පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ දින සැමරුම සහ ආදි විද්‍යාර්ථි විශිෂ්ටතා සම්මාන උළෙල ඊයේ (01) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම සහ විශ්වවිද්‍යාලයීය භූමියයේ පැළ රෝපණය කිරීම සිදු කළ අතර, මෙවර නිර්මාතෘ දින දේශනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා සිදු කර තිබේ.
විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල සුවිශේෂී දායකත්වයක් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථින් රැසකට එහිදී උපහාර පිරිනමා ඇති අතර ඒ අනුව,අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ද විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබා ඇත.
තවද විශේෂ අංගයක් ලෙස, පසුගිය වසරේ ඇති වූ 'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයට සිදු වූ දැඩි හානි මධ්‍යයේ, ඉතා කෙටි කාලයක් තුළ විශ්වවිද්‍යාලය යථා තත්ත්වයට පත් කිරීමට දායක වූ පිරිස් ඇගයීම ද සිදු කෙරිණි. අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව නැවත ආරම්භ කිරීමට කැපවූ ආදි විද්‍යාර්ථින්, වත්මන් සිසුන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ඇතුලු සියලුම පාර්ශවයන් වෙත මෙහිදී විශේෂ ස්තූතිය පිරිනමා තිබේ.


