මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට එරෙහි බලවේගවල එකමුතුව

    ජනවාරි 01, 2015

    ‘මහින්ද පරදන්න දෙමළ සන්ධානය තීන්දු කරයි’ යන සිරස්තලය යටතේ අද පුවත්පත්වල දෙමළ ජාතික සන්ධානයේ නායකයින් පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළි කළ තොරතුරු පළ විය. එහි නායක ආර්. සම්බන්ධන් මහතා පැවසූයේ ඉඩම් සහ පොලිස් බලතල ද උතුරු නැගෙනහිරට ලබා ගැනීම සම්බන්ධයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ජනාධිපතිවරණයට පසු සාකච්ඡා කරන බවය.

    ඒ අතරම විපක්‍ෂයේ අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා මන්නාරමේ බිෂොප් රායප්පු ජෝෂප් සමග සාකච්ඡාවක් පැවැත්වීය. සිරිසේන මහතා ජනාධිපති වූ පසු තම ඉල්ලීම් ලබා දෙන බවට ජෝෂප් බිෂොප් තුමා දැඩි විශ්වාසය පළ කළේය.

     

    ගරු රායප්පු ජෝෂප් බිෂොප්තුමාගේ ඉල්ලීම් මොනවාද? උතුරු නැගෙනහිරට ස්වයං පාලන බලය දිය යුතු යැයි ඔහු ප‍්‍රකාශ කළේය. 2009 දක්වා මෙම බිෂොප් තුමා එල්ටීටීඊ සංවිධානය සමග කිට්ටුවෙන් කටයුතු කළ බව ද නොහරසකි. පසුගිය වසරේදී රායප්පු ජෝෂප් බිෂොප් තුමා යුද සමයේ සිදු වූවා යැයි කියන යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන ලෙස බටහිර ජාතීන්ගෙන් ප‍්‍රසිද්ධියේ ඉල්ලීමක් කර තිබුණි. එය කොතරම් බලගතු වීද යත් එය ශ‍්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ මතය නොවන බවට අග රදගුරු මැල්කම් රංජිත් කාර්ඩිනල් තුමාට විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට ද සිදු විය.

     

    සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නායකයිනුත් පසුගිය දා ඉන්දියාවේ දී ප‍්‍රකාශ කර තිබුණේ 13 වෙනි සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් නොලැබුණහොත් දැඩි තීරණයක් ගැනීමට සිදුවන බවය. එසේ නොකියා කියන්නේ බෙදුම්වාදය දෙසට යළි නැඹුරුවන බවය.

     

    ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා රජයෙන් ඉවත් වූයේ නැගෙනහිර මුස්ලිම් ප‍්‍රදේශවල ස්වයං පාලන බලතල සහිත පරිපාලන ඒකකයක් ස්ථාපිත කළ යුතු යැයි කළ ඉල්ලීම රජයෙන් ප‍්‍රතික්‍ෂේප වූ පසුය.


    මෙවැනි දැඩි මතධාරී දෙමළ සහ මුස්ලිම් පක්‍ෂවලින් ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබා ගැනීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකඟ වී ඇති කොන්දේසි මොනවාදැයි තවමත් හෙළිදරව් කර නැත.

     

    මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කඳවුරට එක්වී සිටින එක්සත් ජාතික පක්‍ෂයේ ඉතිහාසය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු නො වේ. ත‍්‍රස්තවාදී නායක ප‍්‍රභාකරන් සමග ගිවිසුමක් අත්සන් කරමින් රටේ විශාල කොටසක් පාවා දීමට පියවර ගත් එක ම නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතාය. සිරිසේන මහතාට දැන් එක්ව සිටින චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මිය නොර්වේ උපදෙස් මත  පීටොම්ස් (PTOMS) ගිවිසුම මගින් එල්ටීටීඊ සංවිධානයට රටේ 2/3ක වෙරළාසන්න ප‍්‍රදේශවල සුනාමි සහන කටයුතු සඳහා ස්වයං පාලන අධිකාරි බලය පවරා දීමට උත්සාහ ගත්තාය. එජාප පාලනය පැවති සමයේ දී එල්ටීටීඊයට අවි ආයුධ තොග ගණනින් සැපයීමට හමුදාවට නියෝග දෙන ලදි. අද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන්නේ එල්ටීටීඊ ඩයස්පෝරාවේ අනාගත අභිලාෂයන් ය.

     

    මෛත‍්‍රීපාල සිරිසේන මහතා එජාපය, දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසය සමග ඇති කරගත් ගිවිසුම් ජනාධිපතිවරණයට පෙර ජනතාවට හෙළිදරවු කළ යුතුය. එය සිදු වේ යයි දැන් අපේක්‍ෂා කළ නොහැකි නමුත් අවම වශයෙන් ජාතියේ ඒකාබද්ධතාවට ස්වෛරීයත්වයට සහ නිදහසට කැපවී සිටී යයි කියන ජාතික හෙළ උරුමයෙන් කැඩී ගොස් දැන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආධාර කරන හිටපු නායකයින් දෙදෙනාවත් මේ ගැන සිරිසේන මහතාගෙන් විමසා බලා සත්‍යය තත්ත්වය ජනතාවට හෙළි කළ යුතුය.

     

    කෙසේ වුවද ‘අසාර්ථකයින්ගේ සන්ධානය’ යැයි දැන් විරුදාවලියක් ලත් විපක්‍ෂයේ හවුලේ නියම මුහුණුවර දෙමළ සන්ධානයේ බෙදුම්වාදය තුළින් ද මුස්ලිම් කොංග‍්‍රසයේ ස්වයං පාලන බලතල සහිත මුස්ලිම් ප‍්‍රදේශ ඉල්ලීම තුළින් ද රනිල් වික‍්‍රමසිංහ - ප‍්‍රභාකරන් ගිවිසුම තුළින් ද කුමාරතුංග මහත්මියගේ පීටොම්ස් එකඟත්වය තුළින් ද අවබෝධ කරගත හැකිය.

    - එක්සත් ජනතා නිදහස් සන්ධානය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya