අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.06.19 - අමාත්‍ය මණ්ඩල තීරණ

    ජූනි 19, 2014
    තුර්කියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක්
     
    මෙම ගිවිසුම මගින් ලංකාවේ මෙන්ම තුර්කියේ විදුලි සංදේශ සංවර්ධනයට දායක වීම සඳහා තාක්ෂණික හා ආයතනික ස‍හයෝගිතාව පිළිබඳ යාන්ත්‍රණයක් සපයයි. 
     
    එහිදී සහයෝගිතාව අපේක්ෂා කරන ‍ක්ෂේත්‍ර අතර තාක්ෂණික සංවර්ධනය, විදුලි සංදේශ සේවා ලබා ගැනීමේ සාර්ව අයිතිය, අහිසාරිතාව හා අන්තර්ජාලයේ අනාගත අදියර, වර්ණාවලී වාද විෂය ආදිය අන්‍යෝන්‍ය වශයෙන් එකඟත්වයකින් යුතුව ලබා ගත හැකි වේ. අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම අවබෝධතා ගිවිසුමට එකඟ වීම සඳහා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.
     
     
    නාවික යාත්‍රා සංචිතයක් ඇති කිරීමට ලංකා නැව් සංස්ථාවට යාත්‍රා ලබා ගැනීම
     
    ගල්අඟුරු හා බොරතෙල් වැනි ආනයනික භාණ්ඩ සම්පූර්ණයෙන්ම ලංකා නැව් සංස්ථාව මගින් ප්‍රවාහනය සඳහා ලංකා නැව් සංස්ථා‍වට නව යාත්‍රා මිලදී ගැනීමට අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     
     
    2014 මැයි 2 සිට 5 දක්වා කසකස්ථානයේ අස්ථානා හි පැවති ආසියානු සංවර්ධන බැංකුවේ 47 වන වාර්ෂික සමුළුව
     
    ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා හා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එයට සහභාගි වූහ. 
     
    මෙම දූත පිරිස ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති හා දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සමග පැවති රැස්වීමේදී ලංකාව හොඳම ආයෝජන කාර්යය සාධනය වාර්තා කළ බව පෙන්වා දී ඇත. 
     
    මේ අතර මෙම දූත පිරිස චීන සංවර්ධන බැංකුවේ ප්‍රධානීන් සමග කළ සාකච්ඡාවේදී ලංකාවේ බැංකු සමග සම ආයෝජනයන් කිරීම සඳහා චීන සංවර්ධන බැංකුව කැමැත්තෙන් සිටින බව අනාවරණය විය. ඒ අනුව මේ සම්බන්ධව අදාළ මුල්‍ය ආයතන සමග තව දුරටත් සාකච්ඡා පැවැත්වීමට තීරණය කෙරිණි. මේ බව ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
     
     
    අප්‍රේල් 7 සිට 13 දක්වා වොෂිංටන් නුවර පැවති 2016ට අදාළ ලෝක බැංකුවේ / ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පැවති අර්ධ වාර්ෂික රැස්වීම
     
    මෙම රැස්වීමට ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා මහබැංකු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. 
     
    ලංකාව මෑතකදී ඇති කරගත් දියුණුව, විරැකියාව පහත හෙළීම, උද්ධමන පාලනය සහ මුල්‍ය වෙළඳපොළ ප්‍රවර්ධනතා ආදිය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශංසාව පළ කරන ලදී. ඒ අතරම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට තව දුරටත් ආධාර කිරීමට කැමති බවද ප්‍රකාශ කර ඇත. මෙම වාර්තාව ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
     
     
    ඇෆ්ගනිස්ථාන හෙද හෙදි නිලධාරි පිරිස් සෞඛ්‍ය සත්කාරක කාර්යමණ්ඩල ලංකාව තුළ පුහුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම
     
    මෙම සෞඛ්‍ය ක්ෂේත්‍ර පිරිස්වලට ලංකා‍ව තුළදී පුහුණුව ලබා දීම සඳහා රටවල් දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.
     
     
    ක්‍රමෝපායික අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය හා බල්ගේරියා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික ආයතනය අතර අවබෝධතා ගිවිසුම
     
    මෙම ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් ගෙනා යෝජනාවට  කැබිනට් අනුමැතිය ලබා දුනි.
     
     
    අතිගරු ජනාධිපතිතුමා බහරේන් රාජධානියේ නිරත වූ රාජ්‍ය සංචාරය
     
    බහරේන් රාජ්‍යයේ රජතුමාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන‍්ගෙන් හා ව්‍යාපාරික නායකයින්ගෙන් සැදුම් ලත් ඉහළපෙළේ නියෝජිත කණ්ඩාමක් සමග බහරේන් රාජධානියේ රාජ්‍ය සංචාරයක නියැළිණි. ලංකා රාජ්‍ය නායකයකු බහරේන් හි සිදු කළ ප්‍රථම රාජ්‍ය සංචාරය මෙය වේ. මෙහිදී දෙරටේ නායකයෝ දීර්ඝ කාලීන පාර්ශවකාරීත්වය තහවරු කිරීමටත් දෙරටට අදාළ කලාපීය හා බහු කලාපීය විෂයන් පිළිබඳ සාකච්ඡා කළහ.  මෙම විස්තර වැඩ බලන විදේශ කටයුතු අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
     
     
    උගන්ඩාවේ කම්පාලා නුවර පෙබරවාරි 10 වන දා සිට 13 දක්වා පැවති ජනගහන ගැටලු සමෝධානය කිරීම සඳහා ආසියානු හා අප්‍රිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු‍න්ගේ ධාරිතා සංවර්ධන සමුළුව
     
    මෙම සමුළුවට ලංකාව වෙනුවෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියැද්ද මහතා සහභාගි විය. මෙහි අරමුණ වූයේ කාම්බෝජියානු සම්මේලයේ සාකච්ඡාවට බඳුන් වූ විෂය කරුණු වැඩි දුරටත් සාකච්ඡා කිරීම හා අනෙකුත් නව අදහස් ඉදිරිපත් කිරීමයි. 
     
    ලංකාවේ ව්‍යවස්ථාව තුළින් ලබා දී ඇති ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, කාන්තා සෞඛ්‍ය ප්‍රවර්ධනය, සියලු දෙනාට ගෞරවයෙන් ජීවත් වීමට ඇති අයිතිය, පරිසර ආරක්ෂණය වැනි කරුණු ගැන අමාත්‍යවරයා විසින් සමුළුවට පහදා දෙන ලදී. සහභාගි වූ සෙසු නියෝජිතයින් ලංකාව විසින් පුද්ගල ජීවන තත්ත්වය නගාසිටුවීම, අධ්‍යාපන හා සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසාවට ලක් කළහ. 
     
    මෙම වාර්තාව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියැද්ද මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
     
     
    කොළඹ ජාතික අක්ෂි රෝහලේ බාහිර රෝගී අංශය හා සායන වැඩිදියුණු කිරීම 
     
    අදියර 1, පියවර 2 ගොඩනැගිල්ලේ උපරිම ව්‍යුහය ඉදි කිරීම - මේ සඳහා අවම ටෙන්ඩරය වන රු.144, 283, 027.62 සහ වැට් බදු සමග මුදලකට කැබිනට් ස්ථාවර ප්‍රසම්පාදන කමිටු නිර්දේශ මත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණ.
     
     
    දෙහිවල, ගල්කිස්ස, කොළොන්නාව ප්‍රදේශවල පිහිටි අපජල පොම්පාගාර 06ක් ප්‍රතිසංස්කරණය කිරීම හා ධාරිතාව වැඩි කිරීමේ ව්‍යාපෘතිය
     
    කැබිනට් ස්ථාවර ප්‍රසම්පාදන කමිටු නිර්දේශ මත ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර උපයෝගී කර මෙම ටෙන්ඩරය ඇ.ඩො. 7,795, 674.05 මුදලකට පිරිනැමීමට ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි.
     
     
    කාත්තන්කුඩි අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
     
    කැබිනට් ස්ථාවර ප්‍රසම්පාදන කමිටු නිර්දේශ මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ටෙන්ඩරය ඇ.ඩො. 69,422,744 හා රුපියල් 1,225,957,379 යන මුදලකට ලබා දීමට ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි.
     

    විශ්වවිද්‍යාලවල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වන කොන්ත‍්‍රාත් ප‍්‍රදානය කිරීම
    විශ්වවිද්‍යාලවල පහත සඳහන් ඉදි කිරීම් කටයුතු සම්බන්ධ කොන්ත‍්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පැවැරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

    රුපියල් 331,945,891.63ක වියදමින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා වන පස් මහල් ගොඩනැගිලි සංකීර්ණය.රුපියල් 253,767,500.00ක වියදමින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සඳහා වන පස් මහල් ගොඩනැගිලි සංකීර්ණය.

    රුපියල් 271,003,625.00ක වියදමින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ පුස්තකාලය සඳහා වන සිවු මහල් ගොඩනැගිලි සංකීර්ණය.රුපියල් 797,282,344.98ක වියදමින් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය සංවර්ධනය හා  රුපියල් 127,760,923.99ක වියදමින් මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය - 11වන අදියර සඳහා ගොඩනැගිලි සංකීර්ණය.
     

    මඩකළපුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම
    මඩකළපුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සඳහා රුපියල් මිලියන 804ක වියදමින් මඩකළපුව නගර සංවර්ධන සැලැස්මට අනුකූල ව තිරයිමඩු ප‍්‍රදේශයේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.


    ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ගිවිසුම් වගන්ති සංශෝධනය කිරීම හා 2010 වර්ෂයේ දී වරණීය ප‍්‍රාග්ධනය වැඩි කිරීම වෙනුවෙන් දායක මුදල් ගෙවීමසංවර්ධනය වෙමින් පවත්නා රටවල පෞද්ගලික අංශයේ හා ඒ ආශ‍්‍රිත රැකියා උත්පාදනය සඳහා ආයෝජන හා උපදේශන සේවා සපයන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ලෝක බැංකුවේ සංවර්ධන මූල්‍ය ආයතනය වේ. ඉහත ගිවිසුම් වගන්ති සංශෝධනය කිරීම හා දායක මුදල් ගෙවීමට අදාළ කටයුතු ඉදිරීමට කරගෙන යාම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

    ශ‍්‍රී ලංකාවේ දිගු කාලීන සහන හා ප‍්‍රතිස්ථාපන මෙහෙයුම් වැඩසටහන
     
    දිගු කාලීන සහන හා ප‍්‍රතිස්ථාපන මෙහෙයුම් වැඩසටහනේ අරමුණ වන්නේ මාස 06ත් 59ත් අතර දරුවන් සහ ගර්භනී හා කිරි දෙන මවුවරුන් ගේ ආහාර ආරක්ෂණය වර්ධනය කරන අතර, ඔවුන් අතර පවත්නා මන්ද පෝෂණය පිළිබඳ ව කටයුතු කිරීමේ ජාතික ශක්‍යතාව ශක්තිමත් කිරීම යි.

    මේ සඳහා දිගු කාලීන සහන හා ප‍්‍රතිස්ථාපන මෙහෙයුම් වැඩසටහන යටතේ ආහාර ආධාර ලබාදීමට ලෝක ආහාර වැඩසටහන එකඟ වී ඇත. දිගු කාලීන සහන හා ප‍්‍රතිස්ථාපන මෙහෙයුම් වැඩසටහන සඳහා වන මුළු වියදම ඍජු ආධාර ප‍්‍රදාන වශයෙන් ඇ.ඩො. 23,482,866 හා ආහාර දායකත්වය සඳහා ඇ.ඩො. 19,547,890 වශයෙන් ඇ.ඩො. 34,799,036ක් වේ.

    මේ වැඩසටහන උතුරු පළාතේ මන්නාරම, වවුනියා, මුලතිවු, කිලිනොච්චි හා යාපනය යන දිස්ත‍්‍රික්කවල ක‍්‍රියාත්මක කෙරෙන අතර එහි මුළු ප‍්‍රතිලාභීන් සංඛ්‍යාව 435,000ක් වේ. ඉහත වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන සමඟ අවබෝධතා ලිපිය අත්සන් කිරීමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya