විනෝදය සඳහා ස්මාර්ට් දුරකතන භාවිතයේදී සැළකිලිමත් වන්න - වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

විනෝදය සඳහා ස්මාර්ට් දුරකතන භාවිතයේදී සැළකිලිමත් වන්න - වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන
  • SocialShare:

විනෝදාස්වාදය සඳහා ස්මාර්ට් දුරතකනය භාවිතයට අධික ලෙස ඇබ්බැහි වන පුද්ගලයන් ක්‍රමයෙන් විෂ  මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වන බවත්  විශේෂයෙන්ම පාසල් යන දරුවන්ට ස්මාර්ට් දුරකතන භාවිතයේදී විනයක් ඇතිව භාවිත කිරීමට දෙමාපියන් උපදෙස් ලබා දිය යුතු බවත් ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක ,මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (22) “රටම එකට“ ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති විශේෂ  මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

විද්‍යුත් තිරයන් නිරන්තරයෙන් භාවිත කිරීමෙන් මිනිස් මොළයේ අසාමාන්‍ය ලෙස ඩොපමීන් රසායනය ස්‍රාවය වන අතර එය මත්ද්‍රව්‍ය භාවිත කිරීමේදී සිදුවන මෙම රසායනය ස්‍රාවය වීමට සමාන බවත් පෙන්වා දුන් ඒ මහතා එය මිනිස් ශරීරයට දැඩි ලෙස අහිතකර බවත් අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය භාවිත කිරීම කිසිවිටෙකත් විනෝදයක් ලබා නොදෙන බවත් එය මිත්‍යාවක් බවත් මෙම මිත්‍යාව මත්ද්‍රව්‍ය විකුණන  ජාලය සමාජගත කර ඇති බවත් ඒ මහතා  වැඩිදුරටත් අවධාරණය කළේය.

වි‌ශේෂයෙන්ම පවුල් සංස්ථාව තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිටී නම් එම පවුල්වල දරුවන්ගේ මානසිකත්වයට සෘජුවම බලපෑම් ඇති කරන බව පෙන්වා දුන් ඒ මහතා පසුකාලීනව එම පවුල්වල දරුවන්ද මේ සඳහා පෙළඹවීමක් ඇති කරන බවද සඳහන් කළේය.

කුඩා කළ දරුවන්ගේ මානසික තත්වයන් වැඩිවියට පැමිණීමේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට පෙළඹවීමක් ඇති කරන බවත් ජානමය සාධක ඔස්සේ ද මත්ද්‍රව්‍ය භාවිතයට පුද්ගලයන් යොමු වන බවත්  දරුවන්ට නිවස තුළ යහපත් පරිසරයක් ගොඩ නැගීම මෙන්ම ඔවුන්ට ආදරය රැකවරණය ලබා දීම දෙමාපියන්ගේ වගකීමක් වන බවත් හෙතෙම අවධාරණය කළේය.