මාර්තු 24, 2019

tami eng youtube google twitter facebook

    අපෙන් සමු ගත් මහාචාර්ය තිස්ස කාරියවසම් - සැමරුමක් හා ඇගයුමක්...

    දෙසැම්බර් 05, 2014

    ස්වකීය කීර්තියශෝඝෝෂය ශේෂෝපගත කෙරෙමින් 2104 දෙසැම්බර් 04 වන දින පෙරවරුවෙහි අපෙන් සමු ගත් මහාචාර්ය තිස්ස කාරියවසම් සූරීන්ගේ ශාස්ත‍්‍රීය සේවාව ශ‍්‍රී ලාංකේය සංස්කෘතික ඉතිහාසයේ යුග දෙකක මෙන් ම සම්ප‍්‍රදාය දෙකක ද ප‍්‍රවර්ධනයෙහි යුගකාරක මෙහෙවරක සලකුණකි.


    සක‍්‍රිය විද්වතකු වසයෙන් සාහිත්‍ය, සන්නිවේදන, ලලිතකලා හා ජනශ‍්‍රැති ආදි ක්ෂේත‍්‍ර රාශියක පතළ සේවාවක් ඉටු කළ කාරියවසම් සූරීන් අඩ සියවසකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාලය ක්ෂේත‍්‍රයෙහි අධ්‍යයන හා පරිපාලන තනතුරු හොබවමින් ද ග‍්‍රන්ථකරණයෙහි නියැලෙමින් ද ඉටු කළ සේවාව මෙන් ම ජාතික තලයේ ආයතන ගණනාවක ප‍්‍රවර්ධනය විෂයයෙහි දක්වන ලද දායකත්වය ද ඒ අතරින් මුල් තැන් ගනී.


    සන්නිවේදනය, ලලිත කලා හා ජන කලා ආදි විෂය රාශියක පුරෝගාමි පර්යේෂකයකු වසයෙන් ආරබ්ධ ශාස්ත‍්‍ර ගවේෂණය ගුරු මුෂ්ටි නො තබා ඉදිරි පරපුර වෙත දායාද කිරීමෙන් නව අධ්‍යයන සම්ප‍්‍රදායයක් ස්ථාපනයෙහි තබන ලද පියවර ද අඩ සියවසක කාර්ය සාධනයෙහි ලා ඉතිහාසගත වන සලකුණක් වෙයි.


    1942 අගෝස්තු 23 වන දා ගාලු දිස්තිරික්කයේ බද්දේගම දී ජන්ම ලාභය කළ මේ විද්වතා තිඹිරිගහගොඩ සිංහල මිශ‍්‍ර පාසල, පිලගොඩ මහා විද්‍යාලය හා බද්දේගම ශ‍්‍රී රතනසාර විද්‍යාලය යන පාසල්වලින් අධ්‍යාපනය ලබා 1959 දී අභිනවයෙන් ආරම්භ කරන ලද විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත් වූයේ ය. වසරකින් පසු ව ඉන් ඉවත් ව පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට හේ තීරණය කෙළේ ය. පේරාදෙණියේ දී සරච්චන්ද්‍ර, හෙට්ටිආරච්චි, පී. ඊ. ඊ. ප‍්‍රනාන්දු ආදි කීර්තිධර මහාචාර්යවරුන් වෙතින් චිරන්තන හා නූතන භාෂා සාහිත්‍යය හැදෑරීමෙන් කාරියවසම් තරුණයාගේ අනාගත ශාස්ත‍්‍රීය ජීවිතයෙහි පදනම සකස් විය. ලංකා ඉතිහාසය හා පුරාවිද්‍යාව අනුවිෂය කොට ගනිමින් සිංහල පිළිබඳ ගෞරව (බී. ඒ.) උපාධිය හදාළ හෙතෙම 1964 දී ලංකාවිශ්වවිද්‍යාලයෙන් දෙවන පෙළ ඉහළ සාමර්ථ්‍යයක් හිමි කර ගත්තේ ය. අනතුරු ව ආචාර්ය ගණනාථ ඔබේසේකර යටතේ මානවවිද්‍යාව හැදෑරීමට යොමු වූ කාරියවසම් තරුණ ශාස්ත‍්‍රවන්තයා ලක්දිව ශාන්තිකර්ම අධ්‍යයනයට යොමු වූයේ යක් තොවිල් හා සිංහල සමාජය මැයෙන් 1968 දී සිය ශාස්ත‍්‍රපති (එම්.ඒ.) නිබන්ධය සම්පාදනය කෙළේ ය. මේ පර්යේෂණ ක්ෂේත‍්‍රය කෙරෙහි යොමු වීම අනාගතයේ දී තිස්ස කාරියවසම් විද්වතාගේ ශාස්ත‍්‍රීය අනන්‍යතාවෙහි පදනම වූ බව කිව හැකි ය. ආචාර්ය උපාධි අධ්‍යයන සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ භාග්‍යය හිමි කොට ගත් කාරියවසම් විද්වතා මහාචාර්ය සී. එච්. බී. රේනල්ඩ්ස් හා මහාචාර්ය ඊ. ඒ. සී. ලුඩොවයික් දෙපළ යටතේ 19 වන සියවසේ ලක්දිව ආගමික හා ශාස්ත‍්‍රීය කටයුතු පිළිබඳ පර්යේෂණයන්හි නිරත විය. දිවයිනේ භාෂා ශාස්ත‍්‍ර හා සමාජ සංස්ථා පිළිබඳ නව යුගයක ආරම්භය සලකුණු කරන මේ අවධිය කාරියවසම් සූරීන්ගේ විශේෂ අධ්‍යයනයට හා ගවේෂණයට ලක් වූ අතර පසු ව සිය ශිෂ්‍ය තරුණ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප පළක් ම ඒ සම්බන්ධ ඉදිරි පර්යේෂණ හා අධ්‍යයන වෙත යොමු කිරීමට ද එතුමා උත්සුක වූ බව සඳහන් කරනු වටී.


    1964 සිට තෙවසරක් ලංකා විශ්වවිද්‍යාලයේ  තාවකාලික සහය කථිකාචාර්යවරයකු වසයෙන් සේවය කළ මේ තරුණ ශාස්ත‍්‍රවන්තයාගේ ද්විභාෂක ශක්‍යතාව හේතුවෙන් ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යා හා වෛද්‍යවිද්‍යා පීඨයන්හි ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ට සිංහල ඉගැන්වීම සඳහා ද අවකාශ සැලසිණි. අනතුරු ව 1967 දී විද්‍යෝදය (වර්තමාන ශ‍්‍රී ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්ය මණ්ඩලයට එක් වූ හෙතෙම 2008 දී සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ධුරයෙහි සිට සේවයෙන් විශ‍්‍රාම ලැබී ය. අධ්‍යයන කාර්යයන්ට අමතර ව ශාස්ත‍්‍ර පීඨාධිපති හා වැඩ බලන උපකුලපති වසයෙන් ද ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ප‍්‍රගමනය හා සංවර්ධනය විෂයෙහි කාරියවසම් විද්වතා අතින් මහාර්ඝ මෙහෙයක් ඉටු විය.


    ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි මෙන් ම වර්තමාන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි ද ප‍්‍රගමනයට කාරියවසම් සූරීන් අතින් විශාල මෙහෙයක් ඉටු විය. කැලණිය විශ්වවිද්‍යාලයානුබද්ධ සෞන්දර්ය අධ්‍යයන ආයතනය වසයෙන් පැවති වර්තමාන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි පූර්වගාමී ආයතනය දැඩි අර්බුද ගණනාවක පෙළෙමින් සිටිය දී එහි අධ්‍යක්ෂ ධුරය භාර ගත් කාරියවසම් විද්වතාගේ ශාස්ත‍්‍රවන්තභාවය හා පරිපාලන කෘතහස්තභාවය ද කැපවීම ද හේතුවෙන් එම ආයතනය වර්තමාන ප‍්‍රබෝධයට පත් වූ බව දිවයිනේ අධ්‍යාපන හා සෞන්දර්යකලා ඉතිහාසයෙහි විශේෂ පරිච්ඡේදයක ලා ලියවෙනු ඇත. සෞන්දර්ය විෂය හදාරන්නන්ට පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් පිරිනැමීමට හැකි වූයේ කාරියසම් අධ්‍යක්ෂතුමාගේ දර්ශනය හේතුවෙනි. එතෙක් ඔවුන්ට හිමි වූයේ හුදු සහතිකයක් පමණි. සෞන්දර්ය අධ්‍යයන ආයතනය ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අවශ්‍ය අධ්‍යයන හා පරිපාලන නිර්දේශ බොහෝවක් සම්පාදනය කෙරුණේ එතුමාගේ මූලිකත්වයෙනි. ආයතනික සංවර්ධනයෙහි මෙන් ම මානව සම්පත් සංවර්ධනයෙහි ද උත්සුක වූ කාරියවසම් සූරීන් සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ තරුණ ආචාර්යවරුන් රැසක් නව පර්යේෂණ ක්ෂේත‍්‍ර කරා යොමු කරවීම දිවයිනේ සෞන්දර්ය හා ශාන්තිකර්ම අධ්‍යයනයේත් තදනුබද්ධ නව ශාස්ත‍්‍රීය සම්ප‍්‍රදායයකත් ආරම්භයට හේතු විය. දැඩි අර්බුදකාරී අවධියක ශ‍්‍රී ලංකා රූපවාහිණී සංස්ථාවෙහි සභාපති ධුරය භාර ගත් එතුමා අර්බුද හා ප‍්‍රශ්න මධ්‍යයේ වුව නව මාධ්‍ය සංස්කෘතියකට පදනම දැමීමෙහි සමත් විය. එහෙත් ඒ ආයතනය මේ වන විට ඒ විදග්ධ සම්ප‍්‍රදායෙන් බොහෝ සේ විස්ථාපිත ව පවතින බව සඳහන් කළ යුතු වෙයි. ශ‍්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය ද එතුමාගේ සභාපතිත්වයෙන් නව ප‍්‍රබෝධයක් අත්පත් කර ගැනීමෙහි සමත් විය. සිංහල විශ්වකෝෂයෙහි ප‍්‍රධාන සංස්කාරක ධුරයෙහි ද කාරියවසම් සූරීහු කෙටි කලක් සේවය කළහ. මේ මහාචාර්ය තිස්ස කාරියවසමුන්ගේ ජාතික සේවයෙහි අවස්ථා කිහිපයක් පිඬු කොට දැක්වීමක් පමණි. වෙනත් රාජ්‍ය ආයතනයන්හි අධිපතිත්වය දරන අවධියෙහි පවා විශ්වවිද්‍යාලයෙහි ඉගැන්වීම් කටයුතුවලට අඛණ්ඩ ව සම්බන්ධ වීම ද එතුමන්ගේ විශේෂ ලක්ෂණයකි.


    1970 සමගි පෙරමුණේ ජයග‍්‍රහණයෙන් දෙසතියක් ඇතුළත ‘‘70 ජනතා ජයග‍්‍රහණය’’ නමින් විශ්ලේෂණාත්මක ග‍්‍රන්ථයක් සම්පාදනය කළ කාරියවසම් මහතා සමාජ දේශපාලන සංසිද්ධි හා ප‍්‍රවණතා විග‍්‍රහයෙහි සිය සූක්ෂ්ම හා විදග්ධ කෞශල්‍යය කියා පෑවේ ය. අදහස් හා සිතුම් අතින් එතුමා ‘ප‍්‍රගතිශීලී’ කඳවුරෙහි සිටිය ද බණ්ඩාරනායක පවුල සමඟ සමීප සම්බන්ධතා පැවැත්වුව ද බණ්ඩාරනායකවරුන් හෝ ඔවුන්ගේ පක්ෂය හෝ බලයෙහි සිටි කිසිදු අවස්ථාවක කාරියවසම් මහතාට ජාතික වැදගත්කමක් ඇති මෙහෙවරක් නො පැවරීම දෛවයේ සරදමක් විය යුතු ය. එතුමන් ජාතික මට්ටමේ සේවාවන්ට සම්බන්ධ කර ගැනුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු යටතේ දී පමණි.  


    සාහිත්‍ය විචාරය හා නිර්මාණය යන අංශයන්ට අමතර ව මහාචාර්ය කාරියවසම්ගෙන් සිංහල සාහිත්‍ය වංශයට සැලසුණු විශිෂ්ටතම දායකත්වය වූ කලි නර්තන හා ශාන්තිකර්ම සාහිත්‍යයක් ගොඩ නැංවීම බව කිය යුතු ය. මේ අංශ දෙකෙහි දී ම එතුමා ඉටු කළේ පුරෝගාමි මෙහෙවරකි. මහාචාර්ය සරච්චන්ද්‍රගේ සිංහල ගැමි නාටකය හැරුණු විට දිවයිනේ ශාන්තිකර්ම සම්බන්ධයෙන් 1980 දශකය තෙක් ම පළ වී තිබුණේ සාම්ප‍්‍රදායික ශිල්පීන් විසින් සම්පාදිත තොරතුරු සංග‍්‍රහ කිහිපයක් පමණි. ශාස්ත‍්‍රීය ලෝකයට ශාන්තිකර්ම යනු ගර්හිත විෂයයක් බඳු විය. ශාන්තිකර්ම අධ්‍යයනය දිවයිනේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර නව ශික්ෂණ සම්ප‍්‍රදායක් වසයෙන් ස්ථාපනයට එතුමා පුරෝගාමි විය. ශාන්තිකර්මයන්හි සෞන්දර්යාත්මක හා සමාජීය අගය විමර්ශනයට කාරියවසම් සූරීන් යොමු වන්නේ ක්ෂේත‍්‍ර අධ්‍යයන හා ස්වප‍්‍රධාන මූලාශ‍්‍රය කරා යොමු වීමෙන් වීම මේ නව ශික්ෂණ සම්ප‍්‍රදායේ ශාස්ත‍්‍රීය පදනම කෙරෙහි එතුමන්ගේ අවධානය කෙබඳු ද යන්න පැහැදිලි කරන්නකි. දිවයිනේ සාම්ප‍්‍රදායික ඇදුරු පරම්පරා සතු සාහිත්යික මූලාශ‍්‍රය මෙන් ම හියු නෙවිල් විද්වතා විසින් දිවයිනෙන් ඒකරාශි කොට ගත්, දැනට බ්රිතාන්‍ය පුස්තකාලයෙහි තැන්පත් කොට ඇති පුස්කොළ පොත් එකතුව ද විධිමත් ව ගවේෂණයෙන් සම්පාදිත ග‍්‍රන්ථ මාලාව පමණක් වුව ද කාරියවසම් මහාචාර්යතුමන්ගේ ශාස්ත‍්‍රීය සේවයෙහි අමරණීයත්වයට හේතු වනු නිරනුමාන ය.


    අද ‘ජනප‍්‍රිය’ විෂයක් ව පවත්නා ජන සන්නිවේදනය ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශික්ෂණ මාර්ගයට හඳුන්වා දීමට හා සිංහලයෙන් එම විෂය අරබයා ග‍්‍රන්ථකරණයට ද පුරෝගාමි වූවාහු තිස්ස කාරියවසම් සූරීහු ය. සුප‍්‍රකට ලන්ඩන් ස්කූල් ඔෆ් ජර්නලිස්ම් ආයතනයෙන් පුවත් පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමෙන් ප‍්‍රකට කරන ලද නව දැනුම් ක්ෂේත‍්‍ර කරා යොමු වීමේ ජිඥාශාව එහි පදනම සේ හැඳින්විය හැකි ය. එතුමාණෝ තමන් නව ක්ෂේත‍්‍ර ගවේෂණයෙන් පමණක් තෘප්ත නො වී නව ශාස්ත‍්‍රවන්ත පරම්පරා කිහිපයකට ම ඒ ඥානාලෝකය ඇසුරෙන් ශාස්ත‍්‍ර ගවේෂණයට මඟ පාදා දුන්නෝ ය. පෞද්ගලික ජීවිතයේ දී ද කිසිදු බලවේගයකට නො නැමීම මෙන් ම උපේක්ෂා සහගත වීම ද යන මහාර්ඝ ගුණාංගයන්ගෙන් සමුපේත වූ එතුමාණෝ සිය ශිෂ්‍ය ගණයාට ද ඒ ජීවන ශික්ෂණය අත්පත් කොට ගැනීමට මඟ හසර පෙන්වූහ.


    මහාචාර්ය තිස්ස කාරියවසම් යනු නිමේෂයක් නිමේෂයක් පාසා නව ප‍්‍රබෝධයෙන් අභිනව ඥාන ක්ෂේත‍්‍ර ගවේෂණයෙහි නිරත වූ විද්වතෙකි. දෙවසරක පමණ සිට දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙමින් දිනක් හැර දිනක් බැගින් රුධිර කාන්දුකරණ ප‍්‍රතීකාර ලබමින් සිටිය ද ශාස්ත‍්‍රීය කාර්යයන්හි අඛණ්ඩ ව නිරත වූහ. සිංහල නාට්‍ය වංශ කථාවේ හා සමකාලීන සමාජ දේශපාලන වංශ කථාවේ ද අවසන් පරිච්ඡේද කිහිපය මුද්‍රණය සඳහා සූදානම් කරමින් සිටි කාරියවසම් සූරීහු මහාචාර්ය ඈන් බ්ලැක්බර්න්ගේ ‘ද ලොකේශන් ඔෆ් බුඩිසම්‘ කෘතිය සිංහලයට පරිවර්තනය කරමින් සිටියහ. 19 වන සියවසේ ආගමික හා සමාජ විපර්යාසයේ සන්ධිස්ථානයක් සේ සැලකෙන බද්දේගම වාදය අළලා සම්පාදිත මුල් ලේඛනය සංස්කරණයෙහි හා එතුමන් විසින් සිංහලයට නඟන ලද සිංහල අක්ෂර මාලාවේ විකාසනය කෘතියේ දෙවන මුද්‍රණයෙහි සංස්කරණ කාර්යයෙහි  සම්බන්ධ වෙමින් සිටියහ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනකුගේ සුපරීක්ෂක වසයෙන් කටයුතු කරමින් ඔවුන්ගේ නිබන්ධ කෙටුම්පත් පරීක්ෂාවෙහි ද නිරත වූහ. ඒ සියල් කටයුතු 2014 දෙසැම්බර් 03 වන බදාදා වන දා රාත‍්‍රියෙන් පසු ව අත් හරිමින් රෝහල්ගත වන්නට එතුමන්ට සිදු වූ අතර දෙසැම්බර් 04 වන දා පෙරවරුවෙහි සේවාර්ජිත මහාචාර්ය සාහිත්‍ය සූරී තිස්ස කාරියවසම් සූරීහු දිවියෙන් සමු ගත්හ.


    අතිශයින් ම අකාල අභාවයක් සේ හැඳින්විය යුතු එතුමන්ගේ අභාවයෙන් දිවයිනේ ශාස්ත‍්‍රීය ක්ෂේත‍්‍ර රාශියක ඇති වූ දැවැන්ත රික්තය දශක ගණනාවකිනිදු පිරවිය හැකි නො වන බව පැහැදිලි ය.


    මහාචාර්ය රත්නසිරි අරංගල

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu