2026 වසරේ ජාතික සුපිළිපන් සතිය ජූලි 26 සිට 31 දක්වා ප්‍රකාශයට පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කරයි.
අමාත්‍යංශ ලේකම්වරයා මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුම 2026 සහ ජාතික සුපිළිපන් සතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
2025 වසරේ දූෂණ විරෝධී දිනය සම්බන්ධ කරගනිමින් ජාතික සුපිළිපන් සතිය පැවැත්වීමට සැලසුම් කර තිබුණද දිට්වා ව්‍යසනය හමුවේ එය සිදුකළ නොහැකි වූ බවද මෙම වසරේ මාර්තු මාසයේ මෙය පැවැත්වීමට නියම කරගෙන තිබුණද ඉන්ධන සම්බන්ධයෙන් පැනනැගුණ බාධක හමුවේ එවිටද මෙය පැවැත්වීමට නොහැකි වූ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අවධාරණය කළේය.
ඉන් පසුව නැවත වරක් ජූලි මාසයේදී මෙම සතිය ප්‍රකාශයට පත් කළ බවද ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ අනෙකුත් අමාත්‍යංශ සමග එකතු වී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් පැවසුවේය.
ජාතික සුපිළිපන්සතියේ අදහස වන්නේ රට තුළ රාජ්‍ය සේවයේ සුපිළිපන් සංස්කෘතියක් නිර්මාණය කරන්නේ කෙසේද යන කාරණය සහ එය තිරසාර ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමක් පවතින බවද පැවසුවේය.
රාජ්‍ය සේවයේ දූෂණ, අක්‍රමිකතා, වැරදි වීම වළක්වාගනිමින් රාජ්‍ය සේවය නිවැරදිව පවත්වා ගැනීමට නීති රීති ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ආදී වශයෙන් විවිධ දෙපාර්තමේන්තු අනපනත් රාශියක් රාජ්‍ය සේවයේ ක්‍රියාදාමය සම්බන්ධිතව රාජ්‍ය සේවකයන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් නියම කර ඇතැයිද සඳහන් කළේය.
එම පැවැත්ම තුළ රාජ්‍ය සේවය පවතින බවද ඒ තුළ යම් යම් දූෂණ අක්‍රමිකතා සහ චෝදනා ඉදිරිපත් වන බවද ඒවාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවන බවද සඳහන් කළේය. දූෂණයන්ට සහ වංචාවන්ට එරෙහිව යන සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමේ තත්ත්වයට වඩා රාජ්‍ය නිලධාරියෙක් කටයුතු කරන සංස්කෘතිය සහ මහජනතාව සහ අනෙකුත් ආයතන සම්බන්ධ වූ පද්ධතිය තුළ සුපිළිපන්භාවය තවදුරටත් සංස්කෘතියක් කටයුතු තහවුරු කෙසේද යන කාරණය වැදගත් බවද පැවසුවේය.
එය කිසියම් දෙයක් සිදුකර අවසන් කළ හැකි කාරණයක් නොව මෙය දිගටම පවත්වාගෙන යා යුතු දියුණු කළ යුතු තත්ත්වයක් බවද අවධාරණය කළේය. ඒ සම්බන්ධයෙන් විවිධ ක්‍රියාකාරකම් ඇතැයිද දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු ආදියෙහි අභ්‍යන්තර කටයුතු ඒකක පවතින බවද එමගින් අදාළ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇතැයිද ආයතන සංග්‍රහයේ රාජ්‍ය නිලධාරීන්ට එක එල්ලේම බලපාන කාරණා සංශෝධනය කරගෙන යමින් පවතින බවද සඳහන් කළේය.
මෙම සුපිළිපන්භාවය පිළිබඳ සංකල්පය ක්‍රියාත්මක තැනකට ගෙනආ යුතු බවද එයට හිතකර පරිසරයක් රටේ රාජ්‍ය ආයතන තුළ ඇතිකළ යුතු බවද පැවසූ අමාත්‍යංශ ලේකම්වරයා පොදු දේපළ ආරක්ෂා කිරීම සහ නාස්තිය දූෂණය වැළැක්වීමේ වගකීම රාජ්‍ය සේවයාගේ පමණක් නොව රටෙහි සෑම පුරවැසියෙකුගේම වගකීමක් බවද අවධාරණය කළේය. හයට අවශ්‍ය පදනම සහ ඒ සම්බන්ධයෙන් විශාල කතිකාවක් සමාජය තුළ ඇති වෙමින් පවතින බවද එය පුරවැසි අභිලාෂයක් බවට පත්වෙමින් පවතින බවද පැවසූ එස් ආලෝක බණ්ඩාර මහතා රාජ්‍ය සේවකයන්ගේ සුපිළිපන්භාවයෙන් යුතු පරිපාලන ව්‍යූහයක් තවදුරටත් දියුණු කිරීම සම්බන්ධ කැපවීම පෙන්නුම් කෙරෙන පා ගමන් 25ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම කේන්ද්‍රගත කරගනිමින් සුපිළිපන් සතිය තුළ ක්‍රියාත්මක කරන බවද අවධාරණය කළේය. කොළඹ දිස්ත්‍රික්කයේ 28 වෙනිදා නිදහස් චතුරස්‍රෙයන් ඇරඹෙන පා ගමනක් සංවිධානය කර ඇතැයිද පැවසුවේය.


