කෝපි වගාකරුවන්ගේ ආර්ථික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් කෝපි වගාව සඳහා නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ කෝපි පැල සිටුවීමෙන් පසු පළමු වසර තුන සඳහා රක්ෂණ ආවරණය ලබා දෙන අතර, ඒ ඒ වර්ෂයට අදාළ රක්ෂිත මුදලින් සියයට 7ක වාරිකයක් යටතේ රක්ෂණාවරණ නිකුත් කෙරේ.
ඒ අනුව පළමු වසර සඳහා රුපියල් 510,000ක, දෙවන වසර සඳහා රුපියල් 660,000ක සහ තුන්වන වසර සඳහා රුපියල් 840,000ක රක්ෂණ ආවරණයක් ලබා දීමට නියමිතය.
කෝපි වගා කිරීමේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාගැනීම අනිවාර්ය වන බැවින්, එම නිර්දේශයන්ට අනුකූලව සිදුකරන කෝපි වගාවන් සඳහා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.
දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ වටිනාකමක් හිමි කෝපි බෝගයේ වගා ව්‍යාප්තිය වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මෙම රක්ෂණාවරණය මඟින් නියඟය, ගංවතුර, වන අලි හානි, පාලනය කළ නොහැකි ශාක රෝග, කෘමි උවදුරු සහ වෙනත් වන සත්ව හානි සඳහා ආවරණ ලබා දේ.
එමෙන්ම, රක්ෂිත මුදලින් සියයට 0.5ක අමතර වාරිකයක් ගෙවීම මඟින් හදිසි ගිනි ගැනීම් සහ නායයෑම් සඳහා අමතර රක්ෂණ ආවරණ ද ලබාගැනීමට කෝපි වගාකරුවන්ට අවස්ථාව සලසා දී ඇත.


