ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවාවට වසර සියයක් සපිරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය (College of Community Physicians of Sri Lanka - CCPSL) විසින් සංවිධානය කරන ලද “Public Health Summit 2026” සහ 31 වන වාර්ෂික ශාස්ත්‍රීය සැසිවාරය 2026 (31st Annual Academic Sessions 2026) අද (22) පෙරවරුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
“Shaping Well-being through the Life Course Approach” (ජීවන චක්‍රය පුරා යහපැවැත්ම ගොඩනැඟීම) යන තේමාව යටතේ ජූලි 22 සිට 24 දක්වා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුව, ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් ගමන් මඟ ඇගයීමට ලක් කිරීමත්, ඉදිරි සියවස සඳහා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව දැක්මක් නිර්මාණය කිරීමත් අරමුණු කර ගනිමින් සංවිධානය කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රජා සෞඛ්‍ය සේවාවේ ශත වර්ෂයක උරුමය මත පදනම්ව, අනාගත පරපුර සඳහා වඩාත් ශක්තිමත්, ගුණාත්මක හා ජනතා කේන්ද්‍රීය මහජන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීම සඳහා රජය කැපවී සිටින බව පැවසීය.
මෙම සමුළුව සාර්ථක කර ගැනීම සඳහා තාක්ෂණික හා මූල්‍යමය වශයෙන් දායක වූ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය ඇතුළු සියලු පාර්ශ්ව වෙත සිය කෘතඥතාව පළ කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය පද්ධතිය වසර සියයකට අධික කාලයක් පුරා රෝග වැළැක්වීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග පාලනය, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා සහ ප්‍රජා මූලික සත්කාර සේවා ඔස්සේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ සුවිශේෂී මෙහෙවරක් ඉටු කර ඇති බව සඳහන් කළේය.
වර්තමානයේ සෞඛ්‍ය අභියෝගයන් වෙනස් වෙමින් පවතින බවත්, එම අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අඛණ්ඩ නවෝත්පාදන, ශක්තිමත් සහයෝගීතාව සහ දීර්ඝකාලීන දැක්මක් අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේය.
සෞඛ්‍යය යනු හුදෙක් රෝග නොමැති තත්ත්වයක් පමණක් නොවන බවත්, එය අධ්‍යාපනය, ආර්ථික ඵලදායීතාව, සමාජ ස්ථාවරත්වය සහ ජාතික සංවර්ධනය ගොඩනැගීමේ මූලික පදනමක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජාතික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සෞඛ්‍යය හා ජනතා යහපැවැත්ම ස්ථාපිත කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, ඒ සඳහා හඳුන්වා දී ඇති ජාතික සෞඛ්‍ය හා යහපැවැත්ම ප්‍රතිපත්තිය 2026–2035 මඟින් නිරෝගී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා පැහැදිලි දැක්මක් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත්, රජයේ ප්‍රතිපත්ති පමණක් මඟින් මෙම දැක්ම සාක්ෂාත් කරගත නොහැකි බවත්, සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීම සඳහා රාජ්‍ය ආයතන, සෞඛ්‍ය වෘත්තිකයන්, අධ්‍යයන ක්ෂේත්‍රය, සංවර්ධන හවුල්කරුවන්, සිවිල් සංවිධාන, පෞද්ගලික අංශය සහ ප්‍රජාවන්ගේ ඒකාබද්ධ කැපවීම අවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
මෙම තෙදින සමුළුව තුළ ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මට්ටමේ මහජන සෞඛ්‍ය විශේෂඥයින්, පර්යේෂකයින් සහ සෞඛ්‍ය වෘත්තිකයින් එක්ව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා, පර්යේෂණ, නවෝත්පාදන සහ අනාගත අභියෝග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
ප්‍රජා සෞඛ්‍ය සේවාවේ සියවසක අත්දැකීම් හා ජයග්‍රහණ මත පදනම්ව, ඉදිරි සියවස සඳහා වඩාත් ශක්තිමත් හා ජනතා කේන්ද්‍රීය මහජන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීම සඳහා මෙම Public Health Summit 2026 වැදගත් පියවරක් වනු ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් පාන්ඩේ යන මහත්වරුන් ද මෙහි දී අදහස් දක්වන ලදී.
සමුළුවේ ප්‍රධාන දේශනය “මානව සංවර්ධනය සඳහා පදනමක් ලෙස යහපැවැත්ම” යන තේමාව යටතේ යුරෝපය සහ මධ්‍යම ආසියානු කලාපය සඳහා ලෝක බැංකුවේ අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ප්‍රතිපත්ති සහ ශ්‍රම ක්ෂේත්‍රයේ කලාපීය පුහුණු අධ්‍යක්ෂ ආචාර්ය අපර්ණා සෝමනාදන් මහත්මිය විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, ලේකම් සන්තුෂ්යා ප්‍රනාන්දු, යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සෞඛ්‍ය හා පෝෂණ කළමණාකරු වෛද්‍ය අබ්නර් ඩැනියෙල් (Dr Abner Daniel), ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය විශේෂඥයන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


