එල්-නිනෝ අභියෝගයට මුහුණ දීමට සියලු මාධ්‍ය වගකීමෙන් කටයුතු කළ යුතුයි – පරිසර අමාත්‍ය

එල්-නිනෝ අභියෝගයට මුහුණ දීමට සියලු මාධ්‍ය වගකීමෙන් කටයුතු කළ යුතුයි – පරිසර අමාත්‍ය
  • SocialShare:

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ දේශගුණික තත්ත්වයට මුහුණ දීමේදී නිවැරදි තොරතුරු ජනතාව වෙත වගකීමෙන් ගෙනයාම සඳහා මාධ්‍ය සතු කාර්යභාරය අතිශය වැදගත් බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති "එල්-නිනෝ තත්ත්වය හා ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම්" පිළිබඳ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එල්-නිනෝ තත්ත්වයේ උච්ච අවස්ථාව අපේක්ෂා කළ කාලයට පෙර ළඟා විය හැකි බවත්, එළඹෙන අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දැඩි වියළි කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි අතර, නොවැම්බර් මාසයේදී එය උච්චතම අවස්ථාවට ළඟා විය හැකි බවට විද්‍යාත්මක පුරෝකථන පවතින බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම එල්-නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමක් නොමැති තොරතුරු සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොකර වගකීමෙන් කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
විශේෂයෙන්ම මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොව ගෝලීය දේශගුණික සංසිද්ධියක් බවත්, සත්‍ය හා විද්‍යාත්මක කරුණු මත පදනම් වූ වාර්තාකරණය තුළින් මෙම අභියෝගය ජය ගැනීමට මාධ්‍යයේ සහාය ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පසුගියදා රැස් වූ බවත්, එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා ගත යුතු කෙටි, මධ්‍ය හා දිගු කාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, වැවිලි ක්ෂේත්‍රය, ජල කළමනාකරණය සහ බලශක්ති ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජනතාව, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ ස්වේච්ඡා සංවිධාන එක්ව මෙම අභියෝගයට මුහුණ දිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වියළි කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටීම සහ ජන ජීවනෝපාය මෙන්ම පාරිසරික බලපෑම් අවම කර ගැනීම සඳහා කල්තියා සූදානම් වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.