ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත අද (ජුලි 22) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම පනත් කෙටුම්පත, ජනමාධ්‍ය වෘත්තිකයින් සඳහා වෘත්තීය ප්‍රමිති හඳුන්වා දීමේ හා පවත්වාගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයිනගේ ආයතනය පිහිටුවීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ඉදිරිපත් කරන ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම ජනමාධ්‍යවේදීන්ට හා මාධ්‍ය වෘත්තිකයින්ට ඉතා වැදගත් අවස්ථාවක් බවයි.
මාධ්‍ය වෘත්තිකයින් සඳහා වන වරලත් ආයතනයක් (Chartered Institute for Media Professionals) යනු මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයින්ගේ ප්‍රමිතිය, ගුණාත්මකභාවය සහ ආචාරධර්ම නියාමනය කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු පනතකින් හෝ විශේෂ නීත්‍යානුකූල අධිකාරියකින් ස්ථාපිත කරනු ලබන නිල වෘත්තීය ආයතනයකි.
මෙය ඉංජිනේරු, ගණකාධිකාරී හෝ නීති වැනි වෙනත් පිළිගත් වෘත්තීන් සඳහා පවතින වරලත් ආයතන හා සමාන සංකල්පයකි. මාධ්‍යකරණය ද සමාජයට ඉහළ බලපෑමක් සහ වගකීමක් සහිත විශේෂඥ වෘත්තියක් ලෙස නීත්‍යානුකූලව සහ සමාජීය වශයෙන් පිළිගැනීම මෙහි මූලික අරමුණ වේ.
මෙවැනි ආයතනයක ප්‍රධාන කාර්යභාරයන් සහ අරමුණු පහත පරිදි වේ.
වෘත්තීය ප්‍රමිති සහ ආචාරධර්ම පවත්වා ගැනීම - මාධ්‍ය වෘත්තිකයින් අනුගමනය කළ යුතු ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය මාර්ගෝපදේශ සහ ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීම හා එය ක්‍රියාත්මක කිරීම.
වෘත්තීය සුදුසුකම් සහ පිළිගැනීම ලබා දීම - නිසි අධ්‍යාපනික සුදුසුකම් සහ ප්‍රමාණවත් වෘත්තීය පළපුරුද්දක් සහිත මාධ්‍යවේදීන්ට "වරලත් මාධ්‍ය වෘත්තිකයා" (Chartered Media Professional) යන නිල පිළිගැනීම සහ සහතිකය පිරිනැමීම.
අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය (CPD) - ක්ෂේත්‍රයට අලුතින් එක්වන්නන්ට සහ දැනට නියැලී සිටින්නන්ට අවශ්‍ය නවීන තාක්ෂණික, නෛතික හා න්‍යායාත්මක පුහුණුව ලබා දීම මෙන්ම පර්යේෂණ සඳහා පහසුකම් සැලසීම.
මාධ්‍ය නිදහස සහ වෘත්තිකයින්ගේ අයිතීන් සුරැකීම - දේශපාලන හෝ වාණිජ බලපෑම්වලින් තොරව, අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කිරීමට මාධ්‍යවේදීන්ට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම සහ ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී සිටීම.
ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීම - ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී, මාධ්‍ය නීති ප්‍රතිසංස්කරණය කිරීමේදී සහ ආයතනික නවීකරණ කටයුතුවලදී රජයට අදාළ විශේෂඥ උපදෙස් ලබා දීම.
සමස්තයක් ලෙස ගත් කල, මෙවැනි ආයතනයක් මගින් අපේක්ෂා කරන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වගවීම (Accountability) සහ වගකීම (Responsibility) තහවුරු කරමින්, මහජනතාවට වඩාත් විශ්වසනීය මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට අවශ්‍ය ව්‍යුහාත්මක පසුබිම නිර්මාණය කිරීමයි.


