ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ගරු Wiebe de Boer මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතර විශේෂ සුහද හමුවක් පසුගියදා බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
දෙරට අතර පවතින සංස්කෘතික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී, යටත් විජිත සමයේ මෙරටින් ගෙනගිය ශ්‍රී ලාංකේය පෞරාණික කෞතුක වස්තු නැවත මෙරටට ලබාගැනීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ එහි ඉදිරි පියවර පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
මීට අමතරව, මෙරට කෞතුක වස්තු, පුරාවිද්‍යාත්මක ස්ථාන ඇතුළු ජාතික උරුමයන් සංරක්ෂණය කිරීමේ කටයුතු සඳහා නෙදර්ලන්ත රජයේ තාක්ෂණික හා නිපුණතා සහය ලබාගැනීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කරගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ සංස්කෘතික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක ක්‍රිෂාන් මෙන්ඩිස් (Chryshane Mendis) මහතා ඇතුළු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


