රට පුරා වැව්, ඇළවේලි සහ ජල මාර්ග සංවර්ධනය කර කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි - අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත

රට පුරා වැව්, ඇළවේලි සහ ජල මාර්ග සංවර්ධනය කර කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි - අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත
  • SocialShare:

රට පුරා වැව්, ඇළවේලි සහ ජල මාර්ග සංවර්ධනය කර කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ  අපේක්ෂාව බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ තන්නීරිට්ටු ග්‍රාමයේ පිහිටි නීරාව් ඌට්ටුකුලම් වැව සංවර්ධනය කිරීමේ කටයුතු ඊයේ (01) ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම වැව සංවර්ධනය කිරීමෙන් දැනට අහස් දියෙන් වගා කෙරෙන කුඹුරු අක්කර 400ක පමණ භූමි ප්‍රමාණය අක්කර 600කට වැඩි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට හැකි වන අතර, ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාවටද විසඳුමක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනාධිපතිවරයාගේ පසුගිය අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, මුලතිව් දිස්ත්‍රික්කයෙන් එය ආරම්භ කිරීමට හේතුව එම ප්‍රදේශයට සෘජු ප්‍රතිලාභ ගෙන දෙන වාරි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම බවද පැවසීය.

ගොවිජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුව මේ වන විට කටයුතු කරමින් සිටින බවත්, ගොවිජන සංවර්ධන, පශු සම්පත් හා වාරිමාර්ග ආයතනවල පවතින නිලධාරී හිඟය පියවීම සඳහා බඳවා ගැනීම් සිදුකරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කර ගොවීන්ට සහතික මිලක් ලබාදීම රජයේ ප්‍රමුඛතාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නාඩු සඳහා රුපියල් 120ක්, සම්බා සඳහා රුපියල් 130ක් සහ කීරි සම්බා සඳහා රුපියල් 140ක් ලෙස ප්‍රකාශිත මිලට වඩා අඩුවෙන් වී මිලදී ගැනීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමට රජය අවධානය යොමු කර ඇති බව ද ප්‍රකාශ කළේය.

තවද, සහල් ආශ්‍රිත නව නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, වී සඳහා නව වෙළඳපොළ අවස්ථා නිර්මාණය කිරීම සහ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනවලට වැඩි වටිනාකමක් එක් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, එහි සාර්ථකත්වය සඳහා ජනතාවගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා, මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලකනාදන් මහතා, මුලතිව් දිස්ත්‍රික් ලේකම් උමා මහේෂ්වරන් මහතා, ‘වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.