ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනයේදී හම්බන්තොට නව ජල සම්පත් කාර්යාලය විවෘත කෙරේ

ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනයේදී හම්බන්තොට නව ජල සම්පත් කාර්යාලය විවෘත කෙරේ
  • SocialShare:

“2026 ජගත් පරිසර දිනයට” සමගාමීව ක්‍රියාත්මක ජාතික පාරිසරික සතියේ ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය නිමිත්තෙන් ජල සම්පත් මණ්ඩලයේ නව හම්බන්තොට ප්‍රාදේශීය කාර්යාලය, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙම නව කාර්යාලය “තිරසර දියවර” ජාතික වැඩසටහනේ ප්‍රධාන ප්‍රතිපත්තිමය අරමුණු දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ භූගත ජල ප්‍රභව, ස්වාභාවික උල්පත් හා දිය බුබුළු සංරක්ෂණය, ඒවාට බලපාන අවදානම් හඳුනාගැනීම සහ තාක්ෂණික නිර්දේශ ලබාදීම මෙම කාර්යාලයේ ප්‍රධාන වගකීම් අතර වේ.

එමෙන්ම භූගත ජලයේ ප්‍රමාණය හා ගුණාත්මකභාවය පිළිබඳ අඛණ්ඩ අධ්‍යයනයන් සිදු කරමින් සවිස්තරාත්මක භූ-ජල සිතියම් සකස් කිරීම සහ ජාතික දත්ත පද්ධතියට ඒවා එක් කිරීමද මෙහිදී සිදු කෙරේ.

මෙම කාර්යාලය මඟින් ජනතාවට තමන් භාවිත කරන ළිං ජලයේ සහ පොදු ජල මූලාශ්‍රවල ගුණාත්මකභාවය විශ්වාසදායක ලෙස පරීක්ෂා කරගැනීම සඳහා ස්ථාවර රසායනාගාර පහසුකම් දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමට නියමිතය. දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශ සඳහා ජංගම රසායනාගාර සේවාවන් ක්‍රියාත්මක කිරීමේ මධ්‍යස්ථානය ලෙසද මෙම කාර්යාලය කටයුතු කරනු ඇත.

තවද පාසල් දරුවන්, ගොවි සංවිධාන සහ ප්‍රජා මූල ජල යෝජනා ක්‍රමවල සාමාජිකයින් ඉලක්ක කරගනිමින් ජල සංරක්ෂණය, ජල දූෂණය වැළැක්වීම සහ ආරක්ෂිත පානීය ජල භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල ගැටලු සඳහා කඩිනම් සහ සෘජු තාක්ෂණික විසඳුම් ලබාදීමටත්, මහා පරිමාණ සංවර්ධන, කෘෂිකාර්මික හා පානීය ජල ව්‍යාපෘති සඳහා අවශ්‍ය විද්‍යාත්මක භූ-ජල දත්ත සැපයීමටත් මෙම නව කාර්යාලය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බව ජල සම්පත් මණ්ඩලය සඳහන් කරයි.