වයස්ගත ජනගහනය, බෝ නොවන රෝග සහ දේශගුණික විපර්යාස වැනි නව සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දීම සඳහා නවීන කුසලතා සහිත, වෙනස්වන අවශ්‍යතාවන්ට අනුවර්තනය විය හැකි සෞඛ්‍ය සේවක පිරිසක් බිහිකිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ (NIHS) ශත සංවත්සර සම්මේලනයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙම උත්සවය NIHS ආයතනයේ සියවස (1926–2026) සැමරුම නිමිත්තෙන් ඊයේ (01) කළුතරදී පැවැත්විණි. එහිදී මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දශක ගණනාවක සේවය අගය කරමින්, මාතෘ හා ළමා සෞඛ්‍ය, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සහ රෝග නිවාරණය වැනි ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් මත ගොඩනැගී ඇති බවද ඇය අවධාරණය කළාය.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, රජය නවීන සෞඛ්‍ය යටිතල පහසුකම්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ ඩිජිටල් තාක්ෂණය සඳහා අඛණ්ඩව ආයෝජනය කරන බවයි.
මෙම අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාද විශේෂ දේශන පැවැත්වූ අතර NIHS ශත සංවත්සරය සනිටුහන් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ සමරු ග්‍රන්ථයක් එළිදැක්වීමද සිදුවිය.


