ජාත්‍යන්තර පරිසර දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (ජූනි 05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට අනුව මෙවර ජගත් පරිසර දින ගෝලීය තේමාව වන්නේ “දේශගුණික ක්‍රියාකාරිත්වයන් සඳහා ගෝලීය කැඳවීම” (A Global Call for Climate Action) වන අතර, එය මෙරට තුළ “දලුලන්න ඉඩ දෙන්න – දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු” යන ජාතික තේමාවෙන් ක්‍රියාවට නැංවේ.
සෑම වසරකම පරිසර දිනයට සමගාමීව ප්‍රකාශයට පත් කෙරෙන පරිසර සතිය මෙවර මැයි 30 වැනිදා සිට ජූනි 05 වැනිදා දක්වා ක්‍රියාත්මක විය. එම සතිය තුළ එක් එක් දිනයන් වෙන් වෙන් වශයෙන් ඉලක්ක කර ගනිමින් රාජ්‍ය, පෞද්ගලික සහ ස්වේච්ඡා සංවිධානවල දායකත්වයෙන් දිවයින පුරා පාරිසරික සහ රෝපණ වැඩසටහන් රැසක් සාර්ථකව සංවිධානය කර තිබුණි.


