ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනයට නව ශක්තියක් එක් කරමින්, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා මාස හයක කාලසීමාවක් වෙනුවෙන් කොන්ත්‍රාත් පදනම මත පූර්ණ කාලීනව වැඩබැලීම සඳහා ආර්.පී.ජිනේෂ් රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවේය.
මෙම පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති අතර, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පත්වීම් ලිපිය නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.
ජිනේෂ් රාජපක්ෂ මහතා ප්‍රධාන සමුද්‍ර ඉංජිනේරුවරයෙකු ලෙස පුළුල් මුහුදු ගමන් හා නාවික සේවා අත්දැකීම් සහිත, ඉහළ වෘත්තීය සුදුසුකම්වලින් හෙබි ප්‍රවීණයෙකි. එතුමා සමුද්‍ර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙකු ලෙසත්, සමුද්‍ර ඉංජිනේරුවන්ගේ වෘත්තීය විභාග පරීක්ෂකවරයෙකු ලෙසත් සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත. අවංකභාවය, විශ්වාසනීයත්වය සහ වෘත්තීය නිපුණත්වය වෙනුවෙන් ගෞරවයට පාත්‍ර වූ වෘත්තිකයෙකු ලෙස එතුමා නාවික ක්ෂේත්‍රය තුළ ප්‍රකට පුද්ගලයෙකි.
නව අධ්‍යක්‍ෂ ජනරාල් ජිනේෂ් රාජපක්ෂ මහතා අද පස්වරුවේ කොළඹ 10, මරදාන පාර, ටෙක්නිකල් හංදිය, වෙළඳ නාවික ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිය පදවියේ වැඩ භාරගනු ලැබුවේය. එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යතුමා සහ අමාත්‍යාංශ ලේකම්තුමා ද සහභාගී වූහ. එහිදී රාජපක්ෂ මහතා මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද කෙටි සාකච්ඡාවක නිරත විය. එහිදී එම නිලධාරීන් අමතමින් වෙළඳ නාවික ලේකම් කාර්යාලය මඟින් වඩාත් කාර්යක්ෂම, ගුණාත්මක සහ විනිවිදභාවයෙන් ක්‍රියාත්මක වෙමින් මහජනතාව වෙත ඵලදායී සේවාවක් ලබා දීමට කාර්ය මණ්ඩලය ලෙස පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ සඳහා එතුමා වෙ ළඳ නාවික ක්ෂේත්‍රයේ සතු අධ්‍යාපනික සහ නියාමන අත්දැකීම් සහ පළපුරුද්ද නොවඩුව ලබා දෙන බව ද ප්‍රකාශ කළේය.


