මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්තම පූජා වැඩසටහන ඇරඹුණු වගයි.

    මාර්තු 25, 2015

    නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම සඳහාත් මව්වරුන්ගේත් උපදින දරුවන්ගේත් මන්ද පෝෂණ තත්ත්වය නැති කර දැමීමේ ජාතික වැදගත්කම පිළිබඳවත් සිතා බලා ‘උත්තම පූජා‘ නම් ගර්භණී මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට පෝෂණ දීමනාව ලබා දීම ඉතා ඉහළ වටිනාකමක් සහිත වැඩපිළිවෙලක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය සෙනසුරාදා (21) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ළමා කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කළ ගැබිණි මවට ‘උත්තම පූජා - දරුගැබට නිසි පෝෂණය‘ යන මැයෙන් ගර්භණී මාතාවන්ට රුපියල් 20,000ක පෝෂණ දීමනාවක් ලබා දීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙලට සහභාගී වෙමිනි.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙසේ පැවසීය.

     

    “ගැබිණි මව්වරුන් වෙනුවෙන් පවත්වන පුළුල් ජාතික වැඩසටහන ‘උත්තම පූජා‘ වැඩසටහන විශේෂයෙන්ම මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයකින් කැපවීමකින් කටයුතු කිරීම සතුටුදායකයි. අපි අද ජාතික වශයෙන් ඉතාමත්ම වැදගත් කාර්යයක් සඳහා ප්‍රවේශයක්, ආරම්භක අවස්ථාවකට එක් වෙලා ඉන්නෙ. අපි පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනතාවට එක් පොරොන්දුවක් දුන්නා.

     

    අපි බලයට පත් කළොත් විශේෂයෙන්ම මව්වරුන්ගේ, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය උසස් කිරීම සඳහා පෝෂණ තත්ත්වය දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් කළ හැකි කළ යුතු වගකීම් ඉහළින්ම ඉටු කරනවා කියන ප්‍රතිඥාව අපි ලබා දුන්නා. ඒ අනුව පොදු මහජනතාව අපට විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා. එහි දී අපි රජයක් විදිහට ආණ්ඩුවක් විදිහට දින සියයක මුලින් කරන වැඩසටහන.

     

    ඒ වගේම අපි ඉදිරිපත් කළා ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. ආණ්ඩුවක් විදිහට රටේ අනාගතය වෙනුවෙන් පුළුල් ජාතික සැලැස්මක් ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත්ව. අපි අද ඒ දෙන ලද ප්‍රතිඥාවන් ඉෂ්ට කරමින් රටේ පොදු මහජනතාවගේ අවශ්‍යතාවයන්, විශේෂයෙන්ම ආර්ථික වශයෙන් අමාරුකම් තිබෙන, අඩු ආදායම්ලාභී ජනතාවට කළ හැකි කළයුතු ඒ සේවාවන් සඳහා ප්‍රමුඛත්වය දීලා වැඩකරන අවස්ථාවක්. ඒ වැඩසටහනට අලුත් ආණ්ඩුවක් විදිහට කරන ඉතාමත් වැදගත් ජාතික වැදගත්කමක් තිබෙන වැඩසටහනක් තමයි උත්තම පූජා වැඩසටහන. රෝසි සේනානායක ගරු අමාත්‍යතුමිය විශාල මෙහෙයක් ඉටුකරනවා. දරුවන් ඉන්න දරුවන් හදපු අම්මා කෙනෙක් හැටියට මේ විෂය සම්බන්ධයෙන් එතුමියට තිබෙන දැනුමත් සමග කටයුතු කිරීම ගැන අපි ඉතාමත් සතුටුවෙනවා. පළමුවෙනි වැඩසටහන ජාතික වැඩසටහන පොළොන්නරුවෙන් ආරම්භ කරන්නේ. හේමා ප්‍රේමදාස මැතිනියටත්එතුමිය ආරාධනා කළේ විශේෂයෙන්ම අපේ මව්වරු දැක බලාගෙන යන්න කියලා. මේ සියලුදෙනාම එකතු වෙලා අපේ මව්වරුන් වෙනුවෙන් ජාතික කාර්ය ආරම්භ කරන අවස්ථාව. පොළොන්නරුවෙන් ජනාධිපතිවරයෙක් පත්වීම නිසා පොළොන්නරුවට ලැබිලා තිබෙන වරප්‍රසාද ගත්තාම ජාතික වැඩසටහන්, වකුගඩු රෝගීන්ට ආධාර මුදල් දීම පොළොන්නරුවෙන් පටන් ගත්තෙ පී. හැරිසන් ඇමතිතුමා ඇවිල්ලා. මේ ජාතික වැඩසටහනත් පොළොන්නරුවෙන් ඉස්සෙල්ලාම පටන් අරන් තිබෙනවා. පොළොන්නරුවේ ජනතාවට ඉස්සෙල්ලාම මේ සලකන්නෙ. මේ රට භාර ගන්න මට පොළොන්නරුවේ තමුන්නාන්සේලා ලබා දුන්න ඒ ඓතිහාසික කාර්යයට යුතුකම් ඉෂ්ඨ කරන්න, කළගුණ සලකන්න තමයි අද මව්වරුන්ට උත්තම පූජා වැඩසටහන ක්‍රියාත්මක කරන්නෙත්. ගරු අගමැතිතුමා මේ ගැන කතා කළා. රෝසි සේනානායක ඇමතිතුමිය මේ ගැන කතා කළා. දිසාපතිතුමිය කතා කළා. ඔබ කවුරුත් දන්නවා මෙහි ඇති වැදගත්කම මෙතන ඉන්නවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාලා, විශේෂඥ වෛද්‍යවරු. ඒ වගේම මව්වරු වෙනුවෙන් විශේෂ කාර්යයක් කරන හෙද සේවයේ, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු ඒ කාර්ය මණ්ඩල ඔබේ දුක සැප මෙන්ම ඔබේ සෞඛ්‍ය තත්ත්වයද පරික්ෂා කර බලනවා. ඒ කාර්ය මණ්ඩල විශාල කැපවිමකින් තමයි ඒ කාර්යයන් ඉෂ්ඨ කරන්නේ. පසුගිය අවුරුදු පහක් සෞඛ්‍ය ඇමතිවරයා විදියට වැඩ කරන කොට මගේ අත්දැකීම්වලදී මම දන්නවා සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශවල මේ වෛද්‍යවරුන් ප්‍රමුඛව හෙද, පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් මොන කරම් කැපවීමකින් තම කාර්යය ඉෂ්ඨ කරනවාද කියන එක ගැන.

     

    මම හිතන්නෙ මොන වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තත් ගර්භනී මවිවරුන්ට හරිම ආදරෙයි ඒ හැම කෙනෙක්ම. මව්වරුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශාල හැඟීමකින් කටයුතු කරන්නෙ. විශාල දුෂ්කර කාර්යයක් තමයි ඔවුන් කරනු ලබන්නෙ. අව්ව, වැස්ස, පින්න, කැලෑව පිළිබඳව බලන්නෙ නැතිව කටයුතු කරන්නෙ. මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණ තත්ත්වය සැළකිල්ලට අරගෙන ජාතික වැදගත්කමක් විදියටයි. ඒ අනුව නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් මේ රටේ බිහිකිරීමේ අරමුණින් අභිප්‍රායෙන් අධිෂ්ඨානශීලීව මේ කටයුත්තට ආරම්භයක් දී තිබෙනවා.

     

    දැන් මව්වරුන්ගේ, දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයන් ගැන කතා කළා. අපේ රටේ දීර්ඝ කාලයක් යුද්ධය පැවති උතුරු ප්‍රදේශ මව්වරුන්ගේ මන්දපෝෂණය පිළිබඳව ඉහළ දත්තයන් වාර්තා වෙනවා. ඒ වගේම වතුකරයේ මව්වරුන්ගේ මන්දපෝෂණය ඉහළ තත්ත්වයකින් වාර්තා වෙනවා. මව්වරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය, දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය සැළකිල්ලට ගත්තාම රජයක් විදියට රජයේ ප්‍රධාන වගකීම තමයි ජනතාව ඒ තත්ත්වයෙන් මුදවා ගැනීම. රජයක් විදියට මව්වරුන්ගේ හා දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව ඉහළ පුමුඛත්වයක් දී කටයුතු කරන්නෙ ඒ නිසායි. මම ඉතා සතුටුවෙනවා මෙවැනි වැදගත් කාර්යයකට සම්බන්ධවීමට හැකිවීම ගැන. මේ සඳහා දක්වන කැපවීම, උත්සාහය, උනන්දුව අගය කරනවා. මේ කාර්ය මණ්ඩලවලට ඒ කාර්යයන් නිසි ලෙස ඉටු කරන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා. මාසිකව ලබා දෙන මෙම පෝෂණ මල්ල එය ඉතාම පිරිසිදුව, ඉතා ඉහළ ප්‍රමිතියකින් යුක්තව ලබාදීමට ඒ කාර්ය මණ්ඩලවල වගකීමක්. රජයක් විදිහට ගන්නාවු යම් යම් තීන්දු තීරණ, ප්‍රතිපත්තිමය තීරණ පවතින රජයන් හා නායකත්වයන් කටයුතු කිරීමේ දී ජනතාව අතරට යන විට ඒ ජනතාව අතර ප්‍රායෝගික කාර්යයන් තියෙන්නේ එම කාර්යයන් කරන කාර්යමණ්ඩලවලට රාජ්‍ය නිලධාරීන්ට. මේ කටයුත්තේ විශාල වගකීමක් පැවරෙන්නේ සෞඛ්‍ය මණ්ඩලවලට. මේ පෝෂණ මල්ල කලට වේලාවට ලබාදෙන එක, එහි ප්‍රමිතිය, එහි වටිනාකම, එහි උසස් තත්ත්වය, එය හරියට තිබේනවාද යන්න ප්‍රධාන වශයෙන් ම වැදගත් වෙනවා. ඒක නිසා තමයි අවශ්‍ය සම්පත් මුදල් ලබාදීලා මේ කාර්යය ඉෂ්ඨ කරන විට අනිකුත් පහළ කාර්ය මණ්ඩල මේ වගකීම ඉතා හොඳින් ඉෂ්ඨ කරයි කියලා අපි විශ්වාස කරනවා.මේ මව්වරුන්ට සලකන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් ගම්බදව ඉස්සෙල්ලාම කුඹුරේ අස්වැන්න, බත්, කිරිබත් අපි පූජා කරන්නෙ බුද්ධ පූජාව තියල බුදුහාමුදුරුවන්ටයි. අපි දන්නව ගහක ගෙඩියක් ඉස්ඉස්සෙල්ලාම බුද්ධ පූජාවටයි යන්නේ. එහෙම නැත්නම් ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙ දානෙට තමයි පූජා කරන්නේ. ඉස්සෙල්ලම අස්වැන්න ගහකින් ඉස්සෙල්ලම නෙළන දේ පලතුරු හෝ එළවළු වේවා බුදුන්නට පූජා කරනවා. ගමේ පන්සලේ හාමුදුරුවන්ට පූජා කරනවා. ඊළගට දෙන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මලාටයි. බුදුන් පුදන කොටත් මුල් ආහාරය ගමේ හාමුදුරුවන්ටත් මුල් ආහාරය පූජා කරන්නේ. ඊළඟට දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙකුටයි මුල් ආහාරය. ගැබිනි මාතාවන්ට මුල් ආහාරය දෙනවා "ආ මේක රසවිදින්න" කියලා. ඒ රසවිදින්න ගැබිනි මාතාවන්ට තිබෙන ආශාව ගැන හිතලා ඉතා ඉහළ ඇල්මකින් පිළියෙළ කරන්නේ. විශේෂයෙන්ම මව්වරුන්ගේ මන්දපෝෂණය වළක්වන්න ඔවුන්ගේ පෝෂණ තත්ත්වය උසස් කරනවා වගේම මව්වරුන්ට මතෘත්වය සදහා සෙනෙහෙබරව කටයුතු කරන ආකාරය ගැනත් ගරු කටයුතු ලෙස සැලකිය යුතු ආකාරය පිළිබදව ප්‍රධාන වශයෙන් ම අපේ වැදගත් කම්, වටිනාකම් ආරක්ෂා වෙන්න මාතෘත්වය තමයි විශිෂ්ට වෙන්නේ. මාතෘත්වය තමයි මුළු සමාජයක් ගොඩනගන්නෙ. මව්වරුන්ගේ තිබෙන තිබෙන සෙනෙහස, ආදරය, ගෞරවය, සුරක්ෂිතභාවය වෙන කාගෙන්වත් දරුවෙකුට ලැබෙන්නේ නැහැ. ඒක නිසා මව හා දරුවා අතර තිබෙන සම්බන්ධතාවය වගේ ම මවක් රකින්න, පෝෂණය කරන්න ආණ්ඩුවක් විදිහට කටයුතු කරන්නේ. එක් පැත්තකින් පෝෂණය පිළිබඳව පහසුකම් සලසනවා වගේම මව්වරුන්ට ලබාදිය යුතු ගරුත්වය ලබාදීම සඳහායි.

     

    ඒ නිසා සමාජයේ යහපත් පැවැත්ම සඳහා මූලික අඩිතාලම, මූලික පදනම ලැබෙන්නේ මවගෙන්. අපේ රජය තම මාස තුනක් ගතවෙලා නැහැ. අපි ඉතාම අලුත් ආණ්ඩුවක් සියලු දේවල් අලුතින් හිතලා අලුතින් සැළසුම් කරලා අලුත් රටක් ගොඩනගන්න ඒ සියලු කැපවීම් කරන්නේ.


    මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතා කරමින් මෙසේ පැවසීය.


    ගැබිනි මවට උත්තම පූජාව පිළිබඳ ව අපේ රෝසි සේනානායක ඇමතිතුමිය කතා කළා. අපි අද ගන්නේ වැදගත් පියවරක් පළමුවතාවට ගැබිනි මව්වරුන්ගේ පෝෂණය වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාරවේලක් ලබාදෙන්න රුපියල් විසිදහසක පෝෂණ මල්ල ලබාදීම මේ රටේ අනාගතය වෙනුවෙන් ආරම්භ කර තිබෙනවා. අඩුබර දරුවන් මේ රටේ බිහිවීම තුරන් කරන්න මේය ආරම්භ කර තිබෙනවා. මම හිතන්නේ නෑ වෙනත් රටවල්වල මෙහෙම වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා කියා.

     

    ඊට පස්සෙ අපි නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය තිබුණට එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එය ආරම්භ කරන්න තිබෙනවා. මව්වරුන්ට තිබෙන විශේෂ ප්‍රශ්නවලට තමයි අපි මෙතනින් පුළුවන් හැටියට විසඳුමක් ලබා දෙන්නෙ. අඩු බර දරුවන් මේ ලංකාවේ ඉපදීම නැති කරන්න නම් ඒ මව්වරුන්ටත් රටේ ජනතාවටත් අතේ මුදල් තියෙන්න ඕන. ජීවන වියදම වැඩිවෙන්න වැඩිවෙන්න අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩුවෙනවා. එනිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වීම නිසා ඒ ජීවන බර අඩු කරන්න තමයි අපි පළමුවෙන්ම තෙල් මිල අඩු කළේ. එය දැන් ආර්ථිකයෙන් ගලා ගෙන එනවා. ඇත්ත වශයෙන්ම හෙජින් ගිවිසුම තිබුණෙ නැතිනම් මීටත් වඩා අඩු කරන්න තිබුණා. පරණ පව් වලට අපට ගෙවන්න සිදුවෙලා තියෙනවා.

     

    අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල අපි අඩු කරලා තියෙනවා. ඒ වගේම මේ රටේ මුදල් නැතිව ආරම්භ කරපු වැඩ කටයුතු වලට ගෙවන්න තිබුණෙ නැත්නම් මීටත් වඩා සහන ලබා දෙන්න තිබුණා. අපට තිබෙන ප්‍රශ්නය ඒකයි. ඒ ප්‍රශ්න නැතිනම් මීට වඩා සහන දෙන්න පුළුවන්. ගොවීන්ට වී කිලෝවකට රුපියල් පනහක් දක්වා සහතික මිල වැඩි කරලා තියෙනවා. කිරි ලීටරයකට රුපියල් දහයකින් මිල වැඩි කරලා තියෙනවා. අර්තාපල් වෙලදාම ආරක්ෂා කරල තියෙන්වා. තේ හා රබර් සුළු ඉඩම් හිමියන්ට ආධාර කරනවා. මේ හැම එකක්ම කරන්නේ ඔබ ජීවත් කරවන්න. ජීවන බර අඩු කරන්න. විශාල වියදම ආණ්ඩුව බාර අරගෙන දවස් සීයේ වැඩසටහන වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා. රෝසි සේනානායක ඇමතිතුමිය විශාල කැපවීමක් කරනවා. අමාත්‍යාංශය ඇති කළාම මේසයක්වත්, පුටුවක්වත්, බංකුවක්වත් තිබුණෙ නෑ. කාමරයක්වත් තිබුණෙ නෑ.

     

    මේ අදහස අපට දවස් සීයේ වැඩසටහනට ලබල දුන්න චන්ද්‍රා චැප්ටර් ශාප්ටර් මැතිතුමාටත් මා විශේෂ ස්තූතිය ප්‍රකාශ කරනවා. දවස් සීයේ වැඩසටහන අරඹන කොට සමහරු ඇහුවා කෝ සල්ලී කියලා. මේ ඔක්කොම බොරු කියලා. සල්ලි ප්‍රශ්නයක් තිබෙනවා. සල්ලි ඔක්කොම පිටරට යවලයි තිබුණේ. ලංකාවෙ තිබුණෙ නෑ. සල්ලි නොතිබුණත් ඒ වැඩේ අපි දැනට කරගෙන යනවා. ඔබට මේ ඔක්කොම කරන්න පුළුවන් වුනේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති නිසා කියලා කියන්න කැමතියි. එතුමා පොදු අපේක්ෂකයා වෙලා ජීවිතය ආපසු අමතක කරල ආවේ. එතුමා ආවාම අපට ඔක්කොම එකතු වෙලා මේ කටයුත්ත කරන්න පුළුවන් වුනා. දවස් සීයේ වැඩසටහන කරන්න පුළුවන් වුනා. පඩි වැඩි කරන්න පුළුවන් වුනා. ඒ නිසා එතුමාට අපි ස්තූතිවන්ත වෙන්න උවමනායි. ඒතුමට ඒ ජන්දෙ දී පොලොන්නරුවේ ජනතාව විශාල ජයග්‍රහනයක් ලබල දුන්නා.ඒකට කෙළෙහි ගුණ සලකන්න මේක පොලොන්නරුවෙන් ආරම්භ කරන්නෙ.

     

    ඉන් පසු තවත් ප්‍රදේශ වල මෙය ක්‍රියාත්මක කරනවා. පක්ෂ භේදයකින් තොරව පොලොන්නරුවේ ජනතාව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරන්න ජන්දෙ දුන්නා. ඉතිං ඔබට ස්තූති කරන්නයි මේ වැඩසටහන මෙතනින් ආරම්භ කරන්නෙ. අපට මෙය කරන්න පුළුවන් වුනේ විවිධ මත තිබෙන පක්ෂ ඔක්කොම එකතු වෙලා වැඩකරපු නිසායි. අපි ඔක්කොම එක මතයක ඉන්නවා කියලා නෑ. වාද කර කර හරි ඉස්සරහට ගෙනිහිල්ලා තියෙනවා. අපි යන්නෙ අලුත් දේශපාලන සංස්කෘතියකට. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමග අපි එය ආරම්භ කරනවා. මේ ටික කරන්න පුළුවන් වුනා නම් දවස් 100ක් යන්න ඉස්සෙල්ලා මොකද්ද අපට කරන්න බැරි. අනාගතය තීන්දු කරන්න අලුත් දේශපාලනයේ යනව ද පරණ දේශපාලනයේ ඉන්නව ද අපි කෑගහල ගහගෙන අපේ සාක්කු පුරවගෙන ජනතාව දුප්පත් කරනවද නැත්නම් අමාරුවෙන් හරි අපි ඔක්කොම එකතු වෙලා මේ රටට වැඩ කරගෙන අපේ රටේ මූලික ප්‍රශ්න ටික විසඳල ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය විශාල ණය තියෙනවා ගෙවන්න. ඒ ප්‍රශ්න විසඳල අපේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ඇති කරල ඔබටත් හොඳ අනාගතයක් ඇති කරල ආදායම් දෙගුණයක් කරනවද නැද්ද කියල අපි හිතන්න ඕන. ඒක කරන්න පුළුවන් කියල අපි මෙතුමාගේ දවස් සීයේ වැඩසටහනෙන් අපි ඔප්පු කරල තියෙනවා.

     

    මම හිතන්නෙ දැන් කාලය හරි. අපි ඔක්කොම වෙන වෙන පක්ෂ වුනාට කොහොමද එකතු වෙන්නෙ කොහොමද ජනතාව වෙනුවෙන් පියවර ගන්නෙ කොහොමද කියල හිතන්න. දැන් අපිට විකල්ප දෙකයි තියෙන්නෙ. යූ.එන්.පී, ශ්‍රී ලංකා නෙමෙයි. සිංහල, දෙමළ නෙමෙයි. බෞද්ධ අනික් ආගම් නෙමෙයි. අලුත් ක්‍රමයකට ගිහින් අනාගතයක් හදාගන්නවාද පරණ ක්‍රමයට ගිහිං විනාශ වෙනවද කියල. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ලබා දුන්න ආදර්ශයට අරගෙන ඉදිරියට යමු.

    ළමා කටයුතු ඇමතිනි රෝසි සේනානායක මහත්මිය.

     

    මේ රටේ සමස්තයක් ලෙස සියයට දාසයයි දශම පහක් වුනාට අඩුබර දරු උපත් සංඛ්‍යාව සමහර දිස්ත්‍රික්කවල එය දහ අටක් බවට හඳුනාගෙන තිබෙනවා. ලංකාව පුරා ගැබිනි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට අඩුබර දරු උපත් ගැන කතා කරන කොට රට ඉතා අවදානම් තැනක තිබෙන්නේ. රටේ අද උපදින සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් කෙනෙක් උපදිනේ අඩු බරින්. අඩු බර දරුවන් ඉපදීමෙන් ඇති වන සංකූලතා ව්‍යාකූතාවන් අප්‍රමාණ අප දකිනවා. විශේෂයෙන් ම කායික, මානසික ව්‍යාකූලතාවන් ඉදිරි අනාගතයේ මේ රටේ සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක්කෙනෙකුට ඇති වෙනවා. ඒ කියන්නේ විශාල ප්‍රශ්නයකට අපට මුහුණ දෙන්න සිදු වෙනවා. සියයට දහසයයි දශම පහක් කිව්වත් සමහර ප්‍රදේශවල විශේෂයෙන්ම උතුරු නැගෙනහිරත් වතුකරයේත් මේ තත්ත්වය සියයට 18, 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා අපි දකිනවා. වතුකරයේ ගැබිනි මවකගේ මන්ද පෝෂණය හා නිරක්තිය සියයට 48.6යි. ඒ වගේ ම දරුවන් අතර මන්ද පෝෂණය මුල් ළමාවියේ දී උතුරේ සියයට 40.6ක් රාජ්‍ය දත්තවලින් පෙනෙනවා. නමුත් රාජ්‍ය නොවන සංවිධාන බිම්මට්ටමින් කළ සමීක්ෂණවලින් පෙනෙන උතුරු ප්‍රදේශයේ එය 50%, 55% දක්වා මන්ද පෝෂණය, දරුවන් කෘෂ වීම, දරුවන් කුරුවීම ඉතා සීග්‍රයෙන් වැඩිවෙමින් තිබෙනවා කියලා. බදුල්ල දිස්ත්‍රික්කයේ මොනරාගල ගත්තාම මන්ද පෝෂණය සියයට තිස් එකයි දශම පහයි. කෘෂ වීමත් කුරු වීමත් සියයට 38.5යි. මේ දත්ත දිහා බලන කොට අපේ රටේ අනාගතය භාර ගන්නා දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා නම් එය ඉතාමත් බරපතල ප්‍රශ්නයක්. මෙම තත්ත්වයෙන් අපේ රට මුදවා ගැනීමට නම් දරුගැබ කළලය ඇති වූ දා සිට පෝෂණය කරන්නේ කොහොමද කියන එක සොයා බැලිය යුතු කරුණක්. මම කණගාටු වෙනවා පසුගිය අවුරුදු විස්සක කාලයක් පුරාවට මේ රටේ ගැබිනි මව්වරුන්ගේ පෝෂණය, උපදින දරුවන්ගේ පෝෂණය ගැන හොඳ අධ්‍යාපනයකින්, හොඳ සෞඛ්‍ය සම්පන්න බවකින්, හොඳ මානසික තත්ත්වයකින් සිටින්නේද යන්න සොයා බැලුවා නම් මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නෑ.

    මෙම අවස්ථාවට දේශිය වෛද්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ආර්යාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    MAP

    uttama pooja 01

    uttama pooja 1

    uttama pooja 2

    uttama pooja 3

    uttama pooja 4

    uttama pooja 5

    uttama pooja 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya