ගිනි ආරක්ෂණ සහ ගොඩනැගිලි පරිසර ස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2026 (ICFIRE) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.
තිරසාර ගොඩනැගිලි පරිසරයක් අනාගතයට ගැළපෙන ලෙස සකස් කිරීම සඳහා ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍ය සහ පද්ධති දියුණු කිරීම" ("Advancing Fire-Resilient Materials and Systems for Future-Proofing Sustainable Built Environments") යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ ඇම්බර් විද්‍යාගාරය සහ ගිනි ආරක්ෂණ ඉංජිනේරු සංගමය විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබේ. එය ජූලි 22 සහ 23 දිනවලදී පැවැත්වේ.
වේගවත් නාගරීකරණය, දේශගුණික විපර්යාස සහ නැගී එන ඉදිකිරීම් තාක්ෂණයන් හේතුවෙන් උස් ගොඩනැගිලිවල සිට සංකීර්ණ කාර්මික සහ තිරසාර යටිතල පහසුකම් දක්වා ගිනි අවදානම් තත්ත්වයන් ලොව පුරා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් නවීන ගොඩනැගිලි පරිසරයන්හි මතුවන ගිනි උවදුරු මඟහරවා ගැනීම සඳහා ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයන්, පහසුකම් කළමනාකරුවන්, නගර සැලසුම්කරුවන්, පර්යේෂකයන්, කර්මාන්ත වෘත්තිකයන්, ද්‍රව්‍ය සපයන්නන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ආදී පාර්ශ්වකරුවන් එකතු කරන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර වේදිකාවක් ලෙස මෙම සම්මන්ත්‍රණය වැදගත් වේ.
ගොඩනැගිලි පරිසරයන්හි ගිනි ස්ථාවරත්වය පිළිබඳ කොළඹ ප්‍රකාශනය (2026) එළිදැක්වීම, අපදා වැළැක්වීම, සූදානම, ඉවත් වීමේ සැලසුම් සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම, ගොඩනැගිලි පරිසරය තුළ ගිනි ආරක්ෂණ දැනුවත්භාවය සහ නියාමන අනුකූලතාව වැඩිදියුණු කිරීම, ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍ය, ගිනි පද්ධති සහ ගිනි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පර්යේෂණ, නවෝත්පාදන, දැනුම බෙදා හැරීම සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු අරමුණු රැසක් ඉලක්ක කර ගනිමින් මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියන් මෙන්ඩිස් මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක් වූ අතර ඇම්බර් විද්‍යාගාරයේ අධ්‍යක්ෂ ආචාර්ය රධිකා සමරසේකර, ඕස්ට්‍රේලියාවේ, RMIT විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේට් න්ගුයෙන්, Halliwell Fire Science හි ආචාර්ය රයන් හිල්ඩිච්, ආචාර්ය ඉම්රාන් අහමඩ්, වාස්තු විද්‍යාඥ අෂ්ලි ද වොස්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු කොසල කඹුරුදෙණිය, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එම්. ජී. හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු දේශීය හා ජාත්‍යන්තර විද්වතුන් විශාල ප්‍රමාණයක් ද සහභාගී වී සිටියහ.


