අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට විශාල හානියක් සිදු වන බැවින්, එය වැළැක්වීම සඳහා ගතහැකි සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එම කටයුතු සොයා බැලීම වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත් කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ පරිසර අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්, තිරසාර ජෛව ලෝකයක් - සදාහරිත ජීවිතයක්” යන තේමාව යටතේ පරිසර අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 19,719ක අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද
ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 සැලසුම් පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
ඒ අනුව, පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්වල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
ඔලුවිල් වෙරළ තීරයේ ඛාදනය වැළැක්වීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග විමසා බැලීමට ඒ පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කර, වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී ජනාධිපතිවරයා විශේෂයෙන් විමසා බැලූ අතර, මන්දගාමීව සිදු කෙරෙන එම ව්‍යාපෘති මිනිස් ජීවිතවලට තර්ජනයක් බවත්, අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබියදී ව්‍යාපෘති ප්‍රමාදවීම අනුමත කළ නොහැකි බවත්, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් ග්‍රාමීය ජන ජීවිතය පිළිබඳ සංවේදී වෙමින් මෙම ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම වසරේ ලබා දී ඇති ප්‍රතිපාදන මෙම වසර තුළම වැය කරමින් අදාළ ඉදිකිරීම් සිදු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම අලි වැට සීමාව සහ ප්‍රමාණය තීරණය කළ යුත්තේ වනජීවි කලාප ලකුණු කිරීම වෙනුවෙන් නොව, ජන ජීවිතය ආරක්ෂා කිරීමට බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජල මූලාශ්‍ර සංරක්ෂණ ව්‍යාපෘති, පිරිසිදු වෙරළ තීරයක් ව්‍යෘපෘතිය, වෙරළබඩ විනෝද උද්‍යාන ඇති කිරීමේ ව්‍යාපෘතිය, සිංහරාජය සහ කන්නෙලිය වනාන්තර සඳහා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් ඇති කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡාවට ගැනුණි.
ශ්‍රී ලංකාව සඳහා ගුණාත්මක කාබන් විමෝචන ප්‍රතිපත්තියක් සකස් කිරීමට පරිසර අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටින බවත්, එමඟින් ආයෝජන අවස්ථා පුළුල් කරගත හැකි බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් සඳහන් කරන ලදී.
විදේශ ණය අධාර යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති ලබා ගැනීම සැලසුම් සහගතව සිදු නොවීම හේතුවෙන් එකම කාර්යය සඳහා විවිධ අමාත්‍යාංශ යටතේ ප්‍රතිපාදන වෙන් කෙරෙන බවත්, එබැවින් ඉදිරියේදී ලබා ගන්නා විදේශ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ස්ථාවර කමිටුවක් පත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා මෙහිදී සඳහන් කළේය.
වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් නිවාඩු නිකේතන වැඩිදියුණු කර, නවීන සහ උසස් තාක්ෂණයෙන් යුතුව ජනතාවට ලබාදීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරනු ලැබිණි.
තවද, මල් වගාව කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීම සහ ජෛව විවිධත්වය රැක ගැනීම වෙනුවෙන් ජාතික උද්භිද උද්‍යාන සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු විය.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරු ද, මුදල් අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.


