එල්-නිනෝ තත්ත්වයක් ඇති වුවද රටේ ජල සම්පත නිසි ලෙස කළමනාකරණය කිරීමේ හැකියාව පවතින බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති "එල්-නිනෝ තත්ත්වය සහ එහි ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම්" පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ජල කළමනාකරණ ලේකම් කාර්යාලය යටතේ පවතින ජලාශවල මේ වන විට 57%ක ජල ධාරිතාවක් පවතින අතර විදුලිබල උත්පාදනයට අදාළ ජලාශවල ජල ධාරිතාව 54%ක් බව ඔහු පැවසීය. මහවැලි පද්ධතියට අයත් වාරි ජලාශවල 60%ක පමණ ජල ධාරිතාවක් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල 58%ක පමණ ජල ධාරිතාවක් දැනට පවතින බවද සඳහන් කළේය.
යල කන්නය අවසන් වන විට මහවැලි පද්ධතියේ ජල ධාරිතාව 59%ක් පමණ පවත්වා ගැනීමට අපේක්ෂා කරන අතර අනෙකුත් ජලාශවලද ප්‍රමාණවත් ජල සංචිත පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු කියා සිටියේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන සැලකිල්ලට ගනිමින් 2027 සැප්තැම්බර් 30 දක්වා ජල කළමනාකරණ සැලසුම් සකස් කර ඇති බවද අධ්‍යක්ෂවරයා පැවසීය.
විදුලි උත්පාදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වාර්ෂික විදුලි අවශ්‍යතාවයෙන් 25%ක් පමණ ජල විදුලියෙන් සපයන අතර මේ වන විට එය 23%ක මට්ටමක පවතින බවයි. සුළං විදුලියෙන් 28%ක පමණ දායකත්වයක් ලැබෙන අතර, ජල, සූර්ය හා සුළං ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සමස්ත විදුලි පද්ධතියට 49%ක පමණ දායකත්වයක් හිමිවන බවද ඔහු සඳහන් කළේය.
පුනර්ජනනීය බලශක්ති කළමනාකරණය නිසි පරිදි සිදු වන බැවින් කර්මාන්ත ඇතුළු සියලු ක්ෂේත්‍ර සඳහා විදුලි සැපයුම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බවද හෙතෙම අවධාරණය කළේය.
පානීය ජල සැපයුම සඳහාද මේ වන විට අවශ්‍ය ජල කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා, ගොවි ජනතාව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් නිසි සැලසුමකට අනුව වගා කටයුතු සිදු කළහොත් සියලුම ගොවීන්ට අවශ්‍ය ජලය සැපයීමේ ගැටලුවක් මතු නොවන බවද අවධාරණය කළේය.


