දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සම්මේලනය “තේ – ජීවන රටාවක් සහ ජීවනෝපායක්” යන තේමාව යටතේ කොළඹ තේ වෙළඳ සංගමය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය එක්ව සංවිධානය කර ඇත.
කෙන්යාව, ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව, ජපානය, එක්සත් රාජධනිය, ගල්ෆ් කලාපිය රටවල් සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැසකින් තේ භෝගයේ සිට තේ කෝප්පය දක්වා වන සමස්ත ගෝලීය තේ වටිනාකම් දාමයේ කර්මාන්ත ප්‍රවීණයන්, විශේෂඥයන් ප්‍රමුඛ සන්නාම සහ සමාජ සංවිධාන මේ සඳහා එක්ව සිටී.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,
අද අප මෙහි රැස්ව සිටින අවස්ථාව වන විට පාර්ලිමේන්තුවේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත විවාදයට ගනිමින් තිබෙනවා. පහුගිය අවුරුදු හතරක කාලසීමාව තුළ අප සිදු කළ වැඩකොටස පිළිබඳ මම අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.
නමුත් අපගේ ආනයනික භාණ්ඩ සඳහා ගෙවීමට තවමත් විදේශ විනිමය අවශ්‍ය බව අප මතක තබා ගත යුතුයි. ඉදිරි දශකය තුළ අපනයන ආර්ථිකයකට රට පරිවර්තනය කිරිම වෙනුවෙන් අප කැපවී සිටින්නේ ඒ නිසයි. එය ශුද්ධ ශුන්‍ය විමෝචන ඉලක්කය සපුරාගත් සහ ඩිජිටල්කරණය මත පදනම් වූ ඉහළ තරගකාරි ආර්ථිකයක් ද විය යුතුයි. අද විවාදයට ගැනෙන මෙම පනත තුළ ඊට අදාළ මූලධර්ම හා ආයතනික ව්‍යුහය අන්තර්ගත වෙනවා.
පාර්ලිමේන්තුවේ පක්ෂ, විපක්ෂ සියලුදෙනාගේ සහාය මේ සඳහා හිමි වනු ඇතැයි මම විශ්වාස කරනවා. රට අපනයන ආර්ථිකයකට පරිවර්තනය කිරීමේ දී තේ කර්මාන්තයට ද විශාල වගකීමක් පැවරී තිබෙනවා. 19 වැනි සහ 20 වැනි සියවස්වල පැවති වැඩවසම් ආර්ථිකයේ සිට නවීන ආර්ථිකයකට අප පරිවර්තනය වූයේ තේ ඇතුළු අපගේ වැවිලි කර්මාන්තය නිසයි. තේ කර්මාන්තය නොතිබුණා නම් අද මේ රටේ බොහෝ නවීකරණ ක්‍රම ඇති නොවන්න තිබුණා. තේ කර්මාන්තය ඇති නොවන්න ඇල්ල ප්‍රදේශය සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් නොවන්නත් ඉඩ තිබුණා.
අප දැන් සිටින්නේ එහි තවත් සුවිශේෂි අදියරකයි. මෙහිදී අප යථාර්ථවාදී විය යුතුයි. අප වසර 30-40ක් තිස්සේ ඉඩම්වලින්, වතුකරයෙන් ලබාගැනීමට හැකිව තිබු ආදායම් අහිමිකරගත් රටක් බවට පත්වී තිබෙනවා. එම ආදායම් නැවත ලබා ගැනීම වෙනුවෙන් වතුකරයත්, රටත් දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
එහිදී ඉහළම ඉපැයීම් දෙස අවධානය යොමු කරන කුඩා වතු හිමියන් සහ විශාල කළමනාකරණ සමාගම් යන දෙඅංශයෙන්ම දියුණු වන කෘෂි ව්‍යාපාර අපට අවශ්‍යයි. එහිදී සුවිශේෂි පියවර දෙකක් තිබෙන අතර වැටුප් ප්‍රශ්නය විසඳීම එහි පළමු අවශ්‍යතාවයයි. වතුකරයේ ජනතාව පසුගිය ආර්ථික අර්බුදයට හමුවේ වැඩිම පීඩාවකට ලක් වු ජනතාව අතර ඉදිරියෙන්ම සිටින බව අප අමතක නොකළ යුතුයි.
එසේම වතුකරයේ දැනට පවතින සියලුම ලයින් කාමර සහ ඒ අවට ප්‍රදේශ රජයට පවරාගෙන ගම්මාන ලෙස නැවත ගැසට් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එවිට වතුකරයේ ඇති වන දියුණුව සමඟ ලයින් කාමර සංකල්පය තුරන් වී යනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
නුවරඑළිය ප්‍රදේශයේ බහුමාන දරිද්‍රතා දර්ශක, යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද වඩා ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඒ නිසා අප මේ කෙරහි ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කළයුතුයි. ඒ වගේම මෙම කාලය තුළ ඇතැම් ව්‍යවසායන්, විශේෂයෙන් කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් මුහුණ දී සිටින ණය ප්‍රශ්නය විසඳන්නේ කෙසේද යන ගැටළුව තිබෙනවා.
එසේම රුසියානු වෙළඳපොළට ප්‍රවේශ වීම අප අවධානය යොමු කළ යුතු තවත් කරුණක් බවට පත්ව තිබෙනවා. රුසියාව වෙත පනවා ඇති සම්බාධක ඔවුන්ට කිසිඳු ආකාරයකින් පසුබෑමක් ඇතිකර නැහැ. ඔවුන් කෙසේ හෝ ආසියාවට පැමිණ තිබෙනවා. ගැටලුව ඇතිවී තිබෙන්නේ රුසියාව සමඟ වෙළඳාම් කිරීමට සිටින අප වැනි රටවලටයි. අපට නව දැක්මක් අවශ්‍ය වෙනවා. නමුත් ඒ සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය එනතෙක් අපට බලා සිටිය යුතුයි. එතෙක්, ඔබ ඔබේ තේ රුසියාවට ගෙන යන ආකාරය පිළිබඳ ඔබේ මාධ්‍යයන් භාවිතා කළ යුතුයි.
අපේ රටේ කුඩා වතු හිමියන් විශාල පිරිසක් සිටින අතර, ඒ හරහා වැවිලි කර්මාන්තය කෘෂි ව්‍යාපාරයක් බවට පත් කරන්නනේ කෙසේද කියා අප අවධානය යොමු කළයුතුයි. අප තේ වගාව පමණක් සිදු කරනවාද, නැතහොත් ඔබේ ප්‍රදේශවල සුහුරු කෘෂිකර්මාන්තය සඳහා ඉඩ ලබා දෙනවාද? කියා තීරණය කළ යුතුයි. ඉදිරි කාලය තුළ කෘෂි ව්‍යාපාර වර්ධනය සඳහා රටේ අනෙකුත් ප්‍රදේශවල ඉඩම් ලබාදීමට ද අප අපේක්ෂා කරනවා. ඒ පිළිබඳ සොයා බැලීමට ඔබට අවස්ථාව තිබෙනවා.
අපේ ඇතැම් සමාගම් පිටරට ගොස් ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබෙනවා. තේ කර්මාන්තය තුළ ශ්‍රී ලංකාව ප්‍රමුඛයා වී සිටින තාක් එය ආණ්ඩුවට ප්‍රශ්නයක් නොවෙයි. ඒ යටතේ අප තවදුරටත් ඉදිරියට යා යුතුයි. තේ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව ආධිපත්‍ය දැරිය යුතුයි.
අද තේ සඳහා පවතින ඉල්ලුම කුමක්දඅ? 80 සහ 90 දශකවල ඉපදුණු (Millennials) සහ Gen Z පරපුරේ අවශ්‍යතාව කුමක්ද, ඔබ මෙහි සිදුකරන ප්‍රවර්ධන, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු හැර එම වැඩපිළිවෙළ ශ්‍රි ලංකාව තුළ හඳුනාගෙන නැහැ. එහිදී ඔබ යුරෝපය සහ ඇමරිකාව වැනි රටවල් පිළිබඳ අවධානය යොමු කළ යුතු අතර නව ප්‍රවනතා සොයා බැලිය යුතුයි කියා මම විශ්වාස කරනවා.
ඒ වගේම අපගේ තේ පර්යේෂණ ආයතනය ශක්තිමත් කළ යුතුයි. ඒ වෙනුවෙන් රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
අප සියලුදෙනා එක්ව මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. අපනයන ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේ දී තේ කර්මාන්තයේ නව ප්‍රවර්ධනය ඉතා වැදගත් වෙනවා. එම කටයුතු සඳහා රජය සමඟ එක්වන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
මෙරට තේ තර්මාන්තය සහ එම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට සහ තිරසරව පවත්වාගෙන යාමට පරිවර්තනීය ගමනක් අප ආරම්භ කර තිබෙනවා. 2024 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ තේ සඳහා ගෝලීය වශයෙන් පිළිගත් ජාතික තිරසාර ප්‍රමිතියක් අප ස්ථාපිත කරනවා. මෙය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති අතර සංවර්ධනය සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා අපගේ කැපවීම පිළිබඳ සාක්ෂියක් බවට ද පත්වෙනවා.
මෙම නව ප්‍රමිතිය මගින් අඩු කාබන් ප්‍රමාණයක් විමෝචනය කරන තේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කරමින් පුනර්ජනනීය කෘෂිකාර්මික ආකෘතියක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා මග පෙන්වනු ඇතියි. මෙම බහුවිධ ක්‍රියාපටිපාටි සහිත ප්‍රවේශය සඳහා අපගේ තේ නිෂ්පාදන ක්‍රියාවලීන් පාරිසරික වශයෙන් තිරසර හා ආර්ථික වශයෙන් වටිනා බව සහතික කිරීම සඳහා ශක්තිමත් ජීවන චක්‍ර විශ්ලේෂණයක් සිදු කිරීම ද ඇතුළත් වෙනවා.
මෙම සම්මේලනය සිලෝන් තේ සහ ගෝලීය පාර්ශවකරුවන් සඳහා වැදගත් සංසදයක් වෙනවා. ලොව පුරා තේ කර්මාන්තය තීරණාත්මක කාලයකට මුහුණ දී සිටින අතර “තේ – ජීවන රටාවක් සහ ජීවනෝපායක් ” යන මෙම සමුළුවේ තේමාව තේ කර්මාන්තය සඳහා කාලෝචිත සහ තීරණාත්මක වෙනවා. ඉදිරි දින දෙක තුළ සැලසුම් කර ඇති මෙම සංවාද තේ කර්මාන්තයේ අනාගතය සඳහා ඉතා වැදගත් වෙනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල්, කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනයේ සම සභාපතිවරුන් වන ගනේෂ් දේවනායගම් සහ අනිල් කූක් ඇතුළු තේ වතු හිමියන්, තේ කර්මාන්තශාලා හිමියන් සහ තේ කර්මාන්තයට සම්බන්ධ දෙස් විදෙස් නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.