2026 මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

2026 මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි
  • SocialShare:

2026 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.

2026 ජනවාරි සිට ජුනි දක්වා ශ්‍රි ලංකාවේ අපනයන කාර්ය සාධනය සම්බන්ධයෙන් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.

ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ සමස්ත අපනයන ආදායම මුල් වතාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 9,012.24 ක් ලෙස වාර්තා වන බවත් එය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 8%ක වර්ධනයක් ලෙස වාර්තා වන බවත් සභාපතිවරයා පැවසුවේය.

එම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 7,073.31 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය පසුගිය වසරේ මුල් මාස හයට සාපේක්ෂව 8.95%ක වර්ධනයක් බවද පෙන්වා දුන්නේය.
සේවා අපනයන ආදායම ද සියයට 4.49ක වර්ධනයක් වාර්තා කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,938.94 ක් ලෙස වාර්තා වන බවද පැවසුවේය.

මේ අතර, 2026 ජූනි මාසයේ පමණක් සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,658.62 ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව 12.53%ක වර්ධනයක් බව සභාපතිවරයා පැවසුවේය.

ඉන් භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,314.10 ක් ලෙසත්, සේවා අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 344.52 ක් ලෙසත් වාර්තා වී තිබේන බවද සඳහන් කළේය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් වැනි දැනුම මත පදනම් වූ සේවා කර්මාන්ත, අපනයන ආදායම විවිධාංගීකරණය කිරීම සහ විදේශ විනිමය ඉපැයීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බවද පැවසීය.

ගෝලීය වෙළෙඳපොළේ පවතින අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ තරගකාරීත්වය මෙම වර්ධනයට ප්‍රධාන හේතුව වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම, 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) ක්‍රියාත්මක කරමින් නවෝත්පාදන, වෙළෙඳපොළ විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය ඔස්සේ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.