එල්-නිනෝ අවදානම හමුවේ විද්‍යාත්මක දත්ත මත කෘෂිකාර්මික තීරණ ගන්නැයි ගොවීන්ගෙන් ඉල්ලීමක්

එල්-නිනෝ අවදානම හමුවේ විද්‍යාත්මක දත්ත මත කෘෂිකාර්මික තීරණ ගන්නැයි ගොවීන්ගෙන් ඉල්ලීමක්
  • SocialShare:

ඉදිරියේදී ඇතිවිය හැකි එල්-නිනෝ දේශගුණික තත්ත්වය සම්බන්ධයෙන් ගොවි ජනතාව අනවශ්‍ය ලෙස බියට පත් නොවී විද්‍යාත්මක දත්ත සහ අදාළ ආයතනවල නිල උපදෙස් මත පදනම්ව කෘෂිකාර්මික තීරණ ගැනීම වැදගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පවසයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා මේ බව සඳහන් කළේ, අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති එල් නිනෝ තත්ත්වය සහ එහි ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල යල කන්නයේ අස්වැන්න නෙළීම අවසන් වී හෝ අවසන් අදියරේ පවතින බැවින් එල් නිනෝ තත්ත්වය පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශවල ප්‍රමාණවත් ජලය පවතින අතර යල කන්නයේ වර්ෂාපතනයේ යම් අඩුවීමක් සහ උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රවණතාවක් පුරෝකථනය කර ඇති බැවින් දැනට පවතින වාරි ජලය කාර්යක්ෂමව භාවිත කරමින් වගා කටයුතු සැලසුම් කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළද විශාල ගංවතුර අවදානමක් පුරෝකථනය කර නොමැති බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මහ කන්නයේ ආරම්භක අදියරේ වැඩි වර්ෂාපතනයටත් අවසාන අදියරේ අඩු වර්ෂාපතනයටත් ගැළපෙන පරිදි වගා සැලසුම් සකස් කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම ඔක්තෝබර් 15 වනදා පමණ වන විට වී වගාව අවසන් කර වගාව ස්ථාවර කර ගැනීම, අඩු කාලීන වී ප්‍රභේද භාවිතය, ජල හා පාංශු සංරක්ෂණය සහ දේශගුණයට අනුවර්තන කෘෂිකාර්මික ක්‍රමවේදයන් අනුගමනය කිරීම ඉදිරි මහ සහ 2027 යල කන්න සඳහා වැදගත් වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ගොවි ජනතාව දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අදාළ ආයතන එක්ව මාර්ගෝපදේශයක් සකස් කර ක්ෂේත්‍ර නිලධාරීන් වෙත ලබාදී ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තහවුරු නොකළ තොරතුරුවලට නොරැවටී නිල ආයතන නිකුත් කරන උපදෙස් අනුව කෘෂිකාර්මික කටයුතු සැලසුම් කරන ලෙස ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.