හෝමාගම මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) රෝගීන් ඇතුළත් කිරීම සහ ලියාපදිංචිය ඩිජිටල්කරණයට ලක් කිරීම (Digitalising Patient Admission and Registration) සහ දුරස්ථ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදය ඔස්සේ රෝගීන් පරීක්ෂාව සහ කළමණාකරණයට ලක් කිරීමේ නවීන තාක්ෂණික ක්‍රමවේදය (Telemedicine) ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු කෙරුණි.
මෙහිදී ඩිජිටල්කරණයට ලක් වූ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) පළමු රෝගියා ලියාපදිංචිය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වු අතර දුරස්ථ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදය ඔස්සේ පාදුක්ක රෝහලේ රෝගියෙකු නිරීක්ෂණය හා කළමණාකරණය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණය යටතේ සිදුවිය.
මෙම ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් රෝහල් පිරිවැය සහ වියදම් අවම වීම (Cost Reduction), සේවක කාර්යක්ෂමතාව ඉහළ යාම (Increased Efficiency), රෝහල් ධාරිතාව සහ ඉඩකඩ උපරිමයෙන් භාවිත කිරීමට හැකිවීම (Optimized Capacity), දත්ත පදනම් කරගත් නිවැරදි තීරණ ගැනීමට හැකිවීම (Data-Driven Decisions), පරීක්ෂණ රෝගී වාර්තා දත්ත හුවමාරුව පහසුවීම ආදි වශයෙන් රෝහල් කළමනාකරණයට සහ පරිපාලනයට සෘජුවම අත්වන ප්‍රතිලාභ රැසකි.
අනතුරුව රෝහල් සංවර්ධන කමිටුව සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමග රෝහලේ ඉදිරි සැළසුම්, අවශ්‍යතා සහ පවතින ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී රෝහල් විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් රෝහලේ ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස පෙන්වා දුන් මහල් 04 ක බහුකාර්ය ගොඩනැගිල්ක අවශ්‍යතාවය පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර, රෝහලේ මානව සහ භෞතික සම්පත් කළමණාකරණය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී වැඩි අවධානයක් යොමු කරන ලදි.
මෙහිදී හෝමාගම මුලික රෝහලේ පිහිටීම සහ සේවා අවශ්‍යතාවය මත රෝහල සංවර්ධනය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් පවතින බවත්, එම වැඩපිළිවෙලට සමගාමීව රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා පැවැසීය.
හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) රෝගීන් ඇතුළත් කිරීම සහ ලියාපදිංචිය ඩිජිටල්කරණය කිරීම සහ දුරස්ථ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදය ඔස්සේ රෝගීන් පරීක්ෂාව සහ කළමණාකරණයට ලක් කිරීමේ නවීන තාක්ෂණික ක්‍රමවේදය (Telemedicine) ආරම්භ කිරිම තුළින් රෝගීන් කළමණාකරණය කිරීමේ කටයුතු පහසු වනු ඇති බවත්, එහි ප්‍රතිලාභ ප්‍රතිකාර සේවා ලබාගැනීම සදහා රෝහලට පැමිණෙන ජනතාවට අත්වනු ඇති බව ද පැවැසීය.
මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සමිබන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසන්ත දොඩාවත්ත, හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් රත්නායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය චන්දන ගජනායක, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පුර්ණිමා රත්නායක, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක හෝමාගම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී පී.එච්. විජේනායක, හදිසි ප්‍රතිකාර ඒකකය භාර වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ඩී.බී.සී සඳරුවන් යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද සෞඛ්‍ය කාර්ය මණ්ඩල රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයින් ද එක්ව සිටියහ.


