මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.07.24 - අමාත්‍ය මණ්ඩල තීරණ

    ජූලි 25, 2014

    මුදල් වර්ෂය සඳහා වන මුදල් කොමිෂන් සභාවේ නිර්දේශය

    මුදල් කොමිෂන් සභාව විසින්, 2014 වර්ෂය සඳහා පළාත්වලට වෙන් කරන ලද ප‍්‍රතිපාදන කොටස් කිරීම, අනෙකුත් පරිපාලන පිළියම් ක‍්‍රියාමක කිරීම සඳහා ඉදිරිපත් කරන ලද නිර්දේශ හා ඒ නිර්දේශ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
    ලැබිණ.

    සංචාරක සංවර්ධන පනතේ කාර්යය සඳහා ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි ලියාපදිංචි කරනු ලැබ ඇති හෝටල් ආපනශාලා සහ නවාතැන් පොළවල්වලින් අය කරනු ලබන බලපත‍්‍ර ගාස්තු ප‍්‍රතිශතය සංශෝධනය කිරීම

     

    ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති හෝටල්, ආපනශාලා හා නවාතැන් පොළවල්වලින් දැනට පවත්නා 1%ක බලපත‍්‍ර ගාස්තු වෙනුවට 0.5%ක බලපත‍්‍ර ගාස්තුවක් අය කිරීම සඳහා මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත හා ප‍්‍රාදේශීය සභා පනත යන පනත්වල අදාළ විධි විධාන සංශෝධනය කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාහට උපදෙස් ලබාදීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ. එල්.ඒ.එම්. අතාවුල්ලා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    ”ආසියාවේ තෝරා ගත් රටවල් හී ජල කළමනාකරණය හා කාලගුණික විපර්යාසවලට අනුවර්තනයවීම පිළිබඳව ආයතනයන්හී ධාරිතා වර්ධනය” වෙනුවෙන් ආධාර මුදල් ලබා ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සංවර්ධන සහයෝගීතාව සඳහා වූ නෝර්වීජියානු නියෝජිත ආයතනය අතර ගිවිසුම


    සංවර්ධන සහයෝගීතාව සඳහා වූ නෝර්වීජියානු නියෝජිතායතනය මඟින් 2013 වසරේදී උසස් අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත‍්‍රවලට උතුරු - දකුණු සහයෝගීතාව ඵලදායී අයුරින් ඔප්නැංවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

    එහි අරමුණ වූයේ අඩු හා මධ්‍ය ආදායම් සහිත රටවල උසස් අධ්‍යාපන ආයතනවල ධාරිතාව ශක්තිමක් කිරීමයි. 2013 වසරේදී ජල හා පරිසර ඉංජිනේරු ශිල්පය පිළිබඳ පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා ආධාර ලබාදීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තෝරා ගැනුණු අතර, එම විශ්වවිද්‍යාලය හා සංවර්ධන සහයෝගීතාව සඳහා වූ නෝර්වීජියානු නියෝජිතායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිණි. ප‍්‍රදානවලින් 37%ක් (නෝර්වීජියානු ක්‍රෝන් 6,730,482) පේරාදෙණිය හා යාපනය විශ්වවිද්‍යාල විසින් දේශීය හා විදේශීය ශිෂ්‍යත්ව හා අධිශිෂ්‍යත්ව 65ක් සඳහා යොදා ගැනේ. අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට හා ඉදිරි කටයුතු කරගෙන යාමට 

    උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සීෂෙල්ස් නිල සංචාරය

    සීෂෙල්ස් ජනාධිපතිවරයා විසින් කරන ලද ඇරැයුමකට අනුව අතිගරු ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සීෂෙල්ස්හි සංචාරයක නිරත විය. දෙරටට පොදු වූ ද්විපාර්ශ්වික, කලාපීය හා ජාත්‍යන්තර ගැටලූ පිළිබඳව රාජ්‍ය නායකයන් දෙපළ අතර විස්තරාත්මක සාකච්ඡාවලින් අනතුරුව නියෝජිත මට්ටමේ සාකච්ඡා පැවැත්විණ. ඉන්දියන් සාගර දූපත් අතර සංචාරක කටයුතු ප‍්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවා ගන්නා ලද වැනිලා දූපත් සංවිධානයේ සාමාජිකත්වය පතන ශ‍්‍රී ලංකාවට ඒ සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන සීෂෙල්ස්රාජ්‍යයේ පූර්ණ සහය ලබා දෙන බව සීෂෙල්ස් ජනාධිපතිවරයා සහතික විය. අනතුරුව ජනාධිපතිවරුන් දෙදෙන ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ලංකා බැංකුවේ හා ශ‍්‍රී ලංකා රක්ෂණ සමාගමේ ශාඛා විවෘත කළහ. මෙම තොරතුරු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර, එම අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ සංචාරය අතර, එළැඹුණු පහත ගිවිසුම්වලට අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබා දෙන ලදී. 
     

    Ø ශ‍්‍රී ලංකා - සීෂෙල්ස් අතර සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිෂන් සභාව ස්ථාපනය කිරීම

     

    Ø ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනය පිළිබඳ ගිවිසුම

    කලාපීය ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කිරීම හා අනුකූලතා තක්සේරු පිළිගැනීම පිළිබඳ බහුපාර්ශවික සැකසුම් පිළිබඳ සාර්ක් ගිවිසුම් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගේ  යෝජනාවට අනුව ඉහත ගිවිසුම දෙක අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

     1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම

    කසල තේ (නිස්සාරණය කළ හැකි තේ) සම්බන්ධයෙන් නියෝග සැකසීම සඳහා අමාත්‍යවරයා සතු බලතල සහ තේ ප‍්‍රවාහනය කිරීම, පනත යටතේ දක්වා ඇති වරදකට වරදකරුවීම, වරදට දඬුවම් කිරීම, වරද සමථයකට පත් කිරීම යන කරුණු යටතේ කසල තේ සම්බන්ධයෙන් වන ප‍්‍රතිපාදන ඇතුළත් කිරීම හා පනත යටතේ වරදකරුවකු වන අයකු ගෙන් අය කළ උපරිම දඩ මුදල රුපියල් 50,000 සිට රුපියල් 5,00,000 දක්වා ද වරදක් සමථයකට පත් කිරීමේදී අය කළ හැකි උපරිම මුදල රුපියල් 10,000 සිට රුපියල් 500,000 දක්වා ද වැඩි කිරීම මඟින් ඉහත සඳහන් පනත සංශෝධනය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබ්ණ. 
     
    කෑගල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය කෑගල්ල නගරයේ, කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති දෙකක් වශයෙන් පහත සඳහන් ව්‍යාපෘති දෙක නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගෙන ඇත.
     

    Ø අලුතින් ඉදිකරන ලද කෑගල්ල නිදහස් මාවතට යාව ඇති හිස් ඉඩමක සුපිරි සාප්පු සංකීර්ණයක් ඉදිකිරීම හා අදාළ ව්‍යාපෘතිය සඳහා අරමුදල්


    Ø වෙළඳසැල් පූර්ව අලෙවිය මඟින් ලබා ගැනීම. ඉදි කිරීම් කටයුතු ඉංජිනේරුමය කටයුතු පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීමට යෝජිතය.
     
    Ø දැනට කෑගල්ල නගර මධ්‍යයේ පවතින බස් ඩිපෝව නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනා ගන්නා ලද පරගම්මන පිහිටි ස්ථානයක් වෙත මාරු කිරීම.
     
    ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරය විසින් දැනටමත් රුපියල් මිලියන 428ක් වෙන් කර ඇත. ජලාපවහනය වැඩිදියුණු කිරීම හා භූමිය පස් පුරවා සකස් කිරීමේ කොන්ත‍්‍රාත්තුව ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත පැවරීමට යෝජිතය. ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.
     

    කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම

     

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත ටෙන්ඩරය ප‍්‍රදානය කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ. 
     

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පිහිටි යාන්ත‍්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයට නව නේවාසිකාගාරයක් ඉදිකිරීම


    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පිහිටි යාන්ත‍්‍රික අභ්‍යාස මධ්‍යස්ථානය සඳහා නව නේවාසිකාගාරයක් ඉදිකිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගත් අමාත්‍ය මණ්ඩලය එය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් දැනටමත් සකස් කොට ඇති නිපුණතා සංවර්ධන සැලැස්ම (2014-2020) යටතේ ක‍්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. 2015 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 67 වන නිදහස් දිනය 2015 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 67 වන නිදහස් සමරු උළෙලේ සංවිධාන කටයුතු සඳහා ගරු අග‍්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ සභාපතිත්වය යටතේ අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගෙන් යුත් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ. 
     
    මහාචාර්ය ආරියරත්න ඇතුගල
    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya