මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.10.09 - අමාත්‍ය මණ්ඩල තීරණ

    ඔක්තෝබර් 10, 2014
    කොළඹ නෙළුම් කුලුනට සමගාමී ව යෝජිත නෙළුම් කුලුන සාප්පු හා විනෝදාත්මක ක‍්‍රීඩා සංකීර්ණය
     
    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් කොළඹ නෙළුම් කුලුන නම් මීටර් 350ක් උස බහුකාර්ය කුලුන හා විනෝද කටයුතු මධ්‍යස්ථානයක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදි කරනු ලබයි. නෙළුම් කුලුන ආශ‍්‍රිත භූමි ප‍්‍රදේශය වාහන නැවැත්වීමේ පහසුකම් ද සහිතව අවශ්‍ය යටිතල පහසුකම් ද සමඟින් විනෝද උයනයක් වශයෙන් සංවර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ. කුලුනේ ව්‍යුහාත්මක කටයුතු 2015 ජූනි මස වන විට නිම කිරීමට අපේක්ෂිතය. අතිගරු ජනාධිපතිතුමන් ගේ යෝජනාවකට අනුව යාබද භූමියෙන් අතිරේක ඉඩම් ප‍්‍රමාණයක් පවරා ගැනීමට හා අදාළ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි. 
     
    උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිෂමේ නිර්දේශ ක‍්‍රියාවට නංවාලීම පහසු කරලනු පිණිස ප‍්‍රතිසන්ධානය සඳහා වන විශේෂ කාර්යාංශයක් ස්ථාපනය කිරීම
     
    ජනාධිපති ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු කමිටුවක් විසින් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ 144 ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලද අතර ඒ අතරින් 45ක් සම්පූර්ණ කොට ඇති අතර 89ක් සිදු කෙරෙමින් පවතී. නිර්දේශ 10ක් ක‍්‍රියාත්මක කිරීමේ ආරම්භක අදියරෙහි පවතී. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභා නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම විමර්ශනය කිරීමේ කමිටුවට පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම්වරයා යටතේ ක‍්‍රියාත්මක වන ප‍්‍රතිසන්ධානය සඳහා වන විශේෂ කාර්යාංශයක් ස්ථාපනය කිරීමට අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
    අනුරාධපුර නගර මධ්‍ය ප‍්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය සඳහා රජයේ ඉඩමක් පවරා ගැනීම
     
    අනුරාධපුර මහ නගර සභා ප‍්‍රදේශයේ නේවාසික ජනගහනය 51,000ක් පමණ වන අතර රටෙහි පවත්නා සාමකාමී වාතාවරණය හේතුවෙන් වන්දනාකරුවන්ගේ පැමිණීම වර්ධනය වී ඇති බැවින් දහවල් කාලයේ ජනගහනය 100,000 පමණ වේ. පූජා භූමි ප‍්‍රදේශයේ පොදු පහසුකම් වැඩිදියුණු කරමින්, සිදුවන්නා වූ සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුපරීක්ෂාකාරී ලෙස නියාමනයට ලක් කරමින් නගරයෙහි සිදුවන සංවර්ධන කටයුතු සැලසුම්ගත ආකාරයට සිදු කරනු ලබයි. ප‍්‍රතිසංවර්ධන ක‍්‍රියාකාරකම් සඳහා අනුරාධපුර මෛත‍්‍රිපාල සේනානායක මාවතේ පළමු පටුමඟෙහි පිහිටි පර්චස් 228.9ක රජයේ ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය  ලැබිණි.
     
    නාඋල නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් පවරා ගැනීම
     
    මාතලේ දිස්ත‍්‍රික්කයේ ඉහළ යමින් තිබෙන කෘෂිකාර්මික, ප‍්‍රවාහන, සංචාරක, වාණිජ හා අනෙකුත් නගර සංවර්ධන කටයුතුවල අවශ්‍යතාව සමඟ එම දිස්ත‍්‍රික්කයේ සැලසුම්ගත නගරයක් වශයෙන් නාඋල නගරය, ප‍්‍රාදේශීය නගර සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගෙන තිබේ. නාඋල නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අක්කර 6.7884ක හඳුනාගත් ඉඩමක් පවරා ගැනීමට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
    ජනරාල් ශ‍්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය දක්ෂිණ මණ්ඩපය පිහිටුවීම
     
    දකුණු, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල සිවිල් සිසුනට හා විදේශීය සිසුනට අධ්‍යාපන අවස්ථා ලබාදීම සඳහා ජනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය සුරියවැව පිහිටුවීමට අපේක්ෂිතය. 2014 වසරේ සිට වසර පහක් ඇතුළත අදියර 3කින් මෙය ඉදි කිරීමට සැලසුම් කොට ඇත.
     
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්  අතිගරු ජනාධිපතිතුමන් විසින් මීට අදාළ කටයුතු ඉදිරියට කරගෙනයෑම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි. 
     
    මුදල් රෙගුලාසි  -  2015
     
    2013 අය-වැය කථාවේ ප‍්‍රකාශ කළ පරිදි වර්තමාන අවශ්‍යතාවනට ගැළපෙන පරිදි හා මූල්‍ය රෙගුලාසි අනුගමනය කිරීම වඩා පහසු කිරීමට උත්සාහ දරමින් මුදල් රෙගුලාසි තවදුරටත් සංශෝධනය කිරීමේ කාර්යය මහා භාණ්ඩාගාරය විසින් භාර ගන්නා ලදී. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ යහ භාවිතය හා වගකීම ප‍්‍රවර්ධනය සඳහා ක‍්‍රමසම්පාදනය, අයවැය සකස් කිරීම, ක‍්‍රියාත්මක කිරිම යන ක්ෂේත‍්‍රවලට සම්බන්ධිතව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධ මූලධර්ම පුළුල් රාමුව හා මූලික නීතිත් මේ රෙගුලාසි මගින් එළි දැක්වේ. 
     
    එහි අඩංගු විධිවිධාන පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශයේ පුහුණු අංශය වන මිලෝදා ශාස්ත‍්‍රාලය ඔස්සේ අමාත්‍ය මණ්ඩලය අනුමත කරන 2015 වසරේ දිනක සිට සිදු කිරීමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    දේශීය බැංකු වෙතින් ලබා ගත් අරමුදල් මගින් ප‍්‍රමුඛතා ජල සම්පාදන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම අවිස්සාවේල්ල සහ කොස්ගම ඒකාබද්ධ ජලසම්පාදන යෝජනා ක‍්‍රමය සහ ගලගෙදර සහ මාවතගම ජල සම්පාදන යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම
     
    ඉහත ජල සම්පාදන යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමට අදාළ ණය ගිවිසුම් සම්බන්ධ කටයුතු ඉදිරියට කර ගෙන යෑම සඳහා හා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් 2016 වසර වන විට එහි කටයුතු අවසන් කිරීම සඳහා මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
     
    ජන සෙවණ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකිරීමට යෝජිත හෝමාගම මවුන්ට් ක්ලිෆර්ඩ් වත්ත නිවාස ව්‍යාපෘතිය සහ යක්කල වැරැල්ලවත්ත (ලංකා ලෝහ ඉඩම) නිවාස ව්‍යාපෘතිය
     
    නිවාස ඒකක 924කින් යුත් හෝමාගම මවුන්ට් ක්ලිෆර්ඩ් නිවාස යෝජනා ක‍්‍රමය හා නිවාස ඒකක 591කින් යුත් යක්කල වැරැල්ලවත්ත නිවාස යෝජනා ක‍්‍රමය පිළිවෙළින් රුපියල් මිලියන 2659.2 හා රුපියල් මිලියන 1775.2 වියදම් සහිත ආයෝජන සැලසුම් කිරීමේ හා ගොඩනැගීමේ කොන්ත‍්‍රාත්තුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලබා දීමට ඉදිකිරිම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
    කොරියානු ජනරජයේ අධ්‍යාපන අමාත්‍යංශයේ පරිත්‍යාගයක් වශයෙන් ලැබෙන අංග සම්පූර්ණ නව මාදිලියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විද්‍යාගාරයක් සහිත පන්ති කාමරයක් ස්ථාපනය කිරීම
     
    අතිගරු ජනාධිපතිතුමන් හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ දකුණු කොරියානු සංචාරයෙන් අනතුරුව කොරියාවේ ප‍්‍රදානයක් වශයෙන් අංග සම්පූර්ණ නව මාදිලියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විද්‍යාගාරයක් පිටිපන හෝමාගම මහින්ද රාජපක්ෂ පාසල වෙත ලබා දීමට කොරියානු අධ්‍යාපන අමාත්‍යවරයා එකඟවී ඇත. අදාළ කටයුතු ඉදිරියට කරගෙනයෑම සඳහා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ප‍්‍රධාන කාර්යාල සංකීර්ණය සඳහා ඉඩම් කැබලි දෙකක් ලබා දීම 
     
    ශ‍්‍රී ලංකාවේ ගණකාධිකාරි වෘත්තිය හා මූල්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් සිදු කරන සේවය සැලකිල්ලට ගනිමින් වරලත් ගණකාධිකාරි ආයතනයේ ප‍්‍රධාන කාර්යාල සංකීර්ණය සඳහා කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි බිම් කැබලි දෙකක් දිගුකාලීන බදු පදනමින් නිදහස් ප‍්‍රදානයක් වශයෙන් ලබා දීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    2016 වසර මැද භාගයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ජාත්‍යන්තර සීනි කර්මාන්ත කරුවන්ගේ සංවිධානයේ 49 වන සැසිවාරය ශ‍්‍රී ලංකාවේ කොළඹ දී පැවැත්වීම
             
    රටවල් 81ක සාමාජිකත්වය සහිත ඉහත සංවිධානයේ 49 වැනි සැසිවාරය 2016 මැද භාගයේ දී කොළඹ දී පැවැත්වීමට සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය අනුමැතිය ලැබිණි.
               
     
    රාජ්‍ය සේවකයන් සඳහා බොරැල්ල ප‍්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් සැලසුම් කිරීම හා ඉදිකිරීමේ ටෙන්ඩරය
     
    නිවාස ඒකක 608 ක් රුපියල් 4,499,200,000.00ක වියදමින් සැලසුම් කිරීම හා ඉදිකිරීම සඳහා වු ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අඩුම ලන්සුකරු හට ලබාදීම ට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
    තෝරාගත් මාර්ග සඳහා නායයෑම් වැළැක්වීමේ පියවරක් ක‍්‍රියාත්මක කිරීම සඳහා පරික්ෂණ පැවැත්වීම සැලසුම් සැකසීම සහ ඉදිකිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත‍්‍රාත්තුව ඍජු කොන්ත‍්‍රාත් ප‍්‍රදානය කිරීමේ ක‍්‍රියාපරිපාටිය ඔස්සේ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය වෙත ප‍්‍රදානය කිරීම
     
     දේශගුණික බලපෑම් අවම කිරිමේ ව්‍යාපෘතියේ පිරිවැය දැරීම පිණිස ණය මුදලක් ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ශ‍්‍රී ලංකා රජය වෙත ලැබී ඇති අතර බෑවුම් ස්ථාවර කිරිම සඳහා ඇ.ඩො. මිලියන 29ක මුදලක් වෙන් කර ඇත. ප‍්‍රවාහන අඛණ්ඩතා උප වැඩ සටහන යටතේ තෝරා ගත් පහත මාර්ග ඔස්සේ උපදේශකවරයා විසින් පරික්ෂණ පැවැත්වීම හා බෑවුම් ස්ථාවර කිරිමේ සැලසුම් සැකසීම සිදු කිරීමට අපේක්ෂිතය.
     
     මහනුවර - මහියංගනය මාර්ගය 
     පේරාදෙණිය - බදුල්ල -චෙන්කලාඩි මාර්ගය
     කොළඹ - රත්නපුරය- වැල්ලවාය - මඩකළපුව මාර්ගය
     කෑගල්ල - බුලත්කොහුපිටිය  - කරවනැල්ල මාර්ගය
     
    අදාළ කටයුතු කරගෙන යෑම සඳහා මහාමාර්ග වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අරමුදල විසින් අරමුදල් සපයනු ලබන කොළඹ ජාතික මහා මාර්ග ව්‍යාපෘතිය 
     
     
    මේ යටතේ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් ප‍්‍රවේශ මාර්ගය, දෙමටගොඩ - වැල්ලම්පිටිය මාර්ගය, කොළොන්නාව - යක්බැද්ද මාර්ගය, වැලිකඩ - කොහිලවත්ත මාර්ගය, සෙන්ටර් රෝඩ් මාර්ග වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත‍්‍රාත්තුව.
     
    කොළඹ ජාතික මහා මාර්ග ව්‍යාපෘතියේ කිලෝ මීටර් 66ක ප‍්‍රධාන මාර්ග සංවර්ධනයට හා නාරහේන්පිට නුගේගොඩ පාලමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන OPEC අරමුදල මඟින් ඇමෙරිකන් ඩොලර් මිලියන 50ක් ලැබී ඇත. ඉහත කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප‍්‍රදානය කිරීමට මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යවරයා හැටියට අතිගරු ජනාධිපතිතුමා විසින්  ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දකුණු මාර්ග සබඳතා ව්‍යාපෘතිය - වසර 05ක කාර්යසාධන පාදක නඩත්තුව ද ඇතුළත් ව මොරටුව - පිළියන්දල මාර්ගයේ කිලෝ මීටර් 2.62 සිට කිලෝ මීටර් 5.12 දක්වා කොටස සහ රත්මලාන මිරිහාන මාර්ගයේ කිලෝ මීටර් 5.70 සිට කිලෝ මීටර් 7.84 දක්වා කොටස පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම
     
    ඉහත කොන්ත‍්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අඩුම ලන්සුකරු හට ප‍්‍රදානය කිරීම සඳහා මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
    පෑළියගොඩ සිට කොළඹ - කොටුව දක්වා උස් කොට ඉදිකරනු ලබන මහා මාර්ගයක් සැලසුම් කොට ඉදිකිරීම -  ඕස්ට්‍රේලියාවේ HASS හවුල් ව්‍යාපාරය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා සහ ඔවුන්ගෙන් සවිස්තරාත්මක යෝජනා ලබා ගැනීම
     
    කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමෙන් හා පෑළියගොඩ සිට කොළඹ කොටුව දක්වා උස් කොට ඉදි කරනු ලබන මාර්ගයක් මඟින් පෑළියගොඩ රථවාහන තදබදය අවම කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි. නව පාලම ඉදි කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය මඟින් අරමුදල් සැපයෙන අතර උස් කොට ඉදි කෙරෙන මාර්ගය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර සැපයේ. මීට අදාළ මූලික කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා මහා මාර්ග වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
    පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය මට්ටමින් පිහිටා ඇති රෝහල් සංවර්ධනය කිරීම
     
    පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පිහිටි බකමූණ, අරලගංවිල, වැලිකන්ද, හිඟුරක්ගොඩ හා මැදිරිගිරිය යන මූලික රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීමේ රුපියල් 463,365,050.40ක කොන්ත‍්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    මුල්ලේරියාව මූලික රෝහල් පරිශ‍්‍රයේ ශ‍්‍රී ලංකා ජාතික රෝහල සඳහා වෛද්‍ය නිල නිවාස ඉදි කිරීම
     
    සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව ජාතික රෝහලේ වෛද්‍යවරුන් සඳහා මුල්ලේරියාව මූලික රෝහල් පරිශ‍්‍රයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    බඩල්ගම පිහිටි මිල්කෝ (පුද්ගලික) සමාගමේ කොළඹ කිරි කර්මාන්තශාලාව ප‍්‍රතිස්ථානගත කිරීම
     
    කොළඹ අවට පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් නාරහේන්පිට පිහිටා ඇති මිල්කෝ කර්මාන්ශාලාව හඳුනාගත් බඩල්ගම පිහිටි ස්ථානයක ප‍්‍රතිස්ථානගත කිරීම හා අදාළ කටයුතු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි කරගෙන යාමට පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    දේශීය බැංකු වෙතින් ලබාගනු ලබන අරමුදල් යොදවා ප‍්‍රමුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම 
     
    - ඌරගස්මන්හංදිය, ගෝනාපීනුවල, දික්කුඹුර සහ වැලිගම ජල සම්පාදන ව්‍යාපෘති සඳහා කොන්ත‍්‍රාත් ප‍්‍රදානය කිරීම.
     
    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත කොන්ත‍්‍රාත්තුව ප‍්‍රදානය කිරීමට ජල සම්පාදන හා ජලපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    හලාවත හා පුත්තලම නගර සඳහා අපජල බැහැර කිරීමේ යටිතල පහසුකම් සහ මහරගම, බොරලැස්ගමුව ප‍්‍රදේශ සඳහා අපජල බැහැර කිරීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම.
     
    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත කොන්ත‍්‍රාත්තුව ප‍්‍රදානය කිරීමට අදාළ කටයුතු ඉදිරියට කරගෙන යාමට ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    ආසියානු සංවර්ධන බැංකුවේ මඟ පෙන්වීම යටතේ ක‍්‍රියාත්මක කරනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - 1 වන ව්‍යාපෘතිය - කොළඹ නගරයේ උතුරු ප‍්‍රදේශයේ ආදායම් නොලබන ජලය අවම කිරීම සඳහා පද්ධති පුනරුත්ථාපනය කිරීමේ කොන්ත‍්‍රාත්තුව
     
    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත කොන්ත‍්‍රාත්තුව අවම ලන්සුව වශයෙන් ඇගයීමට ලක්වූ ලන්සුකරු වෙත ප‍්‍රදානය කිරීම සඳහා ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මඟින් මැල්සිරිපුර ජල සම්පාදන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම
     
    ඉහත ව්‍යාපෘතිය මඟින් 2015 මාර්තු වන විට මැල්සිරිපුර ප‍්‍රදේශයේ 40.189ක ජනතාවක් වෙත ආරක්ෂිත පානීය ජලය සැපයීමට අදහස් කෙරේ. ව්‍යාපෘතිය දේශීය බැංකුවල මූල්‍යාධාර මඟින් රුපියල් මිලියන 2460ක වියදමින් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. 
     
    මේ සඳහා තාක්ෂණික හා මූල්‍ය යෝජනා කැඳවීමටත් ඇගයුම් ක‍්‍රියාවලියේදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවට සහාය දැක්වීම සඳහා ව්‍යාපෘති කමිටුවක් පිහිටුවීමටත් ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    ජෝන් ද සිල්වා සමරු රඟහල ඉදිකිරීම
     
    ජොන් ද සිල්වා සමරු රඟහල නවීන අංගෝපාංග සහිත ප‍්‍රාසංගික රංගශාලාවක් වශයෙන් ඉදිකිරීම හා ඊට අදාළ කොන්ත‍්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අවම ලන්සුකරු වෙත ප‍්‍රදානය කිරීම සඳහා සංස්කාතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
     සබරගමු පළාත් ක‍්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම
     
    යෝජිත සබරගමු පළාත් ක‍්‍රීඩා සංකීර්ණය ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත ප‍්‍රදානය කිරීමට ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට සහයවීම සඳහා රජයේ උපදේශක ආයතනයක් පිහිටුවීම
     
    පසුගිය සමයේ රජය විසින් ක‍්‍රියාත්මක කරන ලද මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධවීමෙන් දේශීය වාත්තීයවේදීන් විසින් විශාල හා ගැඹුරු දැනුමක් අත්පත් කොට ගත්හ. රජයේ උපදේශන සමාගමක් සමාගම් පනත යටතේ පිහිටුවීමටත් අදාළ කටයුතු ඉදිරියට කර ගෙන යාමටත් මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    අම්පාර ජල සම්පාදන යෝජනා ක‍්‍රමයේ සසස අදියර සඳහා අරමුදල් ලබා ගැනීම
     
    ඉහත යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම සඳහා  ඕස්ටේ‍්‍රලියානු ආයතනයෙන් ඇමෙරිකන් ඩොලර් 105,109,000ක ණය මුදලක් ලබා ගැනීමට මේ වන විටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. හඳුනාගත් අමතර කාර්යයන් හේතු කොට ගෙන ණය මුදල ඇමෙරිකන් ඩොලර් 75,38,854කින්  වැඩි කිරීමටත් අදාළ කටයුතු කරගෙන යාමටත් මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.  
     
     
    නැගෙනහිර පළාත් ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානයක් ස්ථාපනය සඳහා ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීම
     
    උතුරු පළාතේ පවතින මෙහෙයුම්  මධ්‍යස්ථානයට සමානව නැගෙනහිර පළාතේ ජනතාව සඳහා යහපත් පරිපාලන  හා සමාජ පසුබිමක් නිර්මාණය කිරීම අරමුණු කොට ගෙන නැගෙනහිර පළාත් ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානය පානම, ලාහුගල පිහිටුවීමට යෝජිතවී තිබේ. 
     
    මෙය සංචාරක රාජ්‍ය නායකයන්ට හා ප‍්‍රභූ පුද්ගලයනට නවාතැන් පහසුකම් සැලසීමට මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සාකච්ඡා හා සම්මන්ත‍්‍රණ පැවැත්වීම සඳහා ද යොදා ගැනීමට අපේක්ෂිතය. අදාළ කටයුතු කර ගෙන යාම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    උතුරු අධිවේගී මාර්ගයේ එඩේරමුල්ල සිට ගලේවෙල දක්වා කොටස සහ සම්බන්ධකරණ අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස ඉදි කිරීම
     
    සම්බන්ධකරණ අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස ඉදි කිරීම සඳහා රජය විසින් ඉහළ ප‍්‍රමුඛතාවක් ලබා දෙනු ලැබ ඇත. අධිවේගී මාර්ගයේ ඉහත සඳහන් කොටස මගින් ප‍්‍රධාන වාණිජ නගර එනම් ගම්පහ, වේයන්ගොඩ, මීරිගම කුරුණෑගල, රිදීගම, මැල්සිරිපුර හා ගලේවෙල ද සම්බන්ධීකරණ මාර්ගයේ ඉහත සඳහන් කොටස මඟින් ප‍්‍රධාන වාණිජ නගර වන රඹුක්කන හා ගලගෙදර සම්බන්ධ කෙරේ. උතුරු අධිවේගී මාර්ගයේ එඬේරමුල්ල (පද්ධති අන්තර් හුවමාරුව) ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල, රිදීගම, මැල්සිරිපුර ගලේවෙල හා පොතුහැර (පද්ධති අන්තර් හුවමාරුව)  යන ස්ථානවල අන්තර් හුවමාරු ඉදි කෙරේ. සම්බන්ධීකරණ අධිවේගී මාර්ගයේ රඹුක්කන හා ගලගෙදර අන්තර් හුවමාරු ඉදි කෙරේ. පද්ධති අන්තර් හුවමාරු මගින් අධිවේගී මාර්ග අතර පමණක් සම්බන්ධතාව ලබා දෙයි. යෝග්‍යතා අධ්‍යයන හා මුලික සැලසුම් මේ වන විටත් නිම කෙරී ඇති අතර ඉහත සඳහන් කොටස සඳහා අධිවේගී මාර්ග පථය දැනටමත් හඳුනාගෙන ඇත. පාරිසරික බලපෑම් තක්සේරු කිරීම හා ඉඩම් අත්පත් කරගැනීම සිදු කෙරෙමින් පවතී. ඉහත සඳහන් කොටස පහත දක්වා ඇති පරිදි ඉදිකිරිම් ක‍්‍රියාත්මක කිරීම සඳහා තනි කොන්ත‍්‍රාත් පැකේජ අටකට බෙදා ඇත.
     
    කොන්ත‍්‍රාත් පැකේජ අංකය         මාර්ග කොටසේ නම             දිග කී.මි.
    01      එඩේරමුල්ල - වේයන්ගොඩ                                    28.0
    02      වේයන්ගොඩ - මීරිගම                                          16.0
    03      මීරිගම- නාකලගමුව                                             18.0
    04      නාකලගමුව - අලකොළදෙණිය                                 20.0
    05      අලකොළදෙණිය- මැද්දකැටිය                                  16.9
    06      මැද්දකැටිය - ගලේවෙල                                        19.0
    07      පොතුහැර - රඹුක්කන                                           17.5
    08      රඹුක්කන - ගලගෙදර                                            18.0
                      
    අදාළ කටයුතු කරගෙන යාම සඳහා මහාමාර්ග වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya