීමටත් කැබිනට් අනුමැතිය ලැබිණ.

     

    කොට්ටාවේ පරිවාස හා ළමාරක්ෂණ ‍දෙපාර්තමේන්තුව සතු ඉඩමක් නගර සංවර්ධනය සඳහා අත්පත් කර ගැනීම

     

    කොට්ටාව නගරය සංවර්ධන කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රධාන සැලසුමක් නිර්මාණය කර ඇත. ඒ අනුව මෙම නගරය තුළ වෙළෙඳ සංකීර්ණයක්, වාණිජ මධ්‍යස්ථානයක්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයක් හා අනෙකුත් මහජන පහසුකම් ද ඉදිකිරීමට නියමිතය.  තවද මෙම සංකීර්ණයේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යාලවල ප්‍රාදේශීය කාර්යාල ද ස්ථාපනය කෙරේ. මේ සම්බන්ධයෙන් අක්කර 4ක ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

     

    ඇහැළියගොඩ නගර මධ්‍යස්ථාන සංවර්ධන ව්‍යාපෘතිය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම

     

    ඇහැළියගොඩ නගරය  ප්‍රධාන සේවා මධ්‍යස්ථානයක් බවට පත්ව තිබී‍ම හේතු කොට ගෙන ඇහැළියගොඩ නගර ප්‍රවර්ධන ව්‍යාපෘතිය ප්‍රාදේශීය නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘති සැලැස්ම අනුව අක්කර 16ක් පමණ වූ භූමියක වෙනම කලාපයක් ඇති කිරීමටත් එමඟින් සෞඛ්‍ය, බැංකු, මුල්‍ය හා ආර්ථික සේවා හා මැණික් වෙළෙඳාම සඳහා වන වි‍ශේෂ කලාපයක් ඇති කිරීමටත් සැලසුම් කර ඇත. මෙමඟින් අවට ප්‍ර‍දේශවල ජනතාවට විශාල ප්‍රගතියක් ඇතිවීමට ඉඩ ඇත. අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

     

    වකුගඩු රෝගය හඳුනාගැනීම හා ප්‍රතිකාර කිරීම සඳහා ඒකකයන් ඇති කිරීම

     

    පදවිය, අරලගංවිල, බකමූණ, හෙට්ටිපොළ, පදවි ශ්‍රී පුර, දෙහිඅත්තකණ්ඩිය, වැල්ලවාය, ‍තිස්සමහාරාම, වැල්ලවාය, වව්නියා දකුණ, මාමඩුව, සම්පත් නුවර සහ තංගල්ල යන පෙදෙස්වල ඇති රෝහල් වකුගඩු රෝග හඳුනාගැනීමේ සායන ස්ථාපනය සඳහා වූ කොන්ත්‍රාත් මධ්‍යම ඉංජිනේරු උපදේශක මණ්ඩලයට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ. 

     

    ලංකා ‍ඛණිජතෙල් නීතිගත සංස්ථාව හා මලයාසියාවේ හයිරැක්ස් ඔයිල් SDN BHD ආයතනය සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ලිහිසි තෙල් නිපදවීමේ කර්මාන්තයක් ඇති කිරීම

     

    ඇමෙරිකානු ඩොලර් මිලියන 09ක ආයෝජනයක් යටතේ ඉහත කී ඒකාබද්ධ ව්‍යාපෘතිය ඇති කිරීමටත්, එමඟින් දේශීය හා අපනයන වෙළෙඳපොළට එම නිෂ්පාදන සැපයීමටත් ඛණිජතෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

     

    2007 අංක 07 දරන සමාගම් පනත හා සමාජ ආඥා පනත, 1891 අංක (පරිච්ඡේද 123) 2005 අංක 11 සමාජ ආඥා සංශෝධිත පනත සමඟ කියවීම

     

    2014 ජනවාරි 27 දින අංක 1847/2 සහ 2013.12.18 දින අංක 1841/8 ගැසට් ප්‍රකාශවලින් ප්‍රකාශයට පත්කළ සමාගම්, සමාගම් ‍ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟන් කෙරෙන සේවාවන් සඳහා වන ගාස්තු සම්බන්ධයෙන් රෙගුලාසි පැනවීමට වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ගෙනා යෝජනාවට  කැබිනට් අනුමැතිය ලබා දුනි.

     

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ආර්ථික සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමට සක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීම සඳහා අධ්‍යයයන කණ්ඩායමක් පිහිටුවීම

     

    දෙරට අතර ‍නිදහස් වෙළෙඳ ගිවිසුමක් හෝ වරණීය වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට සක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත අධ්‍යයයන කණ්ඩායමක් පිහිටුවීමට කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දුනි. 

     

    ජනාධිපතිතුමාගේ විශේෂ  නියෝජිත ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, අමාත්‍ය ‍සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ කොරියානු ජනර‍ජයේ නිල සංචාරයක යෙදීම

     

    ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයකු ලෙස තමා මෑතකදී යෙදුණු උක්ත සංචාරය පිළිබඳ කරුණු කැබිනට් මණ්ඩලයට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේය. ඔහු පෙන්වා දුන්නේ මෙම නිල සංචාරය දෙරටේ සහයෝගිතාව වඩාත් ශක්තිමත් කිරීමටත් දැනට දියත් කර ඇති ආර්ථික වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් විශේෂයෙන් උපකාර වූ බවයි. කොරියානු රජය මෙරට ක්‍රියාත්මක කරන ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බවත්, එමඟින් කොරියානු ආයෝජකයන් දිරිමත් කර ඔවුන්ට විශේෂ ණය පහසුකම් ලබා දීමටත් කොරියානු රජය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව පෙන්වා දුනි. 2008 සිට 2012 දක්වා කොරියානු රජය ලංකාවට ඇ.ඩො.මි.340ක් ලබා දී ඇති බවත් තවත් ඇ.ඩො.මි.290ක් 2015දී ලබාදීමට කැමැත්ත  පළ කර ඇති බවත් හෙතෙම දැන්වීය. තවද ලාංකිකයින් 25000ක් පමණ එහි රැකියාවල නියුක්ත බවත් ඉන් විශාල විනිමය ප්‍රමාණයක් ලැබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

     

    රසදිය සම්බන්ධ මිනමාටා සම්මුතිය අත්සන් කිරීම

     

    පරිසරයට රසදිය මුදාහැරීමෙන් පරිසරයට හා මිනිස් ජීවිතවලට බොහෝ හානි පැමිණේ. මෙම සම්මුතියේ ප්‍රධාන අරමුණ නම් මිනිස් සෞඛ්‍ය හා ගෝලීය පරිසරය රසදිය මඟින් ඇති කරන අයහපත් තත්ත්වයන්ගෙන් මුදා ගැනීමය. පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉහත සම්මුතිය අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශ සඳහා ඉදිරිපත් කිරීමට කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

     

    එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ජාතික ඕසෝන ඒකකය සමඟ සංවිධානය කරන දකුණු ආසියානු ඕසෝන් නිලධාරීන්ගේ ජාලගත සමුළුව

     

    මොන්ට්‍රියල් සන්ධානය 1989 සිට ක්‍රියාත්මක කරන වායුගෝලයේ අධිකව විසිර ඇති ඕසෝන් ක්ෂය කාරක ද්‍රව්‍ය නිෂ්පාදනය හා පරිභෝජනය පහත හෙළීමටත් එමඟින් දැනටම බිඳවැටී ඇති ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමටත්, මොන්ට්‍රියල් සන්ධානය මඟින් 1989 ක්‍රියාත්මක කළ එකඟතාවන් හා ඒ සම්බන්ධයෙන් 1990 හා 1999 ඇති කළ සංශෝධනයන් පිළිබඳ වියානා සම්මුතියට ලංකාව අත්සන් තබා ඇත.  ලංකාව දිගටම මේ සම්බන්ධයෙන් ගුණාත්මක පියවර ගෙන ඇත. ජාලගත සමුළුව  වසරක් පාසා මොන්ට්‍රියල් සම්මුතියේ ඕ‍සෝන් ලේකම් කාර්යාලය මඟින් පවත්වයි. ලංකාවේ මැයි මස 27 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත මෙම සමුළුව පිළිබඳ විස්තර පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

     

    ලංකාවේ මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත කෘෂිකාර්මික ප්‍රජාව දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුහුරු කිරීමේ ව්‍යාපෘතිය

     

    මෙම ව්‍යාපෘතියේ මූලික පරමාර්ථය නම් මෙම ද්‍රෝණියේ වැසි‍දියෙන් යැපෙන කෘෂිකාර්මික ප්‍රජාව ඵලදායී භූමි හා ජල සම්පත් කළමනාකරණය තුළින් විවිධාංගීකරණය වූ තිරසර ජීවනෝපායන් සඳහා යොමු කිරීමයි. මේ සම්බන්ධයෙන් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් එක්සත් ජාතීන‍්ගේ අනුහුරු කරවීමේ අරමුදල මඟින් පරිත්‍යාග කර ඇති ඇ.ඩො.මි.7,989, 727 උපයෝගී කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    ලංකාවේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ප්‍රතිපත්තිය

     

    යහපත් වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය කළමනාකරණ පද්ධතියක් ස්ථාපනයටත්, එමඟින් වෘත්තීයමය අනතුරු හා ලෙඩ රෝග අඩු කිරීමටත්, සේවකයන් අතර මනා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ප්‍රවර්ධනය කිරීමටත්, මානව සම්පත් ආරක්ෂා කිරීමට හා මුල්‍ය සම්පත් ඉතුරුවක් ඇති කිරීමටත්, කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය පි‍ළියෙල කර ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ප්‍රතිපත්තිය එහි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

     

    ලංකාවේ ජල මුලාශ්‍ර හා ජල පෝෂක ප්‍රදේශ, ජලාශ රක්ෂිත, ගංඟා ඇළදොළ රක්ෂිත ආරක්ෂණය හා සංරක්ෂණය.

     

    මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව මඟින් සියලු විෂයභාර අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මෙන්ම ආයතනවලින් ලබා ගත් අදහස් පදනම් කර ගෙන පිළියෙළ කර ඇති ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

     

    ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

     

    මෙම කරුණ සම්බන්ධයෙන් ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර අත්සන් කරන ලද අව‍බෝධතා ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    මිශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් කොළඹ 03 ආර්.ඒ. ද මැල් මාවතේ ස්ථාපිත කිරීම

     

    කොළඹ 03 ආර්.ඒ. ද මැල් මාවතේ ඇ.ඩො.මි.250ක අපේක්ෂිත ආයෝජනයක් සහිතව නිවාස සංකීර්ණයකින්ද සමන්විත මිශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ස්ථාපිත කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

     

    ගාලු මුවදොර සිට ගල්කිස්ස තෙක් කොළඹ මුහුදු තීරයේ සුරක්ෂිතභාවය හා සංවර්ධන සඳහා ව්‍යාපෘතියක් දියත් කිරීම

     

    කි.මී. 10ක භූමි ප්‍රදේශයක් සංරක්ෂණය හා සංවර්ධනය මේ යටතේ සිදු වන අතර ඒ මඟින් මෙම ප්‍රදේශයේ ආර්ථික වටිනාකම ඉහළ යනු ඇත. මෙම ව්‍යාපෘතිය අක්කර 590ක වපසරියකින් යුක්තය. මේ සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

     

    කොළඹ කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක පමණ භූමි ප්‍රදේශයක  මිශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීම

     

    මෙහි අරමුණ වන්නේ අක්කර 8ක් පමණ භූමියේ දැනට පිහිටුවා ඇති සියයයකට ආසන්න වෙළෙඳසැල් සමඟ නිවාස ඒකක 536ක් සපයා ඒවායේ පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමයි. මෙම මිශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය මඟින් නවීන පන්නයේ කාර්යාල පහසුකම්, නේවාසික ඒකක ආදිය  පිහිටුවා එමඟින් කොළඹ පුරවරය වෙනසකට ලක් කරනු ඇත.  මෙහි අපේක්ෂිත ආයෝජනය ඇ.ඩො.මි.429.5කි. 2008 අංක 13 දරන උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය දීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

     

    ග්‍රාමීය පාලම් 1000ක් ඉදි කිරීම

     

    එක්සත් රාජධානියේ සමාගමකට ග්‍රාමීය පාලම් 537ක් ඉදිකිරීම සඳහා ඉඩදීමට මින් පෙර අනුමැතිය ලබා දුනි. ‍තවත් පාලම් 463ක් ඉදිකිරීමටත් එම ටෙන්ඩරය නෙදර්ලන්ත සමාගමකට යුරෝ මිලියන 105කට ලබා දීමටත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ  මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ. නෙදර්ලන්තයේ බෑන්ක් ඔෆ්‍ නෙදර්ලන්ඩ් බැංකුව මීට මුදල් පහසුකම් ලබා දෙයි.

     

    කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට මහල් 08කින් යුත් වෛද්‍ය අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකිරීම

     

    ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම ටෙන්ඩරය රු.මි. 142.7කට අවම ලන්සුව ගෙනා කැබිනට් අනුමැතිය ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

     

    උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම

     

    2015 වසර සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් වැය ශීර්ෂය යටතේ රු.මි.38.06ක වියදමින් මෙම ‍ගොඩනැගිල්ල ඉදිකිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

     

    2014 සැප්. 17 ශ්‍රීමත් අනගාරික ධර්මපාල දිනය ලෙස නම් කිරීම

     

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම දින සංවත්සරය යෙදෙන මෙම දිනය ශ්‍රීමත් අනගාරික ධර්මපාල දිනය ලෙස නම් කිරීමට මහා සංඝරත්නය හා අනෙකුත් බෞද්ධ සංවිධාන යෝජනා කර ඇත. ඒ සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ද එකඟ වී ඇත. ඒ අනුව ඒ දිනය ශ්‍රීමත් අනගාරික ධර්මපාල දිනය ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ. 

     

    බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහල විශේෂිත මාතෘ හා ළමා රෝහලක් ලෙස සංවර්ධනය කිරීම

     

    මාතෘ හා ළමා සෞඛ්‍ය සඳහා වූ විශේෂිත රජයේ රෝහලක් දිවයිනේ ගිනිකොණදිග ප්‍රදේශයේ පිහිටුවීම දිගු කලක සිට ඇති අවශ්‍යතාවකි. සුනාමි ව්‍යසනය හේතුවෙන් ගාල්ල, මාතර, හම්බන්තොට හා අම්පාර දිස්ත්‍රික්කයන්හි පැවති මාතෘ හා ළමා සෞඛ්‍ය ආයතනවලට සිදු වූ හානි නිසා මෙම අවශ්‍යතාව වැඩිදියුණු විය. ඒ නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහල විශේෂිත මාතෘ හා ළමා රෝහලක් ලෙස සංවර්ධනය කිරීමටත්, බෑන්ක් ඔෆ්‍ නෙදර්ලන්ඩ් බැංකුවෙන් ඊට ණය ලබා ගැනීමේ ගිවිසුමකට එළඹීමටත් අතිගරු ජනාධිපතිතුමා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ. 

     

    හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන

     

    මෙම ව්‍යාපෘතිය මඟින් රජ‍යේ බලශක්ති අංශ හරිත බලශක්ති සංවර්ධන ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කෙරේ. මේ යටතේ මොරගොල්ල ප්‍රදේශයේ මෙගවොට් 30, කෙරවලපිටිය (කි.වොට් 220/33), කප්පත්තුරෙයි(කි.වොට් 220/132/33) කළුතර හා කැස්බෑව (කි.වොට් 220/132/33) , නැගෙනහිර හා උතුරුමැද පළාත්හි කටුනායක හා පැරණි අනුරාධපුර කි.වො. 132/ 33 ජාල උපපොළවල් වැඩිදියුණු කිරීම. නැගෙනහිර හා වයඹ පළාත්වල වව්නතිව් හා මාදම්පේ ප්‍ර‍දේශ ආශ්‍රිතව කි.වො.33 බෙදාහැරීමේ මාර්ග හා ගැන්ට්‍රි ඉදිකිරීම.

     

    කොළඹ නගරය තුළ ඉල්ලුම් කළමනාකරණය මත උප නියමු ව්‍යාපෘති ඉදිකිරිම

     

    රජය මෙම ව්‍යාපෘතියේ පළවෙනි අදියර  ඇ.ඩො.මි. 40ක් ලබා දෙන අතර, ඉතුරු ප්‍රමාණය ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගනී. අතිගරු ජනාධිපතිතුමා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.

     

    වර්තමානයේ ක්‍රියාත්මක කරමින් පවත්නා උතුරු නැගෙනහිර පළාත් පාලන සේවාවන් වැඩිදියුණු කිරීමේ (පුරනැගුම) ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියානු මුල්‍ය කටයුතු හා වෙළෙඳාම පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ඇ.ඩො.මි.18.8ක මුල්‍ය ප්‍රදානයක් ලබා ගැනීම

     

    උතුරු නැගෙනහිර පළාත් සභාවල ප්‍රාදේශීය සභාවන් 65ක්, නගර සභා 12 හා මහ නගර සභා 3ක් ආවරණය කරමින් දැනට ක්‍රියාත්මක වන උතුරු නැගෙනහිර පළාත් පාලන සේවාවන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහජනතාවට වඩාත් සමීප හා විශ්වාසී අයුරින් ප්‍රාදේශීය සේවාවන් හා යටිතල පහසුකම් සැපයීම ක්‍රියාත්මක කරමින් පවතී. මොණරාගල, පොලොන්නරුව, අනුරාධපුර හා පුත්තලම වැනි දිස්ත්‍රික්වල තවත් පාලන ආයතන 22ක් දක්වා පවතින පුර නැඟුම ව්‍යාපෘතිය පුළුල් කිරීමට අවශ්‍ය අතිරේක අරමුදල් වශයෙන් ඇ.ඩො.මි.18.8ක මුල්‍ය ප්‍රදානයනයන් ලබාදීමට ඕස්ට්‍රේලියානු මුල්‍ය කටයුතු හා වෙළෙඳාම පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් එකඟතාව පළ කර ඇත. මේ සඳහා අතිගරු ජනාධිපති තුමා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya