ජූනි 17, 2019
tami eng youtube  twitter facebook
    logo

    ශී‍්‍ර ලාංකික ජනතාවගේ ආදායම් විෂමතාවය අඩු කොට, දිළිදු බව තුරන් කිරීම වත්මන් රජයේ ප‍්‍රධාන අරමුණයි

    මාර්තු 30, 2015

    ශ‍්‍රී ලාංකික ජනතාව අතර ආදායම් විෂමතාවය අඩු කොට දිළිදු බව තුරන් කිරීම වත්මන් රජයේ ප‍්‍රධාන අරමුණ බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය.

     

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ චිනයේ අද පැවති වාර්ෂික බොආඕ සමුළුවේ විශේෂ ආරාධිත දේශනය සිදු කරමිනි.

     

    ඵලදායි හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන සංවාදයක් ගොඩ නැගීම සඳහා ලෝක නායකයින් මෙන්ම ගෝලිය ව්‍යාපාරික ප‍්‍රජාව එකම වේදිකාවකදී මුණ ගැසෙන බොආ ඕ සමුළුව පැවැත්වුනේ චිනයේ හයිනෑන් ප‍්‍රාන්තයේ බොආඕ නුවරදීය.

     

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සිදු කළ දේශනය පහත පරිදි වේ.

     

    “මෙම උත්කර්ෂවත් සභාව හමුවේ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මම අතීශයින් සතුටට පති වෙමි. ඵලදායී හා අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක වන සංවාදයක් ගොඩ නැගීම සඳහා ලෝක නායකයන් මෙන්ම ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව ද එකම වේදිකාවක දී මුණ ගැසෙන මෙම බොආඕ සංසදය ඉතා තීරණාත්මක සංධිස්ථානයක් බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ආසියාවේ ජනතාවගේ සමෘද්ධිය හා සංවර්ධනය අප සියල්ලන්ගේම සාමුහික අරමුණ වන හෙයින් එම අරමුණ ළඟා කරගැනීම සඳහා මෙවැනි පාර්ශව අතර හමුවක් පැවැත්වීම මම අගය කොට සලකමි.

     

    වර්තමානයේ අප ගතකරමින් සිටින 21වන සියවස යනු ආසියාවේ සියවස බව ඉතා පැහැදිළි කරුණකි. පසුගිය දශක කිහිපය මුළුල්ලේ ආසියාවේ ඇති වූ පෙර නොවූ විරූ ආර්ථික වර්ධනය මඟින් ගෝලීය ආර්ථිකයේ බල කේන්ද්‍රය බටහිර සිට පෙර දිගට එක්තැන් කිරීමට සමත් වී ඇත. ආසියාවේ ආර්ථිකයන් කැපී පෙනෙන ලෙස හා අඛණ්ඩව වර්ධනය වෙමින් පැවතීමත්, ගෝලීය ප්‍රවණතාවක් න අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා මත යැපීමේ සංසිද්ධියක් හමුවේ ආසියානු රටවල් දසිය අසල්වාසී රටවල් සමඟ මෙන්ම ලෝකයේ සෙසු රටවල් සමඟ ද වඩාත් ඒකාබද්ධ වෙමින්, වඩා සංකීර්ණ සබඳතා පවත්වාගෙන යාමට උත්සුක වන අයුරු දක්නට ලැබේ. වර්තමානය වනවිට ආසියානු ව්‍යවසාය ගෝලීය ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන බලවේගය බවට පත් වී ඇත. ඒ අනුව මෙම වසරේ දී මෙම සංසදයේ තේමාව වන “ආසියාවේ නව අනාගතය, පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් උදෙසා“ යන පාඨය අර්ථාන්වික මෙන්ම කාලෝචිත ද වෙයි.

     

    නමුත් මෙවැනි වාසිදායක පසුබිමක් මධ්‍යයේ වුවද ආසියානු රටවල් මුහුණ දෙන සුවිශේෂ අභියෝගයන් ද තිබේ. ඒ අතර රටවල් අතර පවතින විවිධත්වය විශේෂ ව්. එනම් ආසියාවේ රටවල් පොදු ඓතිහාසික හා ශිෂ්ටාචාර බැදීම්වල විචිත්‍ර සංකලනයක් වුව ද, සමාජ-ආර්ථික සංවර්ධනය, භූගෝලීය පදනම හා ස්වාභාවික සම්පත් පිළිබඳව සලකා බැලීමේ දී එම රටවල් අතර විවිධත්වයක් ද දක්නට ලැබේ. එමෙන්ම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳව සලකා බැලීමේ දී ආසියාවේ විවිධ රාජ්‍ය අතර මෙන්ම එකම රාජ්‍යයක් තුළ ද සම්පත් බෙදී යාමේ පුළුල් විෂමතාවන් දක්නට ලැබේ. බිලියන 7.2ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති ලෝක ජනගහනයෙන් සියයට 60ක් පමණ වාසය කරන ආසියාව ලෝකයේ ජනගහනයෙන් වැඩි පිරිසකට නිවහන වී ඇති සේම, ලෝකයේ දිළිඳු ජනගහනයෙන් වැඩිම ප්‍රමාණයක් සඳහා ද නිවහනක් වී ඇත. අපගේ බොහෝ ආසියානු සමාජවල සමෘද්ධිමත් භාවය ඉහළ පරිභෝජනය හා වියදම් මඟින් පිළඹිබු වුවද ආදායම් විෂමතාව ද නිරන්තරයෙන් උග්‍ර වෙමින් පවතී. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද මෙය අවධානයට යොමු විය යුතු සංසිද්ධියකි. පසුගිය මාසයේ දී පැවති ජාතික දින උළලේ දී මගේ ජාතිය ඇමතීමේ කථාවේ දීද මම මෙම ගැටලුව පිළිබඳව අවධාරණය කළ අතර, ආදායම් විෂමතාව අඩු කොට, දිළිඳු බව තුරන් කිරීම මගේ රජයේ ප්‍රධාන අරමුණක් බවට ප්‍රතිඥා දුන්නෙමි.

     

    ආසියානු කලාපය තුළ අන්තර්-කලාපීය ආර්ථික ඒකාබද්ධතාව වැඩි දියුණු වීම මඟින් කලාපීය ආර්ථික සහයෝගීතාවයේ ද ඒ හා සමාන වැඩිවීමක් (විශේෂයෙන් ම පුළුල් මට්ටමකින්) සිදු වී නොමැත. එමෙන්ම අන්තර් කලාපීය ආර්ථික ඒකාබද්ධතාව වර්ධනය වී ඇති ප්‍රමාණයේ සැලකිය යුතු අසංතුලනයක් පවතී. ආසියානු කලාපය තවමත් සිය අපනයන් සඳහා විශාල වශයෙන් කලාපයෙන් පිටත වෙළඳපොළවල් මත යැපෙන අතර ඒ සඳහා කලාපය තුළින් සාර්ථක විකල්ප සොයා ගැනීම දුෂ්කර වී ඇත. අප සාමුහිකව ලබා ඇති එවැනි ආර්ථික සාර්ථකත්වය, ගෝලීය වෙළඳාම, ආයෝජන හා මූල්‍ය ක්ෂේත්‍රයන්හි දී සාමුහික හඩක් නැගිය හැකි මට්ටමකට පරිවර්තනය කර ගැනීමට දරන ප්‍රයත්නවලට මෙවැනි අසංතුළන බාධාවකි.

     

    මෙවැනි වාතාවරණයක් තුළ, අපට ආසියාව තුළ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් බිහි කළ හැක්කේ කෙසේ ද? දිළඳුබව තුරන් කර අපගේ ජනතාව වෙනුවෙන් සාමුහික හා තිරසාර වර්ධනයක් ළඟා කරගත හැක්කේ කෙසේ ද? ආසියානු ප්‍රජාව සතු විභවතාවන් පූර්ණ භාවිතයට ගැනීම සඳහා පෙළඹුමක් බවට ආසියානු ආර්ථිකයන් පත් කරන්නේ කෙසේ ද?

     

    මෙම ප්‍රශ්නවලට පිළිතුරු රැඳී ඇත්තේ අපගේ රටවල් තුළ ඇති සුවිශේෂතවෙන් පිළබඳව සැළකිලිමත් වෙමින් මෙම අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා යෝග්‍ය පොදු ප්‍රතිපත්ති ක්‍රමෝපායන් සකස් කිරීම තුළය. ආසියාවේ වර්ධනයට අදාළ ක්‍රමෝපාය පිළිබඳව නව කෝණයකින් සිතිය යුතු බවටත්, රාජ්‍යවල ප්‍රජාවන් අතර වඩා සහයෝගීතාවයකින් යුත් පාර්ශවකාරිත්වයක් ඇති කළ යුතු බවත් මෙමගින් යෝජනා කෙරේ. මෙම සහයෝගීතා ක්‍රියාවලියේ දී, ආසියානු ආර්ථිකයන් අතර ඇති විෂමතාවන් සැලකිල්ලට ගතයුතු වේ. සංචාරය, වෙළඳාම, සැපයුම් හා තාක්ෂණය සම්බන්ධයෙන් ජාතීන් හා ජනතාව අතර ඇති සම්බන්ධතා මගින් ආසියානු ඒකාබද්ධතාව හා සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීමෙහි ලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත. වෙළඳාම පහසු කිරීම හා තීරු බදු නොවන සීමා අඩු කිරීම මගින් මෙම සබඳතා වර්ධනය කිරීම සඳහා මනා පිටිවහලක් ලැබෙනු ඇත. අන්‍යොන්‍ය වශයෙන් දැඩිව එකිනෙකා මත යැපෙන හා අතීශයින් සංකීර්ණ වූ ලෝකයක් තුළ අපගේ ඉරණම තීරණය වන්නේ අප පිළපදින පොදු න්‍යාය පත්‍ර හා සාමුහික ක්‍රියාමාර්ග තුළිනි.

     

    ආසියානු ජාතීන්ගේ ප්‍රජාවක් තුළ එවැනි සහයෝගීතාවකට හා සාමුහීක ක්‍රියාකාරිත්වයකට ශ්‍රී ලංකාව ඇප කැප වී සිටින බව, මම මෙහිදී අවධෘරණය කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලාංකීය ජනතාව විසින් ජනවාරි 08 දින මා වෙත බලවත් වරමක් ලබා දෙන ලදී. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ, යහපාලනයේ, නීතියේ ආධිපත්‍යයේ හා සියලු දෙනාටම සමාන අවස්ථා ලබා දීමේ නව යුගයක් අපේක්ෂා කරන ජාතියක් ලෙස, රට ප්‍රගතියේ මාවතට ගෙන යාම සඳහාය. එය ඉටු කිරීම වෙනුවෙන් මගේ රජය ඉලක්ක ගත දින 100 යේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා මඟ පෙන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මෙන්ම සියලු ප්‍රජාවන් අතර කල් පවත්නා ජාතික සංහිදියාවක් ඇති කිරීම ද එම වැඩසටහනට ඇතුළත් වේ.

     

    ආසියානු-අප්‍රිකානු සහයෝගීතාව, දකුණු-දකුණු සහයෝගීතාව හා නොබැඳි පිළිවෙත සම්බන්ධයෙන් ක්‍රියාකාරී ලෙස කටයුතු කළ, ලෝකයේ ප්‍රථම පශ්චාත්-යටත් විජිත ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙසට ආසියාවේ සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතුව දීර්ඝ හා සාඩම්බර ඉතිහාසයක් ඇත. විදේශ ප්‍රතිපත්තියේ දී අපි මැදිහත් පිළිවෙතක් අනුගමනය කරන අතරම, සියලු ජාතීන් වෙත මිත්‍රත්වයේ හස්තය දිගු කරමින්, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සිදු කරන කටයුතු වලට ද නව ප්‍රවේශයක් ලබා දෙන්නෙමු. එමෙන්ම අසල්වැසි ආසියාතික රටවල් හා අප අතර පවත්නා විශේෂ මිත්‍රත්වය එමෙන්ම අසල්වැසි ආසියාතික රටවල් හා අප අතර පවත්නා විශේෂ මිත්‍රත්වය පෝෂණය කිරීමට ද අඛණ්ඩව කටයුතු කරන්නෙමු. පාලනය සම්බන්ධයෙන් අපගේ පිළිවෙත, ආසියානු උරුමයේ කොටසක් වන ථෙරවාද බුදු දහමෙස් මූලධර්ම මත ගොඩ නැගී ඇති අතර, ඒ අනුව අපගේ සියලු අසල්වාසීන් තමාගේම පවුල ලෙස සලකා ඔවුන් වෙත මෛත්‍රීයෙන් හා කරුණාවෙන් කටයුතු කිරීමට අපි පෙළඹෙමු. සාමූහික ප්‍රවේශයක් වන මෙමගින් විවිධත්වය හා බහුවිධභාවය ප්‍රවර්ධනය කරනු ලබයි. එමෙන්ම, භූගෝලීය වශයෙන් ස්වාභාවික ලෙස වාසි හිමි වී ඇති සමුද්‍රික ජාතියක්වන ශ්‍රී ලංකාව, සමුද්‍රික අංශයේ සහයෝගීතාව පවත්වාගෙන යාම පිණිස තම මිත්‍ර රටවල් සමඟ එක් වී කටයුතු කරනු ඇත.

     

    නැගී එන වෙළඳ පොළ ආර්ථිකයන් අතර සාපේක්ෂව ඉහළ වර්ධනයක් සහිත ආර්ථිකයන් ලෙස වර්තමානයේ ශ්‍රී ලංකාව හදුනා ගනු ලැබ තිබේ. මෑත වර්ෂවල ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මට්ටමින් සිදු වී ඇති සැළකිය යුතු වර්ධනය, මැදි ආදායම් රටවල ආර්ථික තත්වයන් හා සමාන කළ හැකිය. ඉන්දියානු උප මහද්වීපය තුළ සුලභ අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට බලාපෙරොත්තුවන රටවලට, දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම මෙන්ම ඉන්දියාව හා පාකිස්තානය සමඟ එළඹී ඇති නිදහස් වෙළඳ ගිවිසුම් ද වාසිදායක ලෙස යොදා ගැනීමේ හැකියාවක් පවතී. මේ වනවිට සාකච්ඡා මට්ටමේ පවතින, චීනය සමඟ අප එළඹීමට අපේක්ෂා කරන නිදහස් වෙළඳ ගිවිසුම මඟින් කලාපයේ ආර්ථික සහයෝගීතාව මෙන්ම එහි අලය වැඩි කිරීමටත් මහත් ජවයක් සපයනු ඇතැයි අපි විශ්වාස කරමු. ආසියාවේ අනෙකුත් රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජකයන් අතර ආසියානු රටවලට ප්‍රමුඛ ස්ථානයක් හිමිවන අතර, ලෝකය පුරා සිටින ආයෝජකයන් ආකර්ශණය කරගැනීමෙහි ලා ආයෝජන පරිසරය වඩාත් හිතකර තත්වයකට පත් කිරීම සඳහා රජය ප්‍රතිසංස්කරණ හදුන්වා දෙමින් සිටී.

     

    ඉතිහාසය මුළුල්ලේ, ආසියාව තමන්ගේම වූ හරයන් හා අනන්‍යතායක් ගොඩ නගාගෙන ඇත. සාමුහික යහපත සඳහා ආසියානු ප්‍රජාවට ඇති හැකියාව ප්‍රයෝජනයට ගැනීමට අප විසින් උත්සුක විය යුතු අතර, අපගේ සුවිශේෂී අනන්‍යතාවයන්ට සරිලන සංවර්ධනයේ මාවත හා ආකෘතිය පිළිබඳව අප විසින් සාමූහිකව සොයා බැලිය යුතුය. මෙම ප්‍රයත්නයේ දී අපට එකිනෙකාගෙන් පාඩම් උගත හැකිය. අපගේ අවසාන දැක්ම විය යුත්තේ පූර්ණ වශයෙන් ඒකාබද්ධ වූ හා එක්ව බැදුණු ආසියාවක් ලෝකය තුළ ස්ථාපිත කිරීමයි.

     

    මෙම සංසදය, පොදු ඉරණමක් සහිත ආසියානු ප්‍රජාවක් බිහි කිරීමේ අපගේ සාමුහික දැක්ම ළගා කර ගැනීම සඳහා වූ සංවාදයට උත්තේජනයක් ලබා දීමෙහි ලා මහඟු කාර්යභාරයක් ඉටු කරයි. අපලේ පොදු ඉතිහාසයේ සාරවත්බව හා අප ජනතාව සතු ප්‍රතිෂ්ඨාපන ශක්තීන් සලකා බැලීමේ දී මෙම කාර්යය අපහසු වූවක් නොවන බව මගේ විශ්වාසයයි.

     

    අවසාන වශයෙන්, 2015 ආසියාව සඳහා බොආඕ සංසදයෙන් සාර්ථක හා ඵලදායී ප්‍රතිඵල ලැබේවායි ප්‍රාර්ථනා කිරීමට මෙය අවස්ථාව කර ගනිමි“ යැයි පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය කතාව නිමා කළේය.

     

    SDF

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya