ජාතික ළමා රක්ෂක අධිකාරිය මෙරට සියලු දරුවන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති සුවිශේෂී ආයතනය වන බවත් දරුවන්ට සිදුවන අපයෝජන ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වීම මෙම අධිකාරියේ ප්‍රධාන පරමාර්ථය වන බවත් එම අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පවසයි.
ඇය මේ බව පැවසුවේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
ජාතික ළමා රක්ෂක අධිකාරි පනතේ 40වැනි වගන්තියේ ළමා අපචාරය යන්න ආකාර හතරකට නිර්වචනය කර ඇති අතර දණ්ඩ නීති සංග්‍රහයේ ද වගන්ති 13 ක ළමා අපචාරය යන්න සඳහන් කර ඇති බවත් ස්ත්‍රීන් , තරුණ පිරිස් සහ ළමයින් සේවයේ නියුක්ත කිරීමේ පනතේ කවර හෝ ප්‍රතිපාදනයක් උල්ලංඝණය කිරීම ද ළමා අපචාරයක් වන බවත් ඇය එහිදී පෙන්වා දුන්නාය.එසේම වයස අවුරුදු 16ට නොඅඩු කිසිදු ළමයෙක් කිසිදු රැකියාවක නියුක්ත කර ගත නොහැකි බව පෙන්වා දෙන ඒ මහත්මිය යෞවනයන් හා ළමයින් පිළිබඳ ආඥා පනතේ කවර හෝ විධීවිධානයක් කඩ කරන පුද්ගලයෙකු ද ළමා අපචාරය යන වරද සිදු කරන බවත් සඳහන් කළාය.
එසේම අධ්‍යාපන ආඥා පනත අනුව සාදන ලද අනිවාර්ය අධ්‍යාපනයට අදාළ නියෝගවල කවර හෝ විධිවිධානයක් කඩ කරන අයෙකුද ළම අපචාරය යන වරද සිදු කරන බව පැවසූ ඒ මහත්මිය මෙම ආඥා පනතේ ද වයස අවුරුදු 16 දක්වා ළමයෙක් අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතු බවද පැවසුවාය.
ළමා රක්ෂක අධිකාරියේ කර්තව්‍යන් පනතේ 14 වැනි වගන්තියේ සඳහන් කර ඇති බව පෙන්වා දෙන ඒ මහත්මිය ළමා අපචාර වැළැක්වීම, අපචාරවලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම , අපචාරයට ගොදුරු වූ දරුවන් පුනරුත්ථාපනය කිරීම සහ එවැනි දරුවන්ගේ සියලුම විමර්ශන කටයුතු සිදු කිරීම මෙන්ම නඩු කටයුතු නිසි පරිදි සිදු කරන්නේද යන්න නියාමනය කිරීම අධිකාරිය මගින් සිදු කෙරෙන බවද අවධාරණය කළාය.
වර්තමානය වනවිට ළමයින්ට සිදු කරන කායික දණ්ඩනය පිළිබඳව සමාජයේ විශාල මතිමතාන්තර ඇති බව පවසන ඇය අවුරුදු 18ට අඩු සියලුම දරුවන්ට නිවෙස්වල , පාසලේ ඔවුන්ගේ භාරකාරත්වය තාවකාලිකව දරා සිටින යම් පුද්ගලයකුට කායික හෝ මානසික හිංසනයට පත් කිරීම සම්බන්ධව දණ්ඩනීති සංග්‍රහයේ සංශෝධන සිදු කිරීම සඳහා ළමා රක්ෂක අධිකාරිය කටයුතු කරමින් පවතින බවද ඇය සඳහන් කළාය.
එසේම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බවත් එම ප්‍රඥප්තියේ සදහන් වන්නේද දරුවකුගේ අනන්‍යතාවය අනුව වෙනම පුදගලයකු ලෙස ජීවත්වීමේ අයිතිවාසිකමක් ඇති බවද පෙන්වා දෙන ඒ මහත්මිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ 11 වැනි වගන්තිය අනුව කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෘෘර අමානුෂික හෝ අවමන් සහගත සැළකිල්ලකට හෝ දඬුවම් කිරීමට යටත් නොකළ යුතු බව දැක්වෙන බවද පෙන්වා දුන්නාය.