දෙසැම්බර් 10, 2018

tami eng youtube google twitter facebook

    විමර්ශන

    ශ‍්‍රී ලංකාවේ මුව පවුලේ සාමාජිකයන් හතර දෙනා අතුරෙන් දුර්ලභම සාමාජිකයා වන්නේ විල් මුවා හෙවත් ගෝන මුවා ය. සර්විඩේ (Cervidae) කුලයට අයත් වන විල් මුවා ඉංග‍්‍රීසියෙන් Hog Deer, Ceylon Hog Deer, Paddy - field Deer හා Swamp Deer යන නම්වලින් හඳුන්වයි. විද්‍යාත්මක ව Axis porcinus ලෙස හඳුන් වන මේ විශේෂය 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට ලක් වූ නැතහොත් තර්ජිත (Endangered) විශේෂයක් ලෙස දක්වා තිබේ.

    ස්වකීය කීර්තියශෝඝෝෂය ශේෂෝපගත කෙරෙමින් 2104 දෙසැම්බර් 04 වන දින පෙරවරුවෙහි අපෙන් සමු ගත් මහාචාර්ය තිස්ස කාරියවසම් සූරීන්ගේ ශාස්ත‍්‍රීය සේවාව ශ‍්‍රී ලාංකේය සංස්කෘතික ඉතිහාසයේ යුග දෙකක මෙන් ම සම්ප‍්‍රදාය දෙකක ද ප‍්‍රවර්ධනයෙහි යුගකාරක මෙහෙවරක සලකුණකි.

    ගාල්ලට අරුණැල්ලක්

    දෙසැම්බර් 02, 2014
    දිවයිනේ දිස්ත්‍රික අතරින් ගාල්ල දිස්ත්‍රික්කය ඓතිහාසික වශෙයන් මෙ‍න් ම ආර්ථික සාධක අතරින් ද රට තුළ කැපී පෙනන පරිපාලන ඒකකයකි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19කින් සමන්විත ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් සංඛ්‍යාව 895කි. මෙම කලාපය තුළ දියුණු නාගරික ලක්ෂණ ඉස්මතු කරන ප්‍රදේශ මෙන් ම නොදියුණු ග්‍රාමීය ලක්ෂණ පවතින ප්‍රදේශ පවතින්නේ අලුත් ආර්ථික සංවර්ධනයත් සමඟ ආසියාවේ අසිරියේ හිමිකරුවෙක්  වීමට මහත් වූ අපේක්ෂාවෙනි. නොදියුණු යැයි සම්මත ලක්ෂණ ගාල්ල  දිස්ත්‍රික්කයේ ඉස්මතුවීමට රටේ  අනිකුත් ප්‍රදේශවලට හේතුවන පොදු කරුණු ම බලපා ඇති බව දැනට පැහැදිලි ව පවතින කාරණාවක් වී ඇත. 

    51840c4d9c8568a0c03f165c21c0c78d Sමහාචාර්ය විමල් ජී. බලගල්ලේ පඬිවරයාණෝ පසුගිය නොවැම්බර් මස 24 වන දින අනූ වන වියට පා තැබූහ. මේ විමර්ශනාත්මක ලිපි ත්‍රිත්වය ඒ නිමිත්තෙනි.


    මහාචාර්ය විමල් ජී. බලගල්ලේ: පුද්ගලයා හා ඔහුගේ සේවාව                              


    විද්‍යෝදය (ශී‍්‍ර ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලය 1959 පෙබරවාරි 19 වන දා නිල වශයෙන් ආරම්භ වූ අවස්ථාවේ පටන් ඊට සම්බන්ධ වී පළමුව එහි විභාග කටයුතු භාර සහය ලේඛකාධිකාරි සහ සිංහල පිළිබඳ කථිකාචාර්ය යන ද්විත්ව තනතුරු දරා, ඒ වර්ෂය තුළදීම සිංහල මහාචාර්ය සහ අධ්‍යයනාංශ ප‍්‍රධාන ධුරයන්ට පත් කරනු ලැබ, ඒ තනතුරු දරන අතරෙහිම වරින් වර භාෂා පීඨාධිපති, ශාස්ත‍්‍ර පීඨාධිපති, මණ්ඩපාධිපති, වැඩ බලන උප කුලපති යන තනතුරුද දරමින් දෙතිස් වසරක් තරම් දිගු කලක් මුළුල්ලේ විශ්වවිද්‍යාලයේ සැම අංශයකම අභිවර්ධනය උදෙසා ඉමහත් සේවාවක් කොට, 1990 සැප්තැම්බර් 30 වනදා විශ‍්‍රාම ලත් මහාචාර්ය විමල් ගුණසේකර බලගල්ලේ මහතා සිංහල, පාලි, ප‍්‍රාකෘත, සංස්කෘත, වංග ආදි ප‍්‍රාචීන භාෂා සාහිත්‍යයන් පිළිබඳවත්, විශේෂයෙන් වාග්විද්‍යා විෂය පිළිබඳවත් අග‍්‍රගණ්‍ය පඬිවරයකු වශයෙන් විද්වත් ලෝකයෙහි සම්භාවනාවට පාත‍්‍ර වී සිටින්නෙකි.


    මා එතුමන් මුලින් දැන හැඳින ගත්තේ 1952 වර්ෂයේදී පමණ අප දෙදෙනා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ව සිටියදීය. එකම වර්ෂයේ නොවූවත් අප දෙදෙනා සිංහල ගෞරව උපාධිය හදාරන විද්‍යාර්ථීන් වූ හෙයින් අපේ හිතවත්කම්වල අඩුවක් නොවීය. මා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරද්දී අලුත පිහිටුවනු ලැබූ විශ්වවිද්‍යාලයේ තොරතුරු දැන ගැනීමේ මෙන්ම අප මිතුරාගේ සුවදුක් දැන ගැනීමේද අටියෙන් දිනක් මම එදා විශ්වවිද්‍යාලයේ කටයුතු කෙරුණු මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ගොඩ වැදුණෙමි.  අපේ පරණ සම්බන්ධය අලුත් වීමේ ප‍්‍රතිඵලය වූයේ මා 1960 ජනවාරියේ 01 දා  විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයකු ලෙස පත්වීම ලැබීමය.


    1924 නොවැම්බර් මස 24 වන දින ගම්පහ දිස්ති‍්‍රක්කයේ හාපිටිගම් කෝරළේ බලගල්ල නම් ග‍්‍රාමයෙහි ජන්මග‍්‍රහණය ලත් ගුණසේකර නම් දරුවාගේ පියා කන්නංගර පතිරන්නැහෙලාගේ පීරිස් අප්පුහාමි මහතාය. මව එන්සො නෝනා රණසිංහ මහත්මියයි. සිරිත් පරිදි සිවු හැවිරිදි වියේදී පියාණන් විසින් අතපොත් තබා අකුරු කරවනු ලැබීමෙන් පසු පස් හැවිරිදි වියේදී පාඨශාලීය අධ්‍යාපනය සඳහා ඔහු ගෙදරට සමීපතර උල්ලලපොළ විද්‍යාතිලක බෞද්ධ පිරිමි පාසලට ඇතුළු කෙරිණ. ගුරුවරුන්ගේ ප‍්‍රසාදය සමග සැම පන්තියකම ප‍්‍රථම ස්ථානය දිනා ගනිමින් ඉගෙනීමේ කටයුතු කරගෙන ආ ඔහු 1938 දී එකල රජය මගින් පවත්වනු ලැබූ කනිෂ්ඨ පාඨශාලා සහතිකපත‍්‍ර (ජේ. එස්. සී.) පරීක්ෂණයේදී ප‍්‍රථම පන්ති සාමර්ථ්‍යයක් ලබා ගත්තේය. පාසල් එකසිය ගණනක තරගකරුවන්ගේ සහභාගිත්වයෙන් ඒ වර්ෂයෙහිම පැවති දිස්ති‍්‍රක් පාඨශාලාන්තර ගද්‍ය පද්‍ය ප‍්‍රබන්ධ තරගයකට ‘වැරදී ගිය උපක‍්‍රමය’ නමින් කෙටි කතාවක් ඉදිරිපත් කළ ඔහුට ප‍්‍රථම ස්ථානය ලැබීමෙන් පෙනී යනුයේ කුඩා කල පටන්ම ලේඛන කාර්යයෙහි ඔහු දැක්වූ සාමර්ථ්‍යයයි.


    1938 වර්ෂය ගුණසේකර ශිෂ්‍යයාගේ අධ්‍යයන මාර්ගයෙහි මෙන්ම ජීවිතයෙහිද පරිවර්තනයක් සිදු වූ අවස්ථාවකි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු පල්ලේවෙල වික‍්‍රමශිලා පරිවෙනට නේවාසික ශිෂ්‍යයකු වශයෙන් ඇතුළත් වූයේය. එහි ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අතර පසළොස්වක පොහෝ දිනයන්හි බලගල්ලේ සරස්වතී පිරිවෙනට යෑම ඔහු පුරුද්දක් කරගෙන සිටියේය. ඒ ගමන්වලදී ගරු හිස්සැල්ලේ ඤාණෝදය නාහිමියන්ගේ ආශ‍්‍රය නිසා ගුණසේකර ශිෂ්‍යයා තුළ ප‍්‍රාචීන භාෂා හා පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි දැඩි ඇල්මක් ඇති වූ බව කියනු ලැබේ. එහෙත් වික‍්‍රමශිලා පිරිවෙනෙහි රැඳී ඉගෙන ගැනීම ඔහු පි‍්‍රය කළේ එවක එහි අධ්‍යක්ෂ තනතුර දැරූ කොළඹ විද්‍යෝදය පිරිවෙනේ උපප‍්‍රධානාචාර්ය ගරු කුකුල්නාපේ දේවරක්ඛිත හිමිපාණන්ගේ පාණ්ඩිත්‍යයේ කීර්තිය නිසාය. මෙසේ වික‍්‍රමශිලා පිරිවෙනේ නේවාසික ශිෂ්‍යයකු බවට පත් ඔහු සාම්ප‍්‍රදායික පන්සල් පොත් කියවීමට සමාන්තරව ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකපත‍්‍ර (එස්. එස්. සී.) විභාගයට ද සූදානම් වූයේය. මේ අතර, ප‍්‍රාචීන භාෂා අධ්‍යයන සම්පූර්ණ වීම සඳහා වංග භාෂාවද ප‍්‍රගුණ කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදුව, කුකුල්නාපේ හිමියන් වෙතින් ඔහු වංග භාෂාව ඉගෙන ගත්තේය. ඊට අමතරව, සුප‍්‍රකට ජ්‍යොතිර් විද්‍යාඥයකු වූ එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න මහතාගෙන් පිරිවෙනේදීම ජ්‍යොතිර් විද්‍යාවද මනා සේ හැදෑරීමට අවස්ථාව ලබා ගත්තේය.


    මෙතුමාගේ ජීවිතයේ ඊළඟ වැදගත් අවස්ථාව වූයේ 1945 වර්ෂයේදී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ උසස් අධ්‍යාපන අංශයට ඇතුළත් වීමය. එහිදී තත්කාලීන පරිවේණාධිපති වූ ගරු බද්දේගම පියරතන නාහිමි, උන් වහන්සේගෙන් පසුව පරිවේණාධිපති වූද විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භ කළා වූද ගරු වැලිවිටියේ සෝරත නාහිමි, ගරු පලන්නරුවේ විමලධම්ම නාහිමි, ගරු ආචාර්ය දෙහිගස්පේ පඤ්ඤාසාර නාහිමි, ගරු කලුකොඳයාවේ ප‍්‍රඥාශේඛර නාහිමි ආදි පැවිදි පඬිවරුන්ගෙන් ඉගෙන ගැනීමේ භාග්‍යය ලැබිණ. පිරිවෙනේ එක් එක් පන්තිවල පරීක්ෂණවලින් උසස් ලෙස සමත් වී සිංහල, පාලි, සංස්කෘත, ප‍්‍රාකෘත යන භාෂාසාහිත්‍යයන් සහ ධර්මවිනය, තර්කන්‍යාය, ඡුන්දෝලංකාර, ඉතිහාසය, පුරාවිද්‍යාව යන විෂයන් ඇතුළත් වූ පිරිවෙන් අධ්‍යාපනය 1949 වර්ෂයේදී අවසාන කෙළේ ‘ශ්‍යාමරාජ’ ත්‍යාගයද දිනා ගනිමිනි.


    ඒ අතරම 1950 වසර මුලදී පැවති ප‍්‍රාචීන අවසාන (පණ්ඩිත උපාධි) විභාගයට පෙනී සිට ගෞරව පන්තියේ ලකුණු හා විෂය ත්‍යාගද සහිතව සමත්ව ප‍්‍රමුඛස්ථානයට පැමිණීමෙන් ‘ප‍්‍රාචීන ස්වර්ණ මුද්‍රිකාව’ ද දිනා ගත හැකි විය. දුර්ලභ ගණයේ ශාස්තී‍්‍රය විශිෂ්ටතාවක් වූ මෙය ජාතික වශයෙන් වැදගත්කමක් ඇති පුවතක් සේ ජනමාධ්‍යකරුවන්ද සැලකූ අතර එම වාර්තාව පසු දා දිනමිණ පුවත් පතෙහි මුල් පිටුවේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් ලෙස පළ කෙරිණි.


    1945දී කොළඹට පැමිණි තැන් පටන් ටිකෙන් ටික ඉංගී‍්‍රසි භාෂා ඥානය දියුණු කර ගෙන සිටි එතුමා 1951දී ඉංගී‍්‍රසි මාධ්‍යයෙන්ද ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිට ඉන් සමත් විය. එහෙත් විශ්වවිද්‍යාලය ප‍්‍රවේශ පරීක්ෂණය මගින් 1952 දී පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ යථෝක්ත විභාගයේ ප‍්‍රතිඵල ලැබීමටත් කලිනි. වෙනත් බොහෝ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ උපාධියක් ලැබීමට අවශ්‍ය වන ප‍්‍රමාණයේ දැනුමක් ලබාගෙන හොඳ රැකියාවකට අඩිතාලමක් ලෙසින් වුව, මෙතුමන් විශ්වවිද්‍යාලයට ඇතුළු වන විටත් පෙරදිග භාෂා සාහිත්‍යයන් පිළිබඳ හසළ දැනුමක් ඇතිව සිටි හෙයින් අවශ්‍ය වූයේ ඒ වන විට ලබා සිටි දැනුම තවත් ඔපමට්ටම් කර ගැනීමය. මේ කාරණය නිසාම ඔහු විශ්වවිද්‍යාලයේදී වැඩි අවධානය යොමු කළේ ඉංගී‍්‍රසි පොතපත කියවා පාණ්ඩිත්‍යය තහවුරු කර ගැනීමටය. 1956 දී බී. ඒ. ගෞරව විභාගයෙන් උසස් සාමර්ථ්‍යයක් ලැබීමත් සමගම එතුමාට විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ධුරයක් ලැබිණ.


    ඒ වකවනුව මේ රටේ සංස්කෘතික වශයෙන් ප‍්‍රබෝධයක් ඇති වූද, සිංහලය කෙරෙහි වැඩි අවධානයක් දැක්වූවා වූද සමාජීය පරිවර්තන යුගයක් වූයේය. ගංගොඩවිල රේවත මහාවිද්‍යාලයේ ආචාර්වරයකු ලෙස උදේ වරුවත් විද්‍යෝදය පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සවස් වරුවත් යෙදවීමෙන් මුළු කාලය ඉගැන්වීමේ කටයුතුවලම නිරත වූ එතුමාට වඩාත් කාර්ය බහුල කාල පරිච්ඡේදයක් ආරම්භ වූයේ 1958දී පමණය. පෙරදිග භාෂා ශාස්ත‍්‍ර අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථාන දෙකෙන් එකක් වූ විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කර ගැනීමේ ව්‍යාපාරය ආරම්භ වූයේ මේ අවධියේය. විද්‍යෝදය පරිවෙණාධිපති ධුරය දැරූ වැලිවිටියේ සෝරත නාහිමියන්ට සහාය වෙමින් කි‍්‍රයා කළ එතුමා 1959 පෙබරවාරි 19 වන දා විද්‍යෝදය විශ්වවිද්‍යාලය නිල වශයෙන් ආරම්භ කෙරුණ අවස්ථාවේ සිට එහි විභාග කටයුතු භාර සහාය ලේඛකාධිකාරි තනතුරට පත් වූයේය. ඊට අමතරව සිංහල පිළිබඳ කථිකාචාර්ය ලෙසින්ද කටයුතු කළ එතුමා ඒ මැයි මාසයේදී සිංහල අංශයේ ප‍්‍රධාන ධුරයටද ඔක්තෝබර් 1 දින සිංහල පිළිබඳ මහාචාර්ය සහ අධ්‍යයනාංශ ප‍්‍රධාන ධුරයන්ටද පත් වූයේය.


    එතුමා මහාචාර්ය තනතුරට පත්වීම සුදුස්සාට සුදුසු තැන ලැබීමක් පමණක් නොව දෛවෝපගත සිද්ධියක් ලෙසද වාර්තාගත විය යුත්තකි. විශ්වවිද්‍යාලයේ ආරම්භක අවධියේ සිංහල අධ්‍යයනාංශයේ ප‍්‍රථම මහාචාර්යවරයා ලෙස පත්වීම ලැබ සිටි තැනැත්තා පාණ්ඩිත්‍යයෙන් හා වයෝවෘද්ධභාවයෙන් සම්පන්න අයකු වුවත් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ශිෂ්‍ය පිරිස්වල අපේක්ෂා සපුරාලමින් විශ්වවිද්‍යාලය ක‍්‍රමයෙන් දේශන පැවැත්වීම ආදි කරුණුවලදී යම් යම් ගැටලු මතු වන්නට විය. මේ තත්ත්වයට එකම විසඳුම වූයේ ඒ වන විටත් ආචාර්යවරයකු වශයෙන් දක්ෂකම් පෙන්වා ශිෂ්‍ය පි‍්‍රයභාවයට පත් වී සිටි මෙතුමා ඒ තනතුරට පත් කරනු ලැබීමය.  විශ්වවිද්‍යාලයාධිපති සෝරත නාහිමියන් ඇතුළු පාලක පක්ෂය ගත් තීරණය අභිනව මහාචාර්යවරයාට අභියෝගයක් වුවත් ඒ අභියෝගය එතුමන් අතින් සිතුවාටත් වඩා හොඳින් සම්පූර්ණ වූයේය. එදා සිංහල අධ්‍යයනාංශයට සුදුසු ආචාර්යවරයන් තෝරා පත් කර ගැනීම, පාඨමාලා සැලසුම් කිරීම ආදි සියලූ කටයුතු සම්බන්ධයෙන් එතුමන් තුළ වූ අවබෝධය, කැපවීම හා දුර දක්නා නුවණ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය ලබන කීර්තියට හේතු වූවාට සැක නැත.


    1961 ඔක්තෝබර් සිට 1963 දෙසැම්බර් දක්වා යුනෙස්කෝ අධිශිෂ්‍යත්වයක් මත ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස් වාග්විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුවක් ලබමින් පර්යේෂණ කටයුතුවල යෙදුණ මහාචාර්යතුමාට ඒ ගමනේදී ඇමරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා පර්යේෂණවල නිරත වෙමින් පශ්චාද් උපාධි පුහුණුවක් ලැබීමටද අවස්ථාවක් ලැබිණ. එතුමා ඩෙන්මාර්ක්හි කෝපන්හේගන් රාජකීය ඩෙනිෂ් ඇකඩමිය මගින් සම්පාදනය කරනු ලබන විවේචනාත්මක පාලි ශබ්දකෝෂයේ සංස්කාරකවරයකු හා උපදේශකයකු වශයෙන්ද පත් කරනු ලැබුවේ මේ අවස්ථාවේදීය.


    විදේශීය පර්යේෂණ කටයුතු හා වෙනත් ශාස්තී‍්‍රය කටයුතු සාර්ථක ලෙස නිමවා, 1963 දෙසැම්බර් මස පෙරළා පැමිණ විශ්වවිද්‍යාලයේ වැඩ භාර ගැනීමෙන් පසු ඔහු විදේශයන්ගෙන් ලත් අත්දැකීම් නිසා අධ්‍යයනාංශයේ මෙන්ම භාෂා පීඨයේද කටයුතුවල අමුතු ප‍්‍රබෝධයක් ඇති වූයේය.     


    පූර්වෝක්ත විදේශ අධ්‍යයන - පර්යේෂණ චාරිකාවෙන් පසුව, තමන්ට හිමි සප්ත වාර්ෂික නිවාඩු ඇතුළු කිසිදු නිවාඩුවක් නොගෙන විශ්වවිද්‍යාලය සේවයට කැප වූ ඔහු 1988 වර්ෂයේදී තුන් මසක කෙටි නිවාඩුවක් ගත්තේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ භාෂා විද්‍යාගාරය ඇසුරින් සිංහලයේ ශබ්දවිචාරාත්මක ගැටලූ කීපයක් පිළිබඳව පර්යේෂණ කරන අතරෙහිම බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ අප‍්‍රකට ග‍්‍රන්ථ පරිශීලනය කරමින් පර්යේෂණ කිරීම සඳහාය.


    බලගල්ලේ මහාචාර්යතුමාගේ විශ්වවිද්‍යාලය සේවාව සමාලෝචනය කරතොත් වාර්තා කීපයක්ම තබා ඇති බව පෙනී යනු ඇත. වයස තිස්පහේදී මහාචාර්ය ධුරයට පත් වීම එක් වාර්තාවකි. එතුමා මෙසේ මහාචාර්ය ධුරයට පත් කොට ඇත්තේ විශ්වවිද්‍යාලයීය උපාධි මත නොව, ලක්දිව ප‍්‍රාචීන භාෂා ශාස්ත‍්‍ර අධ්‍යයනය හා ඍජුව පර්යේෂණවලදී අතිශය දීප්තිමත් වූත් දුර්ලභ වූත් වාර්තා තැබීමෙන් ප‍්‍රදර්ශනය කළ පාණ්ඩිත්‍යය විශ්වවිද්‍යාලයේ බලධාරීන් විසින් අවිවාදයෙන් පිළිගනු ලැබූ හෙයිනි. විශ්විද්‍යාලයීය උපාධිය ඔහුට එම අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳ පරිණත බව දක්වන සහතිකයක් පමණක් විය. එම මහාචාර්ය ධුරය පුරා දෙතිස් වසරක් දැරීම තවත් වාර්තාවකි.


    විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු සේවයෙහි නියුක්තව සිටියදී ඒ විශ්වවිද්‍යාලය මගින් සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීම ඉතා විරල සිද්ධියකි. එහෙයින් 1984 පැවති රජත ජයන්ති උපාධි ප‍්‍රදානෝත්සවයේදී ආරම්භයේ පටන් එතුමාගෙන් විශ්වවිද්‍යාලයට වූ සේවාව අගයමින් ඩී.ලිට්. (සම්මාන) උපාධිය පිරිනමනු ලැබීමද තවත් වාර්තාගත සිද්ධියකි. පෙරදිග භාෂාසාහිත්‍ය විෂයෙහි යම් ගැටලූවක් මතු වූ විටෙක උපදෙස් පැතුව මනා, සාකච්ඡා කළ  මනා, විමසුව මනා පුද්ගලයෙකු ලෙස විශ්වවිද්‍යාලයෙහි පමණක් නොව බැහැරද විද්වතුන් විසින්ද පිළිගනු ලැබීම එතුමන්ගේ පාණ්ඩිත්‍යය කියා පාන්නකි. එසේම, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙන්ම අනෙක් විශ්වවිද්‍යාලයවලත්, ප‍්‍රාචීන භාෂෝපකාර සමිතිය, ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුව ආදි ආයතනවලත් උසස් විභාග කටයුතුවලදී එතුමන්ගේ සේවය අත්‍යවශ්‍ය වූයේය. එතුමන් යටතේ  ශිල්ප හදාරා ශාස්ත‍්‍රවේදි, ශාස්ත‍්‍රපති සහ දර්ශනසූරී උපාධි ලැබ විවිධ ක්ෂේත‍්‍රයන්හි නියුක්තව සිටින දහස් සංඛ්‍යාත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ලැබෙන භක්තිපූර්වක ප‍්‍රණාමය එතුමන්ගේ සේවාවට උපහාරයක්ම වන්නේය.


    විද්‍යෝදය (ශී‍්‍ර ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලය ආරම්භයේ පටන් වරින්වර පවත්වන්නට යෙදුණ උපාධි උත්සවවල අංගයක් වශයෙන් විවිධ ක්ෂේත‍්‍රයන්හි විශිෂ්ටත්වයට පත් විද්වතුන් වෙත සම්මාන උපාධි පිරිනමනු ලැබූ අවස්ථාවන්හි ඒ උපාධිලාභීන් හඳුන්වා දීමේ දේශන වැඩි ගණනක් පවත්වා ඇත්තේ බලගල්ලේ මහාචාර්යතුමන් විසිනි. මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි (1980), මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමි (1981), තලල්ලේ ධම්මානන්ද නාහිමි (1982), ජී. බී. සේනානායක (1984), ආචාර්ය නන්දදේව විජේසේකර (1985), ආචාර්ය ආනන්ද ගුරුගේ (1986) යනාදි සම්මාන උපාධිලාභීන් හැඳින්වීමේ දේශන පිටපත් එක්තැන් වුව හොත් ඒ කෘතිය මේ රටේ මෑත යුගය අළලා සංගෘහීත ඓතිහාසික අගයෙන් අනූන, අගනා ධර්මශාස්තී‍්‍රය ග‍්‍රන්ථයක් වනු නොඅනුමානය.


    ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පළ කෙරෙන විද්‍යෝදය: විද්‍යා, කලා, භාෂා ශාස්තී‍්‍රය පර්යේෂණ සංග‍්‍රහයේ ප‍්‍රධාන සංස්කාරක වශයෙන් 1982 පටන් අවුරුදු පහක්ම කි‍්‍රයා කිරීම හා එම කාලය තුළ විශ්වවිද්‍යාලයේ රජත ජයන්තිය නිමිති කොට 1984දී සම්පාදිත පර්යේෂණ ලිපි හතළිහකින් හා පිටු පන්සිය ගණනකින් සමන්විත වූ රජත ජයන්ති විශේෂ කලාපයද ඇතුළුව නියමිත සියලු සඟරා කලාප අඛණ්ඩව පළ කරවීමද එතුමන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතුවලට දැක්වූ අනුග‍්‍රහයට තවත් සාධකයකි.


    ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මූලාරම්භක අවස්ථාවේ පටන් විශ‍්‍රාම යන මොහොත දක්වා අධ්‍යයනාංශ කමිටුව, පීඨ මණ්ඩලය, සනාතන සභාව, පාලක සභාව, පර්යේෂණ කමිටුව ආදි විවිධ මණ්ඩලවල කි‍්‍රයාකාරි ලෙස සේවය කර ඇති එතුමා තරම් විශ්වවිද්‍යාලය පිළිබඳ තතු දන්නා අන් කිසිවෙකු නොමැති බව ප‍්‍රකට කරුණකි. විශ්වවිද්‍යාලයේ මඟ සලකුණු පිළිබඳ එතුමන් සතුව ඇති මතකය ගැන තතු දත් කවරෙකුට හෝ පුදුම සිතෙනු නොඅනුමානය. විශ්වවිද්‍යාලයේ පාලන කටයුතු, නීතිරීති, අධ්‍යයනාංශ, ආචාර්ය මණ්ඩලය යනාදි කවර අංශයක් පිළිබඳව හෝ යම් අප‍්‍රකට තොරතුරක් දැන ගැනීම අවශ්‍ය වූ විටෙක බලගල්ලේ මහාචාර්යතුමන් විමසීම සාමාන්‍ය සම්ප‍්‍රදාය වී පැවතිණ.


    මේ රටේ උසස් අධ්‍යාපනය හා සම්බන්ධ සේවාවට අමතරව, බලගල්ලේ මහතාගේ භාෂාසාහිත්‍ය සේවාවේ අනෙක් අංශය නම් එතුමන් විසින් සම්පාදිත ග‍්‍රන්ථ සහ ලිපි සම්භාරයයි. (ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය අන් තැනක පළ වේ.) එතුමන්ගේ පළමු කෘතිය නම් 1950දී පළ කෙරුණු පංචතන්ත‍්‍ර අපරීක්ෂිතකාරකයේ අනුවාදය සහ විවරණයයි. ඊළඟ වර්ෂයේදී වැලිවිට අසරණ සරණ සරණංකර මහනාහිමි චරිතය නම් කෘතිය පළ කෙරිණ. 1958දී පළ වූ බෞද්ධ රාජධානි පිළිබඳ තොරතුරු නම් වූ පාහියන්ගේ දේශාටන වාර්තාව නම් පරිවර්තන ග‍්‍රන්ථයට යුනෙස්කෝ සාහිත්‍ය ත්‍යාගය හිමි විය.  1964දී සිංහල ස්තූපවංශ සංස්කරණය (මහාචාර්ය විමල විජයසූරිය මහතා සමග) පළ කෙරිණ. 1995දී පළ කෙරුණු භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය හා 1998දී පළ කෙරුණු සිංහල භාෂාධ්‍යයන  ඉතිහාසය යන ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ සඳහා අදාළ වර්ෂයන්හි රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි විය. සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය (1992),  සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනය (1996) හා මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්: සිංහලයේ වාග්විද්‍යාත්මක ස්වරූපය (2001) බලගල්ලේ මහාචාර්යතුමන්ගේ සෙසු ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ අතරින් විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඒවා සිංහල භාෂාවේ ඉතිහාසය හා ඓතිහාසික වාග්විද්‍යාව සම්බන්ධ විශිෂ්ට පර්යේෂණ වශයෙන් නම් කළ හැකි බැවිනි. පුවත්පත් ලිපි හා ග‍්‍රන්ථ විචාර හැරුණ විට මේ රටේ ප‍්‍රමුඛ ශාස්තී‍්‍රය සංග‍්‍රහයන්ට එතුමන් විසින් සපයන ලද ලිපි සංඛ්‍යාව විශාලය.


    භාෂාසාහිත්‍ය, අධ්‍යාපනය, සාහිත්‍ය විචාරය, දේශීය සංස්කෘතිය, ඉතිහාසය යනාදි විෂයයන් යටතේ ලියනු ලැබූ ලිපිවලට අමතරව වාග්විද්‍යාව හා සිංහල ව්‍යාකරණය යන විෂයට අදාළ ලිපි සමුච්චය විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ඒ ඒ මාතෘකාව යටතේ එතරම් ගැඹුරින් ලියැවුණු වෙනත් ලිපි නොමැති වන බැවිනි. ඒ අතර ‘සිංහලයේ සඤ්ඤක අකුරු’ (සංස්කෘති: මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි උපහාර අංකය, 1983) ‘සිංහල සාහිත්‍ය ඉතිහාසය සහ අන්තරාලීන ශිලා ලිපි’ (සංස්කෘති: 17, 1983), ‘නූතන අර්ථවිචාරය හා පුරාතන භාරතීය අර්ථවිචාරවාද’ (ජී. බී. සේනානායක ප‍්‍රභාෂණය, 1985), ‘ලක්දිව ප‍්‍රචලිත වූ සාහිත්‍ය ශාස්ත‍්‍රය හා අර්ථ විචාරය පිළිබඳ අදහස්’ (විද්‍යෝදය: ශී‍්‍ර සෝරත අනුස්මරණ විශේෂ කලාපය, 1978) යන පර්යේෂණ ලිපි විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ එතුමන්ගේ වාග්විද්‍යා ප‍්‍රාගුණ්‍යය කියා පාන බැවිනි.


    තවද, විශ්වවිද්‍යාලය ක්ෂේත‍්‍රයෙන් බාහිර ශාස්තී‍්‍රය මණ්ඩලයන්හි සම්මාන උපදේශකත්වය සහ සාමාජිකත්වය දරමින් එතුමන් අතින් පුළුල් සේවයක් සිදු වන බව සඳහන් කළ යුතු වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය, අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප‍්‍රකාශන උපදේශක මණ්ඩලය, පාරිභාෂික ශබ්දමාලා උපදේශක මණ්ඩලය, සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලය, ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම, බුද්ධ ශ‍්‍රාවක ධර්මපීඨ විෂය නිර්දේශ සම්පාදක මණ්ඩලය ආදිය ඉන් කීපයක් පමණි.


    මහාචාර්ය බලගල්ලේ මහතා අංග සම්පූර්ණ පඬිවරයෙකි. ප‍්‍රධාන වශයෙන් සාම්ප‍්‍රදායික පිරිවෙන් අධ්‍යාපනයෙන් පෝෂණය ලත් එතුමාගේ ශාස්ත‍්‍ර ඥානය, අවබෝධය, ආකල්ප සහ විචාර බුද්ධිය විශ්වවිද්‍යාලය ආශ‍්‍රය නිසා ඔපවත් වන්නට ඇත. මේ පසුබිම නිසාම ඇතැම් සාම්ප‍්‍රදායික ප‍්‍රාචීන පඬිවරයන් පිහිටන අත්තනෝමතික දෘෂ්ටියෙන් සීමා නොවී විවෘත ආකල්පයකින් කි‍්‍රයා කිරීම බලගල්ලේ මහාචාර්යතුමාගේ විශේෂ ලක්ෂණයකි.


    පාණ්ඩිත්‍යයෙන් පරිපූර්ණ එතුමා පිරිසිදු සිහිල් ජලයෙන් පිරි පොකුණකට සම කළ හැකිය. ඇල් දිය පතා ඒ පොකුණ වෙත එළඹෙන විදග්ධයන් මතු නොව සාමාන්‍ය විද්‍යාර්ථීන්ද ඥාන පිපාසය සංසිඳුවා ගෙන සෑහීමට පත්වීම අනිවාර්යයෙන් සිද්ධ වන්නකි. එතුමා වචනයේ පරිසමාප්තාර්ථයෙන් හොඳ මහාචාර්යවරයෙකි. ගුරුවරයෙකි. එතුමන්ගේ භාෂා අධ්‍යයන වාග්විද්‍යා දේශනවලට සහභාගි වන ශිෂ්‍ය ගණයාට ඒවා ඇතැම් විට තාවකාලික වශයෙන් බර පැටවීමක් සේ දැනුණත් කල් යාමේදී තත්වාවබෝධයෙන් ඒ දැනුම නිරන්තරයෙන් අර්ථවත් වන්නේය. සිසු කැල මෙසේ පවසති. එතුමා කාගේත් ප‍්‍රසාදයට පාත‍්‍ර වූ සත්පුරුෂයෙකි. ආත්මලාභය තකා අයුක්තියට අසාධාරණයට හෝ පක්ෂ භජනයට නොඑළඹෙන ප‍්‍රතිපත්තිගරුක සත්පුරුෂයෙකි. පෞද්ගලික හෝ පක්ෂ භජනයට නොඑළඹෙන ප‍්‍රතිපත්තිගරුක සත්පරුෂයෙකි. පෞද්ගලික ජීවිතයේදීද එතුමා හොඳ ස්වාමි පුරුෂයෙකි. පියෙකි. ආදරණීය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ එතුමන් ගත කරන්නේ සතුටින් හා සුවෙන් පිරි ජීවිතයකි.


    මේ ලිපිය ආරම්භ කෙරුණේ ප‍්‍රධාන වශයෙන් මහාචාර්ය බලගල්ලේ හා මා අතර පැවති පෞද්ගලික හිතවත්කම් ආශ‍්‍රයෙනි. ලිපිය අවසන් කිරීමටද ඒ ස්වරයම යෝග්‍ය බව සිතේ. මෙතැන් පටන් මා සටහන් කරන්නේ අප දෙදෙනා අතර පැවති පොදු ශාස්ත‍්‍රීය සම්බන්ධතා ගැන පමණි.  


    මා එතුමා වෙත වරින් වර යෝජනා කළ කරුණක් වූයේ, ඒ කර ගෙන ගියා වූ කටයුතුවලට අමතරව, ස්වකීය අධ්‍යාපන ඥාන සම්භාරය වාර්තාගත කෙරෙන පරිදි, මතු පරපුරේ ප‍්‍රයෝජනය සඳහා ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ කිහිපයක් සම්පාදනය කරන ලෙසය. එතුමා විවිධාකාර හේතු දක්වමින් එය අතපසු කෙළේය. කෙසේ වෙතත් 1990 අගදී විශ‍්‍රාම ලැබීමෙන් පසු ඒ යෝජනාවට එතුමාගේ අවධානය යොමු වූයේය. එතැන් පටන් එතුමාගේ විෂය ක්ෂේත‍්‍රය වන වාග්විද්‍යාව හා භාෂා අධ්‍යයනය මුල් කර ගෙන ප‍්‍රාමාණික ග‍්‍රන්ථ කිහිපයක් සම්පාදනය කරනු ලැබීම අපේ භාෂාසාහිත්‍යයේ භාග්‍යයකි.  මා ඉහතින් දැක්වූ භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය, සිංහල භාෂාධ්‍යයන  ඉතිහාසය ආදියත් සිංහල භාෂාධ්‍යයන ලිපි 1 නමින් සංගෘහීත ශාස්ත‍්‍රීය නිබන්ධ මාලාවත් ඉන් කිහිපයක් පමණි.  සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය හා සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනය මැයෙන් පළ වී ඇති, ප‍්‍රමාණයෙන් කුඩා වන නමුත් ශාස්ත‍්‍රීය අගය අතින් ඉහළ තැනක් හිමි කර ගන්නා කෘති දෙක ආරම්භයෙහි පටන් නූතන සන්නිවේදන ක‍්‍රම ආරම්භ වන කාලය තෙක් සිංහල භාෂාවේ විකාශනය පිළිබඳව ඓතිහාසික වාග්විද්‍යා න්‍යාය පදනම් කරගත් අධ්‍යයන දෙකකි. මින් දෙවැන්න මාගේ ආරාධනයක් පිළිගනිමින් සංස්කෘතික පුස්තිකා මාලා ග‍්‍රන්ථාවලිය සඳහා සම්පාදනය කරන ලද්දක් බවද කිව යුතුය.


    බලගල්ලේ මහාචාර්යතුමාගේ ජාතික මෙහෙවරේ තවත් ක්ෂේත‍්‍රයක් නම් ශබ්දකෝෂකරණයයි. සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලයෙහි සේවය කිරීමට අමතරව එතුමා සිංහල ශබ්දකෝෂයේ ප‍්‍රධාන කර්තෘ ධුරයද හෙබවූයේය. විශ‍්‍රාම ලැබීමෙන් පසු වැඩි වගකීම් භාර ගැනීමේ කැමැත්තකින් නොසිටි එතුමා සැබැවින්ම ඒ තනතුර භාර ගත්තේ (මා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ අවධියේ) මාගේ ඇවටිලි නිසාමය. බලගල්ලේ මහතා ඒ තනතුර දැරීම ඒ ආයතනයට ආභරණයක් වූයේය.
    බලගල්ලේ මහාචාර්යතුමාගේ පාණ්ඩිත්‍යයේ තවත් සුවිශේෂ ලක්ෂණයක් මම දකිමි. වයෝවෘද්ධ අවස්ථාවට පත් වන අප බොහෝ දෙනකුට බල පාන ප‍්‍රශ්නයක් නම් පෞද්ගලික අංශයේත් ශාස්ත‍්‍රීය අංශයේත් ඇතැම් වැදගත් කරුණු අමතක වීමේ රෝගයයි.  සිංහල, පාලි, සංස්කෘත, ප‍්‍රාකෘත ආදි භාෂාසාහිත්‍යයන් පිළිබඳව බලගල්ලේ මහතා සතු මතකය අදහා ගත නොහැකි තරම්ය. ව්‍යාකරණ ගැටලුවක් වේවා භාෂාසාහිත්‍ය ගැටලුවක් වේවා මතු වූ කල්හි කිසිදු පැකිළීමක් නොමැතිව, පොතපතින් පාඨ, පාලි ගාථා, සංස්කෘත ශ්ලෝක උපුටා දක්වමින් ගැටලු නිරාකරණය කිරීමේ ශක්තිය අතින් නම් එතුමා වයෝවෘද්ධ තත්ත්වයට පත් වී නොමැති සේය. සැබෑ ශාස්ත‍්‍රවන්තයා වයසට පත් නොවන්නේය. අමරණීයද වන්නේය.  



    av-suraweera mp මහාචාර්ය ඒ. වී. සුරවීර 

     

     


    වදනිසුරු මහැදුරු බලගල්ලේ                                                          


    ‘‘වදනිසුරු යනු සුරගුරුට මෙන් ම නානා භාෂා ශාස්ත‍්‍ර විශාරදයන්ට ද නමකි.’’ යනු පූජ්‍ය වැලිවිටියේ සෝරත හිමිපාණන් විසින් පූජ්‍ය හික්කඩුවේ සුමංගල නාහිමිපාණන් අරභයා ලියූ ලිපියක එන සඳහනකි. අප දේශීය පඬිවරුන් අතර විටින් විට පහළ වූ භාෂා ශාස්ත‍්‍ර විශාරද පරපුරට අයත් යැයි අද දින නොවළහා හඳුනා ගත හැක්කන් අතර මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සූරීහු නිසැකයෙන් ම සිටිති. එතුමාගේ විවිධ භාෂා විෂයක පාණ්ඩිත්‍යය මෙන් ම විමංසන බුද්ධිය ද ශාස්ත‍්‍රවන්තයන්ගේ පර්ෂදයන්හි ප‍්‍රකටය. එමතු ද නොව බලගල්ලේ සූරීහු අපේ සාම්ප‍්‍රදායික භාෂාධ්‍යයන සම්ප‍්‍රදාය නූතන වාග්විද්‍යා විෂය ක්ෂේත‍්‍රය හා සමඟ බද්ධ කළ විද්වතුන් කිහිප දෙනා අතරට අවිවාදයෙන් ම ගැණෙන්නෙක් ද වෙති.


    විසිඑක් වන සියවසේ මුල සිටින අප අපගේ සිංහල භාෂාධ්‍යයන ක්ෂේත‍්‍රය අද දින පවත්නා තත්ත්වය වෙත සපැමිණි ගමන් මඟ විමසා බැලූව හොත් එහි මෑත කාලීන මූලයන් දහනව වන සියවසෙහි දී ජනිත වූ පිරිවෙන් හා සමඟ සම්බන්ධ බව පැහැදිලි ව පෙනෙනු ඇත. වර්ෂ 1873 දී මාලිගාකන්දේ කුඩා ගොඩනැඟිල්ලක අරඹන ලද විද්‍යෝදය පිරිවෙන එම පිරිවෙන් අතර ප‍්‍රථම ආයතනය වේ. ඊට දෙවසරකට පසු පෑලියගොඩ ඇරඹුණු විද්‍යාලංකාර පිරිවෙන ද එදා සිංහල බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන ව්‍යාපාරයකට දායක වූවන් විසින් බිහි කරන ලද්දේ එක ම අරමුණ සහිත ව බැව් පෙනේ. මෙම පිරිවෙන් ආයතන දෙක ආරම්භයට පුරෝගාමි වූ පූජ්‍ය හික්කඩුවේ සුමංගල හිමියන් හා පූජ්‍ය රත්මලානේ ධර්මාලෝක හිමියන් ජාතික ආගමික නව ප‍්‍රබෝධයක් සඳහා යොමු වූයේ පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමියන් විසින් 1840 දශකයෙහි රත්මලානේ ශාස්ත‍්‍ර ශාලාවක් පිහිටුවා පැවිදි ගිහි තරුණ පිරිසක් දේශීය භාෂා සාහිත්‍ය සම්ප‍්‍රදායෙහි විද්වතුන් බවට පත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස බව ද ප‍්‍රකටය.


    විද්‍යෝදය පිරිවෙනෙහි හා විද්‍යාලංකාර පිරිවෙනෙහි භාෂා සාහිත්‍ය අධ්‍යාපනයෙහි පල නෙළා ගත් ශිෂ්‍යවරයන් විසින් දිවයිනේ නා නා ස්ථානයන්හි පිරිවෙන් රාශියක් පිහිටුවා ධර්ම ශාස්ත‍්‍රඥානය පතුරුවා ලීම දහනව වන සියවස අග දශකයෙහි දී හා විසි වන සියවස මුල දශකයෙහි දිස්වන කරුණකි. වැලිතර විද්‍යාභාෂ මන්දිරය (1884), මාතර ගුණරතන මුදලින්ද පිරිවෙන (1890), දොරණෑගොඩ සදානන්ද පිරිවෙන (1896), පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන (1900) ආදි වශයෙන් පිරිවෙන් රාශියක් බිහි වී වර්ෂ 1917 වන විට මනා ව ස්ථාපිත වූ පිරිවෙන් 62ක් දිවයිනේ විවිධ ස්ථානයන්හි බිහි වී තිබීම එදා සිදු වූ මහා ශාස්ත‍්‍ර ප‍්‍රබෝධය සඳහා නිදසුන් වේ.


    මෙම පිරිවෙන්වලින් සිදු වූ භාෂා ශාස්ත‍්‍ර අධ්‍යයනයත් එයින් ජනිත වූ ශාස්ත‍්‍ර විෂයක උද්‍යෝගයත් අතිමහත්ය. යටත්විජිත පරිපාලනය යටතේ හඳුන්වා දී තිබුණු නව තාක්ෂණය, ගමනාගමන පහසුව, සන්නිවේදන සැලසුම් විධි ආදිය උපයෝගි කර ගනිමින් දේශීය සංස්කෘතියෙහි අභ්‍යුදය සඳහා පියවර ගැනිණි. සම්භාව්‍ය සිංහල ගද්‍ය පද්‍ය කෘතීන් එතෙක් පැවතියේ අප‍්‍රකට පොත්ගුල්වල පුස්කොළ පොත් වශයෙනි.  


    මේ අවධියෙහි විසූ පැවිදි, ගිහි සිංහල පඬිවරුන් අතින් සැම වැදගත් සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ම සංස්කරණය වී මුද්‍රණද්වාරයෙන් නිකුත් වූයේ දස දහස් සංඛ්‍යාත පාඨකයන් අතට එම කෘතීන් ලබා දෙමිනි. දහනව වන සියවස අවසන් වන විට පිරිවෙන් අධ්‍යාපනයෙන් බිහි වූ විද්වතුන් කෙබඳු විශිෂ්ට පාණ්ඩිත්‍යයකින් හෙබි අය වූයේ ද යන්න 1886 දී පළ වූ රත්මලානේ ධර්මාලෝක හා ශිෂ්‍යවර රත්මලානේ ධර්මාරාම හිමි දෙපළ සංස්කරණය කළ ධර්මප‍්‍රදීපිකාව, 1899 දී මඩුගල්ලේ සිද්ධාර්ථ හිමියන්ගේ සංස්කරණයෙන් පළ වූ කව්සිළුමිණ පෙළ හා සන්නය 1889 දී එම්. ධර්මරත්න පඬිතුමා විසින් සංශෝධනය කොට පළ කරවන ලද විශුද්ධිමාර්ග සන්නය වැනි කෘතීන්ගෙන් පෙනේ. එසේ ම විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් විසින් සමකාලීන ව ඉතා ජනපි‍්‍රය සාහිත්‍ය ස්වරූපයන් වූ පුවත් පත් හා සඟරා සඳහා විශේෂ අනුග‍්‍රහයක් සැපයිණි. මූලික වශයෙන් ධර්ම ශාස්තී‍්‍රය වස්තු විෂයය ඇතුළත් සමය සංග‍්‍රහය (1873) සහ සත්‍ය සමුච්චය (1887) යන සඟරා මෙහි දී විශේෂයෙන් සඳහන් කළ හැකිය.


    විද්‍යෝදය පිරිවෙන ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද කීර්තියට පත් ආයතනයක් බවට පත් කිරීමට එහි සමාරම්භක මෙන් ම තදනන්තර ආචාර්යවරු සමත් වූහ. පූජ්‍ය හික්කඩුවේ සුමංගල හිමි, පූජ්‍ය හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමි, පූජ්‍ය මහගොඩ ඤාණිස්සර හිමි, පණ්ඩිත දොන් අන්දිරිස් ද සිල්වා බටුවන්තුඩාවේ පඬිතුමා, පූජ්‍ය බද්දේගම පියරතන හිමි ආදි සිංහල, පාලි, සංස්කෘත හා ප‍්‍රාකෘත භාෂාවන් පිළිබඳ විශාරද පාණ්ඩිත්‍යයෙන් හෙබි පඬිවරුන්ගේ අධ්‍යාපන හා ශාස්තී‍්‍රය සේවාව කෙබඳු වී ද යත් 1921 වර්ෂයේ දී දිවයිනේ ප‍්‍රථම නූතන විශ්වවිද්‍යාල ආයතනය වූ ‘සිලෝන් යුනිවර්සිටි කොලීජිය’ අරඹන අවස්ථාවේ එහි ප‍්‍රාචීන භාෂා ශාස්ත‍්‍ර උගැන්වීම සඳහා අවශ්‍ය විද්වතුන් මෙම ආයතනයෙන් ලැබිය හැකි යැයි පිළිගැන්මක් පැවති බව කියැවේ.


    මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සූරීන්ගේ භාෂා ශාස්ත‍්‍ර ඥානය එම විශිෂ්ට සම්ප‍්‍රදායයෙන් පෝෂණය වූයේය. පූජ්‍ය කුකුල්නාපේ දේවරක්ඛිත, පූජ්‍ය බොරුග්ගමුවේ රේවත, පූජ්‍ය බද්දේගම පියරතන, පූජ්‍ය වැලිවිටියේ සෝරත, පූජ්‍ය පලන්නොරුවේ විමලධම්ම, පූජ්‍ය දෙහිගස්පේ පඤ්ඤාසාර, පූජ්‍ය කලුකොඳයාවේ ප‍්‍රඥාශේඛර ආදි වූ කීර්තිධර පඬිවරුන් සෙවණෙහි ශාස්ත්‍රෝද්ග‍්‍රහණයෙන් ඔපවත් වූ පාණ්ඩිත්‍යයක් බලගල්ලේ සූරීන් සතු වේ.


    ප‍්‍රාචීන භාෂා ඥානයට අමතර ව ඉංගී‍්‍රසි භාෂා ඥානය ද ලබා ගත් බලගල්ලේ සූරීහු 1952 දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1956 දී බී. ඒ. ගෞරව උපාධිය ද ලබා ගත්හ. ප‍්‍රාචීන පණ්ඩිත උපාධියක් ලබා සිටි පඬිවරුන් අතුරෙන් මෙසේ නූතන අවදියට අවශ්‍ය උපාධියක් ද ලබමින් සම්ප‍්‍රදාය හා නවීනත්වය එකට යා කරවන හැකියාවක සමාරම්භය එතුමන් විසින් පිහිටුවා ගැනීම සිංහල භාෂාධ්‍යයන  ක්ෂේත‍්‍රයට මහත් ලාභයක් වූ බැව් කිව යුතු වේ.


    ප‍්‍රාචීන භාෂා විෂයෙහි එතුමාගේ විශිෂ්ට ඥානය ප‍්‍රකට කෙරෙන කෘතීන් ලෙස පඤ්චතන්ත‍්‍ර අනුවාදය (1950), සිංහල ස්තූපවංශය සංස්කරණය (මහාචාර්ය විමල විජයසූරිය සම`ග, 1964) ආදි පොත් හා ‘න්‍යාය බින්දුව හා බෞද්ධ න්‍යාය’ (සාහිත්‍යෝදය, 1949), ‘නූතන අර්ථ විචාරය හා පුරාතන භාරතීය අර්ථ විචාරවාද’, ජී. බී. සේනානායක ප‍්‍රහාෂණය, 1985), ‘පැරණි ඉන්දියාවේ සාහිත්‍ය විචාරය’ (සාහිත්‍යය, 1958), ‘ලක්දිව ප‍්‍රචලිත වූ සාහිත්‍ය ශාස්ත‍්‍රය හා අර්ථවිචාරය’ (විද්‍යෝදය: විද්‍යා කලා භාෂා ශාස්තී‍්‍රය සංග‍්‍රහය, 1978* ආදි ලිපි හැඳින්විය හැකි වේ.


    ඊට අමතර ව බලගල්ලේ සූරීන්ගේ සුවිශේෂ ශාස්තී‍්‍රය මෙහෙවර වී ඇත්තේ සාම්ප‍්‍රදායික සිංහල, පාලි, සංස්කෘත භාෂා ශාස්ත‍්‍ර පිළිබඳ වූ දැනුම් සම්භාරය නූතන වාග්විද්‍යා විෂයය අනුව භාවිතයට ගනිමින් ශාස්ත‍්‍රලෝකය සඳහා කළ සංග‍්‍රහය. එතුමන්ට ද ආචාර්ය වූ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි සහ මහාචාර්ය ඩී. ජේ. විජේරත්න යන විද්වතුන් විසින් ඇරඹුණු මෙම සුවිශේෂ මෙහෙවර බලගල්ලේ සූරීන් අතින් නව මං ඔස්සේ විහිදී ගිය බැව් කිව යුතු වේ. ‘සිංහල භාෂාවේ ඉතිහාසය ඇවිස්සීම’ (විදුදය, 1960), ‘සිංහලයෙහි අකාරයේ සංවෘත විවෘත භේදය’’ (හේන්පිටගෙදර ඤාණසීහ හිමි අභිස්තව සංග‍්‍රහය, 1976), ‘සිංහලයෙහි සඤ්ඤක අකුරු’ (සංස්කෘති, 1983), ‘වාග් විද්‍යාවේ ‘පදිම’ සංකල්පය පිළිබඳ විමර්ශනයක් හා සිංහලයේ පදිම පිළිබඳ වර්ගීකරණයක්’ (විද්‍යෝදය සමාජීය විද්‍යා සංග‍්‍රහය, 1989) යන ලිපිවලට අමතර ව සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය (1992), භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය (1995) යනාදි ග‍්‍රන්ථ කීපයක් එතුමා අතින් බිහි වී ඇත්තේ චිරන්තන ව පැවත ආ ප‍්‍රාචීන භාෂා ශාස්ත‍්‍ර ඥානය නව යුගයකට සරිලන සේ කෙසේ සකස් කර ගත හැකි ද යන්නට මනා නිදසුන් සපයමිනි. දැනට ශී‍්‍ර ලංකාවේ වෙසෙන පඬිවරුන් අතර පෙරපර දෙදිග භාෂාධ්‍යයන ශාස්ත‍්‍රයන් බලගල්ලේ සූරීන් මෙන් එක හා සමාන ව ගැඹුරින් දත් අන් කිසිවෙකු නැතැයි කීම අතිශයෝක්තියක් නොවේ.


    සිංහලයෙහි සම්භවය හා පරිණාමය යන විෂය ක්ෂේත‍්‍රය පිළිබඳ ව තුලනාත්මක වාග්විද්‍යා අධ්‍යයන ගණනාවක් විදේශීය පඬිවරුන් අතින් සිදු වී තිබේ. සිංහලය යනු ද්‍රාවිඩ භාෂා පවුලට අයත් භාෂාවකැයි යන අදහස ඇතැමුන් දරා සිටි අවදියක ඒ එසේ නොව අප බස ඉන්දු-ආර්ය භාෂා ගණයට අයත් බසකැයි යන මතය ශාස්ත‍්‍ර යුක්තියෙන් යුතු ව ස්ඵුට කිරීමෙහි ලා රස්මුස් රස්ක්, විල්හෙල්ම් ගයිගර්, මොහමඩ් සහිදුල්ලා ආදි විදේශීය පඬිවරුන්ගෙන් විශේෂ සේවයක් සිදු විය. සංස්කෘතය මෙන් ම විවිධ ප‍්‍රාකෘතයන් ද මනා ව අධ්‍යයනය කොට සිටි එම පඬිවරුන් සිංහලයෙහි මුල් ශිලාලේඛනයන්හි එන භාෂාව පිරික්සා එහි ඉන්දු-ආර්ය භාෂා ලක්ෂණ පෙන්නුම් කරන ප‍්‍රාකෘත ස්වරූපය හඳුනා ගත්තා පමණක් නොව පැරණිතම සිංහල ශිලා ලේඛනයන්හි භාෂාමය සාධක උත්තර භාරතයේ කුමන දේශයන්හි භාවිත ප‍්‍රාකෘත හා නෑකම් දක්වන්නේ ද යන්නත් විස්තර කර දී ඇත. මහාචාර්ය බගල්ලේ සූරීන්ගේ අධ්‍යයනයන් මඟින් මෙම විදේශීය පඬිවරුන්ගෙන් වූ දායකත්වය, ‘සිංහල භාෂාධ්‍යයනයට යුරෝපීය පඬිරුවන්ගෙන් වූ සේවය’, (විචිති, 1966 නොවැ., 88-113 පිටු.) යන ලිපියෙන් ද වඩාත් සවිස්තර ව ස්වදේශීය, විදේශීය ලේඛක නිරීක්ෂණ සහිත සිංහල භාෂාධ්‍යන ඉතිහාසය (1988) යන ග‍්‍රන්ථයෙන් ද පැහැදිලි කොට ඇත. ඉන් අනතුරුව මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්: සිංහලයේ වාග්විද්‍යාත්මක ස්වරූපය (2001) යන පරිවර්තන හා විවරණ කෘතිය මඟින් සිංහලය පිළිබඳ ව අධ්‍යයනය කළ යුරෝපීය පඬිවරුන් අතර අග‍්‍රස්ථානය ගන්නා ගයිගර්තුමා විසින් සිංහලයෙහි වාග්විද්‍යාත්මක ස්වරූපය ගැන ලියූ ලිපියක් පරිවර්තනය කරමින් එම පරිවර්තනයට ඉතා වැදගත් විස්තර හා විවරණ එකතු කරමින් කළ අධ්‍යයනය ඉතා විශිෂ්ට ශාස්තී‍්‍රය මෙහෙයක් වේ. මහාචාර්ය බලගල්ලේගේ මෙම විස්තර විවරණය වැදගත් වන්නේ 1940 දශකයෙහි දී සුබස සඟරාව මඟින් විද්වත් කුමාරතුංග මුනිදාසයන් විසින් ගයිගරයන්ගේ භාෂා අධ්‍යයනය දීර්ඝ විවේචනයට ලක් කොට ඇති අතර අන්‍ය සිංහල පඬිවරුන් විසින් ගයිගරයන්ගේ අදහස් එතරම් දුරට විමසුමට භාජන කොට නොතිබුණු ප‍්‍රකරණ තුළය. එමතු ද නොව බලගල්ලේ සූරීන් විසින් කුමාරතුංග පඬිවරයාගේ භාෂාධ්‍යයන පිළිබඳ විමර්ශනයක් ද නුවණ සඟරාවේ 1990 පළ වූ ලිපියකින් ඉෂ්ට කොට ඇත.


    සිංහල භාෂා ශාස්ත‍්‍ර අධ්‍යයනයෙහි අතීතය හා වර්තමානය එක් කරන පුරුක වන්නේ දහනව වන සියවස අග සිට විසි වන සියවස් මැද පමණ වන තෙක් කි‍්‍රයාත්මක වූ යතිවර පඬි පරපුරය. විද්‍යෝදය හා විද්‍යාලංකාර දෙපිරිවෙන ප‍්‍රධාන කොට ගොඩ නැඟුණු මේ භාෂා ශාස්ත‍්‍ර විශාරද භික්ෂූන් වහන්සේගේ ශාස්තී‍්‍රය සේවාව ඇගයීම සඳහා උන්වහන්සේ බොහෝ දෙනෙකු හා සමඟ ඇසුරු කොට ඇති බලගල්ලේ සූරීන් හා සමාන සුදුසුකම් ඇති අන්‍යයෙක් අද දින සිටිත් ද යනු සැක සහිත ය. තමන්ගේ මෙම සුවිශේෂ සුදුසුකම භාවිතයෙන් බලගල්ලේ සූරීන් විසින් සම්පාදනය කොට ඇති ලිපි ලේඛන රාශියකි. වර්ෂ 1999 පළ වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමාජ සංස්කෘතික සමීක්ෂා ග‍්‍රන්ථයට සැපයූ ‘ග‍්‍රන්ථකාරක සංඝපිතෘ පඬිවරු’ ලිපිය, 1964 පළ වූ ශ‍්‍රී සෝරත සාහිත්‍යය කෘතියට සැපයූ ‘ධර්මධර විනයධර දර්ශනධර බෞද්ධාචාර්යවරයාණෝ’ ලිපිය, 1965 සංස්කෘති ත්‍රෛමාසිකයේ පළ වූ ‘ශී‍්‍ර ලංකා විද්‍යෝදය විශ්ව- විද්‍යාලයේ පසුබිම’ ලිපිය හා 1984 දී විද්‍යෝදය විද්‍යා කලා භාෂා ශාස්තී‍්‍රය සංග‍්‍රහයෙහි පළ වූ ‘ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ දළ සටහනක්’ ලිපිය මෙන් ම 2009 වර්ෂයෙහි පළ වන නූතන සිංහල සාහිත්‍යයේ මඟ සලකුණු ග‍්‍රන්ථයේ පරිච්ඡේදයක් වන ‘පිරිවෙන් අධ්‍යාපනයෙහි හා ශාස්ත‍්‍රායතනයන්හි ආරම්භය හා ප‍්‍රස්තුතයට එහි දායකත්වය’ ලිපිය බලගල්ලේ සූරීන්ගේ එම විශේෂ ප‍්‍රදානය පදනම් කොට ගෙන සංගෘහීතය.  


    පෞද්ගලික ව මහාචාර්ය බලගල්ලේ සූරීන්ගේ පාණ්ඩිත්‍යයෙහි සුවිශේෂ ලක්ෂණයක් මෙහි ලා සඳහන් කළ යුතු ව ඇත. ඥාන පිපාසාවෙන් තමන් වෙත එන කවරෙකු  වුව ද තෘප්තිමත් කිරීමට සැදී පැහැදී සිටීමේ මහඟු දානවීර ගුණයයි. එතුමන් ගැන කලකට ඉහත ලිපියක් ලියමින් මහාචාර්ය ඒ. වී. සුරවීර සූරීන් පැවසූ අදහසක් මෙහි ලා උපුටා දක්වන්නේ එම මහඟු ගුණය එම වදන්හි මනාව විස්තර වී ඇති හෙයිනි.


    ‘‘පාණ්ඩිත්‍යයෙන් පිරිපුන් එතුමා පිරිසිදු සිහිල් ජලයෙන් පිරි පොකුණකට සම කළ හැකිය. ඇල් දිය පතා එම පොකුණ වෙත එළඹෙන විදග්ධයන් මතු නොව සාමාන්‍ය විද්‍යාර්ථීන් ද ඤාණ පිපාසය සංසිඳුවා ගෙන සෑහීමට පත් වීම අනිවාර්යයෙන් සිද්ධ වන්නකි.’’  


    prof kno dharmadasa  මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස

     


    භාෂාධ්‍යයන විෂයයෙහි මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සූරීන්ගේ දායකත්වය                  


    මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සූරීන් අද්‍යතන ශ‍්‍රී ලාංකේය භාෂා ශාස්ත‍්‍ර ක්ෂේත‍්‍රයෙහි ධරමාන ජ්‍යේෂ්ඨතම පඬිවරයා බව තත් ක්ෂේත‍්‍රීය විද්වතුන්ගේ අවිවාදාත්මක පිළිගැනීම වෙයි. එතුමන් අයත් වන්නේ ජේම්ස් අල්විස් පඬිරදුන්ගෙන් ඇරඹෙන, හික්කඩුවේ ශ‍්‍රී සුමංගල, රත්මලානේ ශ‍්‍රී ධර්මාරාම, වැලිවිටියේ ශ‍්‍රී සෝරත, යක්කඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාරාම, කලූකොඳයාවේ ශ‍්‍රී ප‍්‍රඥාශේඛර හා කෝදාගොඩ ශ‍්‍රී ඥානාලෝක යන ප‍්‍රවෘජිත විද්වතුන් හා ඩබ්ලියු. ඇෆ්. ගුණවර්ධන, කුමාරතුංග මුනිදාස, සෙනරත් පරණවිතාන, මාර්ටින් වික‍්‍රමසිංහ හා ඩී. ඊ. හෙට්ටිආරච්චි ආදි ගෘහස්ථ විද්වතුන් කිහිප පළක් පමණක් අයත් වන අතිදුර්ලභ ශාස්ත‍්‍රඥ පරපුරකට ය. ඉහතින් දක්වන ලද නාමාවලියෙහි අවසනට සඳහන් වුණු හෙට්ටිආරච්චි මහාචාර්යතුමා හැරුණු කල සෙසු සියලු දෙනාගේ එක් විශේෂ ලක්ෂණයක් වන්නේ නූතන ශාස්ත‍්‍රාලයීය සම්ප‍්‍රදායෙන් ලැබූ විධිමත් ශික්ෂණයෙන් තොර වීම යි. එසේ ද වුව ශාස්ත‍්‍රීය දායකත්වය අතින් මෙන් ම විද්වජ්ජන සංසදයන්හි පිළිගැනීමට ලක් වීම අතින් ද එය මේ විද්වතුන්ගේ ඌනිත ලක්ෂණයක් සේ කිසි සේත් නො සැලකුණු බව කිව මනා ය. හෙට්ටිආරච්චි සූරීන් නූතන ශාස්ත‍්‍රාලයීය සම්ප‍්‍රදාය විසින් බිහි කරන ලද විද්වතකු වූ අතර බලගල්ලේ සූරීහු සාම්ප‍්‍රදායික ශික්ෂණ සම්ප‍්‍රදාය හා නූතන ශාස්ත‍්‍රාලයීය සම්ප‍්‍රදාය යන උභය මාර්ගයෙහි විධිමත් ශික්ෂණය මෙන් ම අඛණ්ඩාභාසය ද ලබා ශාස්ත‍්‍රීය ලෝකය උද්දීප්තියට පත් කිරීමෙහි සමත් වූ සුදුර්ලභ පඬිරුවනකි.


    සමකාලීන විද්වතුන් විසින් මේ සුදුර්ලභ පාණ්ඩිත්‍යය සම්මාන-බහුමානනයට ලක් කළ ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් මෙහි ලා අපට සිහිපත් කළ හැකි ය. පළමු වැන්න අටතිස් වසරකට පෙර වියෝ වූ මහගම සේකර පිළිබඳ මතක සටහනක් ලියමින් මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් දක්වන ලද තමාත් මහගම සේකරත් අතර සිදු වූ කෙටි පිළිසඳරකිනි:


    ‘‘දවසක උදය වරුවේ ඔහු (මහගම සේකර) මා නැවතී සිටි විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ධර්මපාල ශාලාවේ මගේ කාමරයට ආවේ ය. මගේ පරණ සරම් කබලක් ඉණ වට දවටා ගෙන කාමරයේ පිටුපස බරාඳයට ගිය ඔහු  මගෙන්,

    ‘‘මගේ පුංචි වැඩක් තියෙනවා. කියවමු ද?’’ යි ඇසී ය.

    ‘‘කියවමු.’’

    ‘‘හැබැයි රජෝ පොතක් නෙවෙයි.  පොතක් වේවි පස්සේ. මේක සැකිල්ලක්.’’

    ...
    යම්තම් තැනක් දෙපළක් කපා කොටා අපි ඔහුගේ ආචාර්ය උපාධි සැකිල්ල පිටපත් තුනකින් සකස් කර ගත්තෙමු.

    ‘‘ඕක සුරවීර මහත්තයට යි බලගල්ලෙ මහත්තයට යි පෙන්නන්න, දෙන්න ඉස්සර වෙලා.’’

    (මහගම සේකර හා කලා නිර්මාණ, සංස්. එච්. එම් මොරටුවගම, 1978, කොළඹ,  130-131 පිටු.)


    ‘‘පාරිභාෂික වචන මෙන් ම විෂය කරුණු සම්බන්ධයෙන් ද ගැටලු මතු වී මා පැකිළෙන අවස්ථාවල ඒවා නිරාකරණය කර ගැනීමට’’

    ‘‘වචනයක නිශ්චිතාර්ථයක් හෝ පාරිභාෂික පදයක් හෝ පිළිබඳ ගැටලුවක් මතු වූ කල්හි ඒ සාකච්ඡා කරමින් ප‍්‍රශ්න නිරාකරණයට...’’
    යනුවෙන් මහාචාර්ය ඒ. වී. සුරවීර ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත‍්‍රය, 1984, කොළඹ, v පිටුව හා ලියෙප් තොල්ස්තෝයි, කලාව යනු කුමක් ද? 1987, කොළඹ, v පිටුව යන අවස්ථාවන්හි මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සතු භාෂා වෛශාරද්‍යය අගය කර ඇත.


    මේ අන්දමට සමකාලීන උගතුන්ගේ ප‍්‍රශංසාත්මක සඳහන් කිරීමට ලක් වූ විමල් බලගල්ලේ සූරීන්ගේ භාෂා ශාස්ත‍්‍රඥානයේ විශේෂත්වය වන්නේ එය සාම්ප‍්‍රදායික භාෂාධ්‍යයන ශික්ෂණ මාර්ගයේ කූටප‍්‍රාප්ත වීමෙන් අත්පත් කර ගත් හා නූතන භාෂාධ්‍යයන සම්ප‍්‍රදායන් මාර්ගයෙන් සුපෝෂිත වීම යි.


    බලගල්ලේ මහාචාර්යතුමා ග‍්‍රන්ථකරණයට ප‍්‍රවිෂ්ට වන්නේ 1950 තරම් අතීතයක ය. එතුමාගේ පළමු කෘතිය පඤ්චතන්ත‍්‍රයේ අනුවාදයක් වන අතර 1958 දී ප‍්‍රකාශිත දෙවැන්න  ෆාහියන් තෙරුන් වහන්සේගේ දේශාටන වාර්තාවේ අනුවාදයකි. මේ දෙක ම භාෂාධ්‍යයන ක්ෂේත‍්‍රයට සම්බන්ධ නුවූව ද භාෂාන්තර පරිවර්තන කාර්යයෙහි ආවශ්‍යක ප‍්‍රභව භාෂා හා ලක්ෂ්‍යය භාෂා ප‍්‍රාගුණ්‍යය ද භාෂාන්තර ඥානය ද හෙළි කර සිටී. පසු ව එතුමන් විසින් සිංහල භාෂාවේ ඉතිහාසය සම්බන්ධයෙන් මෙන් ම ඓතිහාසික වාග්විද්‍යාව, ශබ්දයෝගවිචාරය හා ශබ්දවිචාරය යන වාග්විද්‍යා විෂය ප‍්‍රදේශ අළලා ශාස්ත‍්‍රිය ලිපි හා ග‍්‍රන්ථ කිහිපයක් සම්පාදනය කරන ලදි.


    භාෂාධ්‍යයනය සම්බන්ධ ග‍්‍රන්ථ හා ලේඛන සම්පාදනයට බලගල්ලේ මහතා පිවිස ඇත්තේ 1964 දී ‘‘කුරුණෑගල යුගයේ සිංහල භාෂාව’’ මැයෙන් කොළඹ ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්තී‍්‍රය සංග‍්‍රහයට (1964, සංස්. දෙගම්මැද සුමනජෝති හා තවත් අය, කොළඹ, ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම, බු. ව. 2509/1965, 52-69 පිටු.) සපයන ලද ලිපියකිනි. මෙය ඍජු ව ම වාග්විද්‍යාත්මක විමර්ශනයක් නො ව සාහිත්‍ය කෘතීන්හි භාෂා ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරමින් සම්පාදනය කරන ලද්දකි.  


    1975 දී මාර්ටින් වික‍්‍රමසිංහ: කොග්ගල මහා ප‍්‍රාඥයා ලිපලි සංහිතාව සඳහා සම්පාදිත ‘මාර්ටින් වික‍්‍රමසිංහගේ වශ්‍යවචෝභාවය හා බස පිළිබඳ ඔහුගේ සංකල්ප’, (දෙහිවල, සීමාසහිත තිසර ප‍්‍රකාශකයෝ, 1975, 198-211 පිටු.) නම් ලිපියත්

    ‘ලක්දිව ප‍්‍රචලිත වූ සාහිත්‍ය ශාස්ත‍්‍රය හා අර්ථ විචාරය පිළිබඳ අදහස්’ මැයෙන් 1978 දී විද්‍යෝදය විද්‍යා කලා භාෂා ශාස්තී‍්‍රය සංග‍්‍රහය: ශී‍්‍ර සෝරත විශේෂ අනුස්මරණ අංකය. සඳහා සම්පාදිත ලිපිය හා  (සංස්. ගතාරේ ධම්මපාල, නුගේගොඩ, ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාලය, විද්‍යෝදය මණ්ඩපය, 1978, 25-50 පිටු) ‘නූතන අර්ථවිචාරය හා පුරාතන භාරතීය අර්ථ- විචාරවාද’ මැයෙන් 1985 දී  ජී. බී. සේනානායක ප‍්‍රහාෂණය (සංස්. රංජිත් අමරකීර්ති පලිහපිටිය සහ තවත් අය, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1985, 17-33 පිටු) සඳහා සම්පාදිත ලිපියත් අර්ථවිචාරය හා වාක් සංහිතා අධ්‍යයනය යන ක්ෂේත‍්‍ර නියෝජනය කරයි.


    සිංහල භාෂාව අළලා ශබ්දවිචාරාත්මක, ශබ්දයෝගවිචාරාත්මක හා පදකයෝග විචාරාත්මක අධ්‍යයනයන්හි නිරත වූ මහාචාර්ය බලගල්ලේ සූරීහු  1976 දී ‘සිංහලයෙහි අ කාරයේ සංවෘත විවෘත භේදය’ (හේන්පිටගෙදර ඥානසීහ මාහිමියන් වහන්සේට පිරිනැමෙන අභිස්තව සංග‍්‍රහය, සංස්. හේන්පිටගෙදර ඤාණාවාස හා කෝන්ගස්තැන්නේ ආනන්ද, කොළඹ, සීමාසහිත ගුණරත්න සහ සමාගම, 1976, 80-116 පිටු.) ලිපියත් 1983 දී ‘සිංහලයේ සඤ්ඤක අකුරු’ (සංස්කෘති ත්‍රෛමාසික සඟරාව:  හෙට්ටිආරච්චි විශේෂ අංකය, 17 කලා., 4 සඟ., 1983 ඔක්.-දෙසැ., සංස්. ඇස්. ජී. සමරසිංහ හා තවත් අය, කොළඹ, සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ අමාත්‍යාංශය, 43-68 පිටු.) නම් ලිපිය හා  1989දී  ‘වාග් විද්‍යාවේ ‘පදිම’ සංකල්පය පිළිබඳ විමර්ශනයක් හා සිංහලයේ පදිම පිළිබඳ වර්ගීකරණයක්’ (විද්‍යෝදය සමාජීය විද්‍යා සංග‍්‍රහය: මහාචාර්ය විමල් ජී. බලගල්ලේ උපහාර කලාපය, 3/1 හා 2, ජනවාරි-ජුලි 1989, සංස්. රත්න විජේතුංග සහ තවත් අය, නුගේගොඩ, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, 1992, 7-37 පිටු) මැයෙන් වන ලිපියත් පළ කරමින් එතෙක් සිංහල භාෂීය වාග්විද්‍යාත්මක අධ්‍යයනයන්හි සන්ධිස්ථානයක් සලකුණු කරයි.  මේ අධ්‍යයන ත‍්‍රයයෙහි ම ප‍්‍රකට ලක්ෂණයක් වන්නේ තත් ක්ෂේත‍්‍රීය නූතන වාග්විද්‍යාත්මක සිද්ධාන්ත හා න්‍යාය සමඟින් චිරන්තන භාරතීය ශාබ්දික මත ද තුලනාත්මක ව විමසමින් සිදු කරන ලද විමර්ශන යි.


    මෙයින්, ‘සිංහලයෙහි අකාරයේ සංවෘත විවෘත භේදය’ අළලා සම්පාදිත නිබන්ධය එම ශබ්ද ද්වයේ උච්චාරණය සම්බන්ධ සාම්ප‍්‍රදායික/ ස්වදේශික ආචාර්යවාද මෙන් ම වාග්විද්‍යාවෙහි ප‍්‍රචලිත ‘ශබ්දිම’ හා ‘උපශබ්ද’ සංකල්ප පළමු වරට සිංහලයෙන් විස්තෘත ව සාකච්ඡුා කරමින් තදාශ‍්‍රිත න්‍යාය මාර්ගයෙන් තත් ශබ්ද සම්බන්ධ විවරණයක් ඉදිරිපත් කරන්නකි. මෙහි ලා තවත් විශේෂත්වයක් වන්නේ සිංහලයේ මූලික ස්වර පිළිබඳ ප‍්‍රභාවලීලේඛ අධ්‍යයනයක් පදනම් කොට ගනිමින් සාධක දැක්වීම යි. මෙය සිංහලය සම්බන්ධයෙන් සිදු කරන ලද ප‍්‍රථම ප‍්‍රභාවලීලේඛ අධ්‍යයනය බව ද සඳහන් කළ යුතු ය. මේ අධ්‍යයනයෙන් සිංහලයේ අකාරයේ සංවෘත හා විවෘත උච්චාරණ උපශබ්ද දෙකක් බව තහවුරු කෙරෙන අතර සාම්ප‍්‍රදායික අක්ෂරමාලාවේ එකී හබ්ද නියෝජක සංකේත නොමැති වීමේ නිරවද්‍යතාව තහවුරු කරන අතර ම    නූතන අවශ්‍යතා සඳහා මේ ශබ්දයන්හි වෛශේෂිකත්වය දැක්වීමට  නව සංකේත අක්ෂරමාලාවට එක් කිරීමෙන් වැලකී යථායෝග්‍ය පරිදි විශේෂතා දර්ශක සංකේත භාවිතයේ වැදගත්කම ද අවධාරණය කෙරේ.


    ‘සිංහලයේ සඤ්ඤක අකුරු’ සම්බන්ධ අධ්‍යයනය ද සාම්ප‍්‍රදායික/ දේශීය ආචාර්යවාද තුලනයෙන් අනතුරු ව ශබ්දයෝගවිචාර න්‍යාය හා ප‍්‍රභාවලීලේඛ ද උපයෝගි කර ගනිමින් සිදු කරන ලද්දකි. මෙහි ලා ඓතිහාසික පරිණාමීය සාධක හා තුලනාත්මක සාධක ගෙන හැර දක්වමින් සඤ්ඤක අකුරු සිංහලයේ  වෛශේෂික ශබ්ද ගණයක් සේ හැඳින ගන්නා අතර ඒවා නියෝජනය සඳහා වන සංකේත සිංහල අක්ෂරමාලාවට ඇතුළත් කිරීමේ යුක්තියුක්තභාවය ද පෙන්වා දෙයි.


    මේ ශාස්ත‍්‍රීය ලිපි මාර්ගයෙන් විදාරණය කරන ලද නව දැනුමෙහි පදනම වූ වාග්විද්‍යා න්‍යාය හා සිද්ධාන්ත පිළිබඳ ව ඒකභාෂික විද්‍යාර්ථීන්ට මඟ පෙන්වමින් 1995 දී සම්පාදිත භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය (කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝත ද්විතීය සංස්කරණය, 2001. තෘතීය සංස්කරණය, 2008ත චතුර්ථ සංස්කරණය, 2012) කෘතියෙන් වාග්විද්‍යා හා සිංහල භාෂාධ්‍යයන ක්ෂේත‍්‍රයන්හි හා න්‍යාය හා මූලධර්ම පිළිබඳ පළමු වරට සිංහල භාෂාවෙන් ප‍්‍රාමාණික විවරණ ඉදිරිපත් කෙරෙයි. ‘සිංහල සාහිත්‍ය ඉතිහාසය හා අන්තරාලීන ශිලා ලිපි’ (සංස්කෘති ත්‍රෛමාසික සඟරාව, 17 කලා., 3 සඟ., 1983 ජුලි-සැප්., සංස්. ඇස්. ජී. සමරසිංහ සහ තවත් අය, කොළඹ, සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ අමාත්‍යාංශය, 9-28 පිටු) ලිපිය ඍජු ව ම භාෂා අධ්‍යයන විෂයයක් හා සම්බන්ධ නුවූව ද ශ‍්‍රී ලාංකේය විද්වතුන් අතර කුතූහලාත්මක මත විවරණයකට හේතු වී ඇති ‘අන්තරාලීන අභිලේඛන’ සම්බන්ධයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් දක්වන ලද මත සිංහල භාෂාවේ ඉතිහාසය සම්බන්ධ අධ්‍යයනයන්හි දී වැදගත් වන ආකාරය විමසුමට ලක් කරන්නකි.  


    සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනයත් ලෝක භාෂා අතර සිංහලය ස්ථාපනය කිරීමත් සම්බන්ධ විද්වත් සාකච්ඡාව සියවස් එකහමාරකට ද වඩා පැරණි වන අතර දේශීය හා විදේශීය විද්වතුන් රාශියකගේ අවධානය යොමු වූවක් ද වෙයි. තත් විෂය අළලා වරින් වර ශාස්ත‍්‍රීය ලිපි කිහිපයක් මඟින් මතවාද ඉදිරිපත් කළ මහාචාර්ය බලගල්ලේ සූරීන් මේ සම්බන්ධයෙන් ප‍්‍රධාන ග‍්‍රන්ථ දෙකක් පළ කොට ඇති අතර (සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය (කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1992, පිටු x + 76; ද්විතීය මුද්‍රණය, 1998, ප‍්‍ර. එම, පිටු x + 76; සංවර්ධිත නව සංස්කරණය, 2006, ප‍්‍ර. එම, පිටු xiv + 160) හා සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනය (සංස්කෘතික පුස්තිකා මාලා-5, සංස්. රත්නසිරි අරංගල හා උදේනි පද්මනන්ද දිසානායක, බත්තරමුල්ල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 1996, පිටු iv + 76)  විද්වතුන්ගේ ප‍්‍රමාණවත් අවධානයෙන් ගිළිහී ගිය, එහෙත් තත් විෂය සම්බන්ධ ප‍්‍රාමාණික ලේඛනයක් වන මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්ගේ 'The Linguistic Character of Sinhalese' නම් නිබන්ධයෙහි සිංහල පරිවර්තනය පළමු වරට සිංහල භාෂාධ්‍යයන විද්‍යාර්ථියා වෙත පිරිනමයි. ගයිගර්ගේ කෘතිය සඳහා සම්පාදිත සවිස්තර සංඥාපනයෙහි ලා ගයිගර්ගේ අධ්‍යයන හා ලේඛන කටයුතුත් සිංහල භාෂාව සම්බන්ධයෙන් මේ නිබන්ධනයෙහි ගයිගර් දක්වන අදහස් පිළිබඳ වත් සාකච්ඡා කෙරේ.


    සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය හා සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනය යන කෘති දෙකෙහි දී සිංහල භාෂා ව ප‍්‍රචලිත භාෂා කලාපයේ භාෂා පවුල්වල විස්තෘතිය හා ව්‍යාප්තිය සම්බන්ධ ඓතිහාසික හා වාග්විද්‍යාත්මක සාධක විමර්ශනයෙන් අනතුරු ව සිංහලයේ භාෂාමය ඥාති සම්බන්ධතා පිළිබඳ විවාදය  විධිමත් ව විවරණය කිරීමෙන් ඉක්බිති සිංහල භාෂවේ ඉතිහාසය යුගවලට බෙදීම සම්බන්ධයෙන් ප‍්‍රචලිත, ගයිගර් පඬිවරයා විසින් පළමු වරට යෝජනා කරන ලද යුග බෙදීම හා දෙවනු ව ගයිගර් විසින් ම සංශෝධිත, එහෙත් විද්වතුන්ගේ අවධානයට යොමු නො වූ යුග බෙදීම ද අධ්‍යයනය කරමින් සිංහල භාෂාවේ එක් එක් අවධියේ සුවිශේෂතා හා ප‍්‍රවණතා කෙරෙහි අවධානය යොමු කරමින් පළමු වරට සිංහල භාෂාව සඳහා විධිමත් යුග බෙදීමක් හඳුන්වා දෙයි.  සිංහල භාෂාව හා ඓතිහාසික වාග්විද්‍යා සිද්ධාන්ත සම්බන්ධයෙන් බලගල්ලේ මහාචාර්යතුමාගේ විදග්ධභාවය හා බුද්ධිපාටවය මෙමඟින්  අනාවරණය වෙයි.


    මෙහි ලා දෙවනුව සඳහන් කරන ලද කෘතියෙහි තවත් විශේෂතාවක් වන්නේ භාෂා පරිණාමයෙහි ලා වෙනත් සංස්කෘතික පසුබිමක් සහිත භාෂාවන්හි ආශ‍්‍රයය හා බලපෑම සම්බන්ධ  වාග්විද්‍යාත්මක න්‍යාය පදනම් කොට ගනිමින් සිංහලයේ ප‍්‍රවර්ධනය කෙරෙහි සංස්කෘතික සංස්පර්ශය මාර්ගයෙන් සිදු වූ භාෂාමය සංස්පර්ශය විග‍්‍රහයට ලක් කිරීම යි. සිංහලය හා සංස්පර්ශයට පැමිණි එක් එක් භාෂාවෙහි හා තදීය සංස්කෘතියෙහි විශේෂතා විග‍්‍රහ කරමින් ඒ එක් එක් භාෂාව සිංහලයේ ශබ්දයෝග, පදකයෝග, වාක්‍යවින්‍යාස හා අර්ථවිචාර යන පද්ධතීන්හි පරිණාමයට දායක වූ ආකාරය එහි ලා විවරණය කෙරේ. තදනන්තර ව නිදර්ශන වචන මාලාවක් ඉදිරිපත් කිරීමත් සංස්කෘතික සංස්පර්ශය හේතුවෙන් එක් වූ ඍණිත වචන සිංහල භාෂාවේ ප‍්‍රවර්ධනයට හා අර්ථව්‍යක්තියට හේතු වෙමින් භාෂා පරිණාමය සිදු වූ ආකාරය මෙයින් පළමු වරට සිංහල පාඨකයා අවබෝධ කර ගනී.


    දැනට අනූ වන වියට පා තබමින් සිටින බලගල්ලේ මහාචාර්යතුමන්ගේ විශේෂත්වය වන්නේ තව මත් අඛණ්ඩ ව පර්යේෂණ හා ලේඛන කාර්යයෙහි නිරත වීම යි. එහි ප‍්‍රතිඵලය වන්නේ අර්ථවිචාරය (Semantics) හා උපයෝගිතාවිචාරය (Pragmatics) සම්බන්ධ පළමු සිංහල ග‍්‍රන්ථයෙහි කර්තෘත්වය බලගල්ලේ මහාචාර්යතුමන්ට හිමි වීම යි. භාෂී  සන්නිවේදනය, අර්ථවිචාරය හා උපයෝගිතාවිචාරය මැයෙන් මේ වන විට මුද්‍රණය වෙමින් පවත්නා මේ කෘතිය ද වාග්විද්‍යාව නම් නූතන ඥානයෙහි මෙන් ම සාම්ප‍්‍රදායික භාෂාධ්‍යයන ශික්ෂණයෙහි ද  සංකලනයෙහි ප‍්‍රතිඵලයකි.


    වාග්විද්‍යාව තව මත් මෙරට සාම්ප‍්‍රදායික භාෂාඥයන් විසින් ආගන්තුක නැත හොත් ‘හානිකර’ ශික්ෂන මාර්ගයක් සේ සලකන බව ඇතැම් විට විවිධ මාධ්‍ය ඔස්සේ පළ වන අදහස්වලින් පෙනී යයි. මේ විද්‍යාත්මක ශික්ෂණයෙහි විපුල පල ලද හැක්කේ නූතන භාෂාධ්‍යයන ඥානය සමඟ සාම්ප‍්‍රදායික භාෂාධ්‍යයන ශික්ෂණය සමවාය සම්බන්ධයකට පැමිණවීමෙන් පමණක් බව බලගල්ලේ මහාචාර්යතුමන්ගේ භාෂාධ්‍යයන ග‍්‍රන්ථ අපට හෙළි කර සිටී. ඒ මාර්ගයෙහි ගමන් කළ එක ම විද්වතා වසයෙන් එතුමන් හැඳින්වීම පරම සත්‍යයකි.
        

    මහාචාර්ය රත්නසිරි අරංගල

    සංවර්ධනය යනු රටක සෞභාග්‍යය උදා කරවන්නකි. සෞභාග්‍යමත්, සමෘද්ධිමත් සමාජයක් තුළ දිවි ගෙවීමට මෙ ලොව  ඕනෑ ම පුද්ගලයෙකුගේ මානව අවශ්‍යතාවකි. සංවර්ධනය මානව සහ භෞතික යනුවෙන් දෙයාකාර වුවත් මිනිසුන්ගේ ආකල්ප, ගුණධර්ම සහ වටිනාකම් නැංවීම මෙහිලා සැලකෙන අතර මිනිසුන්ගේ ජීවන පරිසරය සුඛිත මුදිත බවට පත් කිරීම භෞතික සංවර්ධනය ලෙස සැලකේ. මෙරට සංවර්ධනයේ ස්වර්ණමය යුගයක් ඇතිකරමින් කොළඹ පැල්පත්වාසීන් එයින්  මුදවාගනිමින් ඔවුන් වෙනුවෙනුම දැන් සුවිසල් මන්දිර ඉදිවෙමින් පවතී.
    තවත් දිනයක් උදාවී තිබේ. පැහැබර අනාගතයක වරුණ මතුවේ. වැහැරී ගිය ශ්‍රමය යළි පුනර්ජීවනය කිරීමේ චින්තනය ඵල දරයි. වැලලී ගිය සම්පත් යළි උදාකර ගැනීමේ සංකල්පය මතුවේ. ගැමි ජනතාවගේ සැඟවුණු හැකියාවන් ප්‍රතිඋද්දීපන කිරීමේ ප්‍රාර්ථනාවන් දැන් විකසිත වෙමින් පවතී.
    සෑම දිනක පාහේ   පුවත්පත් වල පොල් ගෙඩි අකුරින් සිරස්තල සැකසෙනුයේ ලොවපූරා සිදූවන දරුණු මාර්ග  රිය අනතුරු සම්බන්ධයෙනි. මෙවැනි දරුණු අනතුරු නිතර නිතර වාර්තාකරණය වීම තුළින් අනිකුත් මාරාන්තික සහ මාරාන්තික නොවන බොහෝ අනතුරු යටපත් වී ඇත්තේ ඒවා සාමාන්‍ය දෛනික සිදුවීම් බවට පත්වී ඇති බැවිනි. දිනපතා 3400කට අධික මගීන් සංඛාවක් ලොව පුරා මාර්ග මත මියයන අතර දස දහස් ගණන් සදාකාලික අබාධිත තත්වයට පත් වේ. මාර්ග  අනතුරුවලට ගොදුරු වූවන්, ඔවුන්ගේ පවුල්, හිතමිතුරන් මෙන් ම ඔවුන් අයත් සමාජ ඒකකයටද   මෙවැනි සිදුවීම් මගින් සිදුවන හානිය ගණනය කළ නොහැකි තරම්ය.

    ශ‍්‍රී ලංකාව පාරිසරික විවිධත්වය සහ පාරිසරික පරිභෝජනය තුළ ඉතා ඉහළ අගයක් ගනී. දකුණු ආසියාතික රටකට ආවේණික වූ පාරිසරික ව්‍යාප්තිය සෑම බිම් අඟලක් පුරාවට ම පැතිර පවතින රටක් ලෙස ශ‍්‍රී ලංකාව හැඳින්විය හැකි වුවද මෙහි පවතින විශේෂත්වය වන්නේ, අන් ආසියානු රටවල්වලට සාපේක්ෂව සුවිශේෂී අන්‍යතා රැසකින් මෙරට පාරිසරික පද්ධතිය පැවතීමයි. අප ජීවත්වන වටපිටාව පරිසරය ලෙස සරලව ම හැඳින්විය හැක. නමුත් මෙම සරල අර්ථකථනයට එහා දිව ගිය ඉතා ගැඹුරු අර්ථයක් එකී මාතෘකාව විෂයෙහිලා පවතී.

    කමත

    නොවැම්බර් 06, 2014
    පුරාණයේ සිට කමතට අතිමහත් ගෞරවයක් හිමි විය. ඒ බුද්ධ බෝග ලබා ගන්නා ස්ථානය කමත වූ බැවිණි. ගොවියාගේ වී ඇට ටික රැස්කර දෙනු ලබන්නේ මෙම භූමියෙනි. මේ නිසා කමතේ හිමිකාරිත්වය බුදුන්වහන්සේට පැවරුණි. ඒ බව මෙම කවියෙන් ප්‍රකට ය.

    පළාත් පාලන ආයතනවල පරිපාලන හා සංවර්ධන කටයුතුවලට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ජනතාවට පළාත් පාලන මට්ටමින් ඵලදායී ලෙස සහභාගී වීම සඳහා වැඩිපුර අවස්ථා සැලසීමේ අරමුණු වඩාත් අර්ථගන්වමින් පළාත් පාලන ආයතන ලබා දෙන සේවාවන් පිළිබඳ තොරතුරු වගවීම ඇතුළත් ව පුරවැසි ප්‍රඥප්තිය සකස් කළ යුතු ව ඇත.

    අපිට සැඟවුණු න්‍යායපත‍්‍ර නැහැ. අපේ අනාගතය හැඩගස්වන්නට ඉන්න දරු දැරියන් අපේ ශිෂ්ඨ සම්පන්න, හික්මුණු, මනා විනයක් තිබෙන ත‍්‍රිවිධ හමුදාව ඇසුරට යොමු කරන්නට ප‍්‍රධානතම හේතුවත් ඒකයි.

    2014 දේශගුණික සමුළුව

    සැප්තැම්බර් 23, 2014

    1. පරිසරය, ආර්ථිකයන් සහ ලෝකය පුරා සිටින මිනිසුන්ගේ දෛනික ජීවිතවලට දේශගුණික විපර්යාස නිසා සිදුවන සැලකිය යුතු බලපෑම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පරිවර්තනීය විසඳුම් සෙවීම සඳහා පාරිසරික විපර්යාස ගැටලු ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් ව ඇත.

    කුමාර දිවියෙන් පහළට ඇද වැටී නිරා දුක් විඳ, යළිත් ඔටුනු අරා රජවන කතන්දර හැම රටකම ඇත. එවැනි චීන ජනකතා හෝ ඉතිහාස කතා මා නොදත් මුත් චීන ජනාධිපති ෂී චින්පිං (XI JINPING) මැතිතුමා 16 වැනි අඟහරුවාදා ශ්‍රී ලංකාවට එන්නේ එම ගණයේ සැබෑ කතන්දරයක් සනිටුහන් කරමින් බව සහතිකය.

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ නවතම සාමාජිකයා වශයෙන් (oneworld global airline alliance) සිය 35 වන සංවත්සරය කටුනායක ගුවන් සේවා මූලස්ථානයේදී අභිමානයෙන් අද (01) සමරනු ලබයි.

    වෙළෙඳ හිඟයේ සැලකිය යුතු අඩුවීමත් සමඟ 2014 ජුනි මාසයේ දී විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් වූ බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතැම් ආහාර මිල ගණන්වල ඉහළ යෑම පිළිබිඹු කරමින් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය පෙර මාසයේ පැවති 2.8% සිට 2014 ජූලි මාසයේ දී 3.6% දක්වා ඉහළ ගිය නමුත් එය තවදුරටත් තනි අංකයක මට්ටමේ පැවතුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අතර ඉල්ලුම් පීඩනය තුළින් ඇති වන මිල විචලනයන් පිළිබිඹු කරන මූලික උද්ධමනය 2014 ජූනි මාසයේ පැවති 3.5%ට සාපේක්ෂව 2014 ජූලි මාසයේ දී 3.7% දක්වා සුළු වශයෙන් වැඩි වී ඇත. අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සැපයුම් අවහිරතා ඇති විය හැකි වුව ද සාපේක්ෂ වශයෙන් ස්ථාවර ජාත්‍යන්තර වෙළෙඳ භාණ්ඩ මිල ගණන් මෙන්ම මනාව පාලනය වූ ඉල්ලුම් පීඩන සහ අඩු උද්ධමන අපේක්ෂා හේතුවෙන් ඉදිරියේ දී උද්ධමනය අඩු මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

    ගොවි ජනතාව අතර ඉපිද, ගොවි ජනතාව අතරම හැදී වැඩී එම ජනතාවගේ ම ආශිර්වාදයෙන්, 1994 අගෝස්තු මස 16 වෙනි දින පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන තිස්ස කරල්ලියද්ද මහතා දශක දෙකක් පුරාවට නුවර කලාවියේ අපරාජිත ජනතා හඬ බවට පත්වෙමින්, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නිකැළැල් දේශපාලන චරිතයකට හිමිකම් කියන්නේ ය.

    2014 ජූලි මාසය තුළ දී මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය සුවිශේෂී ප්‍රගතියක් අත්පත්කර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu