ජූනි 18, 2019
tami eng youtube  twitter facebook
    logo

    කමත

    නොවැම්බර් 06, 2014
    පුරාණයේ සිට කමතට අතිමහත් ගෞරවයක් හිමි විය. ඒ බුද්ධ බෝග ලබා ගන්නා ස්ථානය කමත වූ බැවිණි. ගොවියාගේ වී ඇට ටික රැස්කර දෙනු ලබන්නේ මෙම භූමියෙනි. මේ නිසා කමතේ හිමිකාරිත්වය බුදුන්වහන්සේට පැවරුණි. ඒ බව මෙම කවියෙන් ප්‍රකට ය.

    මේ කාගේදෝ       කමතා 
    අපේ බුදුන්ගේ       කමතා.............
     
    පසු ව කමතේ හිමිකම ඉරටත් හඳටත් ලබා දී තිබෙන බව තවත් කවියකින් මෙසේ පැහැදිලි වෙයි.
    මේ කාගේදෝ          කමතා 
    ඉර දෙවියන්ගේ        කමතා
    මේ කාගේදෝ          කමතා 
    සඳ දෙවියන්ගේ        කමතා
     
    මේ අනුව ඉතිහාසයේ සිට සිංහල ගොවියා කමතෙහි හිමිකම ඉරට, හඳට බුදුන්ට ලබා දී තිබෙන්නේ එහි ඇති වැදගත්කම හා ගෞරවය ආරක්ෂා කර ගැනීම උදෙසා ය. කමතට පමණක් සීමා වූ ගෞරවනීය බස් වහරක් ද සිරිත්විරිත් සමුදායක් ද විශේෂ උපකරණ රැසක් ද පුද පූජා විධි රාශියක් ද දක්නට ලැබෙන්නේ එහෙයිනි. මෙහි දී කමතේ ඇති ඓතිහාසික හා සංස්කෘතික පසුබිම සිංහල ගොවියාගේ ජන ජීවිතය හා සංස්කෘතික පසුබිම සිංහල ගොවියාගේ ජන ජීවිතය හා සංස්කෘතිය සමඟ විශාල ලෙස සම්බන්ධ වේ.kamatha 4
     
    ගොයම් කපාගත් පසු ඒවා පාගන භූමිය කමත  ලෙස හඳුන්වයි. කලවිට, පාවර පොළ යනුවෙන්  කමත හඳුන්වන තවත් වචන කිහිපයකි. පාවර යන පදය වඩාත් ගැලපෙන්නේ ගොවීන් විසින් පයින් ගොයම් පාගන  ස්ථානයට යි.
     
    කමත සෑදීමේ දී කිසියම් ශාස්ත්‍රයකට අනුව සිදු කරයි. කමත තැනිය යුත්තේ වී අපතේ නොයන ලෙස කොළ මැඩිය හැකි බිමක ය. වැලි හා ගල් වීවලට මිශ්‍රවීම වලක්වා ගත යුතු ය. තෙත් ගතියෙන් යුතු ස්ථානයක කමත තැනුවහොත් කොළ මඬින විට වී ඇට පස් යට ගොස් අපතේ යාම සිදු වේ. ඒ නිසා කමත සෑදිය යුත්තේ තෙතමනය නැති තද පස් සහිත ස්ථානයක යි.
     
    කමතට ගොයම් දැමූ පසු වැසි වැස්සොත් ජලය ඉක්මනින් බැස යන පරිදි කමත සැකසිය යුතු වේ. ඒ නිසා කමත තැනීමේ දී වැසි දිය බැසයාම සඳහා ගොන් මෝල්කඩ හා ඇලි මෝල්කඩ ඇළ යන අංගයන්ගෙන් යුක්ත වන ලෙස සැකසිය යුතු ය. ගොවීන් සාම්ප්‍රදායික ව භාවිත කළ කමත් වර්ග තුනක් දක්නට ලැබේ. එනම්,
    1 බිම් කමත
    2 ගල් කමත
    3 වෙල් කමත යනුවෙනි.
     
    මෙම කමත් අතුරින් මූලිකත්වය හිමිවන්නේ බිම් කමතට ය. කුඹුරු යාය අසල ගොඩබිමක් තෝරාගෙන බිම් කමත තනා ගනී. මෙය පරම්පරාගතව පැවත එයි. මෙය යායේ කාටත් පොදු ස්ථානයකි. උත්පත්තියෙන් බිම් උරුමය මෙයට හිමි වේ. කෙත් යායේ තිබෙන විශාලත්වය අනුව යායේ මැදට වන්නට කමත තනා ගනී. ඒ නිසා කමතට ගොයම් පිඩි රැගෙන ඒම පහසු වේ. බිම් කමතේ වී පාගන විට වී ඇටවලට හානියක් සිදු නොවේ. මේ නිසා බිත්තර වීවලට වෙන් කර ගැනීම පහසු වේ.
     
    ගල් කමත ලෙස හඳුන්වන්නේ කුඹුරු අසල ස්වාභාවිකව පිහිටා ඇති කළු ගල් තලාවකට යි. එහෙත් මෙහි දී වී පළුදු වීම ගොන් කුර ගැටෙන විට සිදු වෙයි. එසේ ම ගල්වලට අව්ව වැටෙන විට ගල් කමතේ කොළ පෑගීම අපහසු වෙයි. බිත්තර වී සැකසීමට මේ කමත නුසුදුසු ය. ආහාර සඳහා පමණක් වී ගන්නා විට මෙම කමත ගොයම් පෑගීම සඳහා යොදා ගනී.
     
    kamatha 1වෙල් කමත යොදා ගන්නේ හදිසි අවස්ථාවක ය. අකලට වැසි වැසීම, වසංගත රෝග ඇති වීම, බෝවන රෝග, කුර ලෙඩ වැනි අවස්ථාවල දී වෙල් කමත වී පෑගීම සඳහා යොදා ගනී. අනෙක් කමත්වල ගොයම් පෑගීම නිරන්තර මෙවැනි අවස්ථාවල කරන නිසා එම පොදු කමත් භාවිත කිරීමට ගොවියන්ට අවස්ථාව නැති වේ. එවිට වෙලේ තාවකාලිකව කමතක් තනා ගනී. මෙම වෙල් කමතට ලියදි කමත යනුවෙන් ද භාවිත වෙයි. ගොයම් කපා ගත් පසු ඇති ඉපනැල්ල උදලු ගා ඒ මත ගොම මැටි ගා ලියදි කමත ගොඩනගා ගනී.
     
    කමත සකසා ගත් පසු අරක් තැබීම හා අළුහන් මැඩීම යන සිරිත් ඉටු කරයි. අළුහම් මැඩීම යනුවෙන් අදහස් කරන්නේ අළුවලින් කමතේ අඳින රූප පෙළකට ය. මෙයට කමත් යන්ත්‍රය ලෙස ද නමකි. අටමගල, අළු වීදිය, වංකගිරිය යන නමින් ද මෙය හැඳින්වේ. මෙයින් අපේක්ෂා කරන්නේ හුදෙක් ආරක්ෂාව ය. කමතට ගොයම් දමන්නේ මෙම රූපපෙළ ඇදීමෙන් පසුව ය. මෙයට අළු චක්‍රය ඇදීම යනුවෙන් ද පවස යි. ඇදීම සඳහා ලිප් බොක්කේ අළු ගනී. එහෙත් මස් පිළි ඇති ආහාර උයන ලද දර අළු මේ සඳහා නොගනී. කුඹුක්, අගිල්, මී ආදී දර පුළුස්සා අළු ලබා ගනී. මෙය අදිනු ලබන්නේ ගොවිරාල විසිනි. ඔහු කොළපොතක් කපා රවුමට හකුලාගෙන ඒ මැද්දට අළු දමා පසුව එක් කොනකින් අළු ටික ටික එන පරිදි සිදුරක් සාදා කමත පුරා අළු චක්‍රය අඳී. ප්‍රථමයෙන් කමතේ පිට වැටිය ලඟින් පිට සීමාව ලකුණු කර ගනී. පසුව කම්බා කණුව සිට වට 3ක්, 4ක්, 7ක් ආදී ලෙස අදී. ඒ වට ඇදීමෙන් පසු පාද දිග අතට වෙන් කර ගනී. පසුව කමතේ දී භාවිත කරනු ලබන යතුර, උකුළු දත්ත, කෙවිට, බෝලත්ත, කටුමානත්ත, උදැල්ල, නඟුල, ලාහ, කටු හක්ගෙඩිය අළුවලින් අදිනු ලබයි.
     
    විදානේ මහතාගේ මූලිකත්වයෙන් යායේ ගොවීහු එක් ව කමත් සුද්ධ පවිත්‍ර කරති. සිකුරාදා උදය වරුව මේ සඳහා භාවිත කිරීමට ඇතැම් ප්‍රදේශවල ගොවීහු පුරුදු වී සිටියහ. කමත උදලුගෑමට පෙර මල් පැලක් සාදා දෙවියන්ට කන්නලව් කිරීම සිරිතකි. මේ සඳහා දැඩිමුණ්ඩ, පුල්ලෙයාර්, ගම්භාර දෙවියන් තෝරාගෙන ඇත. මෙම කන්නලව්වෙන් පසුව විදානේ විසින් පළමු උදලු තලය ගසනු ලැබ ඇත. ඉන් අනතුරුව සෙසු ගොවීන් එක්ව මතුපිට පොළොව කඩතොළු නොවන ලෙස උදලුගෑම කරනු ඇත. පසුව බෝල් අත්තෙන් රොඩු දූවිලි ඉවත් කරයි. ඉන් පසු කමතේ බිමට රතු හුඹස් මැටි මිශ්‍ර කර ගොම මැටි ගා ගනී. මේ සඳහා කිළිවලට හසු නොවන අය හවුල් කර ගනී.
     
    ඉන් පසුව ගොයම් කොළ පාවරය එලනු ලබයි. මේ සඳහා ප්‍රදේශයේ විදානේ රාළ වෙද මහතා වැනි විශේෂිත පුද්ගලයන් සම්බන්ධ කර ගනී. පළමු වී කරල් මිටිය කම්බා කණුව වටේ එළයි. මංගල කොළ පාවරය එළිමට පෙර පිළිපැදිය යුතු පිළිවෙත් රැසකි. නැකතට අනුව කමත හරි මැද කම්බා කණුව සිටුවීම සිදු කරයි. මෙය පොළොව මට්ටමේ සිට දෙරියනක් පමණ උස කණුවකි. මෙය සිටවූ පසු ඒ අසලින් කුඩා වලක් කපයි. එහි අරක් වස්තු තැන්පත් කිරීම සිදු කරයි. මේ සඳහා කටු හක් බෙල්ලෙක්, යකඩයක්, කොහොඹ පෝරුවක්, දෑකැත්තක් යොදා ගනී. ගොයම් එළීමට පෙර කම්බා කණුව වටේ තුන් වරක් පැදකුණු කරයි. ඊට පසු කොළමිටි රැගෙන එන ගොවීන් සමාන ලෙස ඒවා කමත පුරා අතුරයි.
     
    අම්බරුවන් එකිනෙකා එකට ඈදා කමතට දමයි. කොළ පෑගීමට අම්බරුවන් වට කැරකෙන්නේ කම්බා කණුව වටේටය. මුලට ම ආඳන්නේ හුරුපුරුදු අම්බරුවෙකි. ඌට මුදුනා යැයි කියයි. මුදුනා සම්බන්ධ කරන්නේ කම්බා කණුවට ය. මුදුනාගේ කරට ඊළඟට ආදන්නේ කොළමුන්නා ය. ඊට පසුව දෑතුරයන් ඈදිය යුතු ය. කොළයේ (ගොයම් ප්‍රමාණයේ) අනුව දෑතුරයන් සංඛ්‍යාව වැඩි කරයි. කමතේ අන්තිමට යන්නේ කලාතයාල. කමතේ වැඩි ම වට ප්‍රමාණය යන්නේ ඌය. මේ සඳහා ඇඟේපතේ විසේ ඇති මී වස්සන් කලාතයන් සඳහා තෝරා ගනී. මෙහිදී ගොවියෝ කවි ගායනා කරති. මේ අතර මී හරකුන් ගොම දමන්නට පටන් ගනී. මෙයට කමත් බසින් හඳුන්වන්නේ ගොම දැමීමටය. කමතේදී වැඩට උදව් වන්නන්ට හොඳින් සංග්‍රහ කෙරේ. කමතේ දිවා ආහාරය ඇඹුල වන අතර උදේ ආහාරයට අඩුක්කුව යැයි කියයි. ආහාර සඳහා පිළිහුඩු දේ, කිළි වර්ග ගෙන එන්නේ නැත. මත්පැන්, බුලත්විට කෑම කමතේ තහනම් ය. කමතේ සියලු වැඩ නිම වෙන තෙක් එහි වැඩකරන අයට (අත්තම්කරුවන්) වී (බැත) රාශි කරන තෙක් (වී ගොඩගසන තුරු) එසේ ම පිට අය පැමිණ කමතේ වැඩ කරන වේලාවට මරණ, මඟුල් පැවසීම ද, ඈනුම් ඇරීම ද ,ඇඟමැලි කැඩීම ද හිසට කුඩ ඉහලා සිටීම ද කමතෙන් ණයට වී ඉල්ලීම වැනි දේ ද තහනම් ය.
     
    මෙසේ අම්බරුවන්ගෙන් කොළය මැඩුණු පසු යට ඇති මැඩුවන් තට්ටුව උඩට ඇද යට ඇති මැඩුවන් උඩට පෙරලයි. යලිත් මී හරකුන් ඊට උඩින් දක්කයි. පසුව මැඩුවන් හලාබෑම සිදු කරයි. ප්‍රධාන ගොවිරාළ හලාබාන පළමු මැඩුවම අම්බරුවන්ගේ හිසට උඩින් තුන්වරක් කරකවා කමත අසල ඇති ගසක් උඩින් තබයි. මෙය අම්බරුවන්ගේ දොස් දුරු වීමට කරන පිළිවෙතක් ලෙස සැලකේ. මැඩුවන් හලාබෑමෙන් පසු කාටු සමඟ මිශ්‍ර වී ඇති තට්ටුවක් වෙයි. උකුළු දැත්තෙන් අවුස්සමින් මෙය ඉහළට ගැනීම කොක් ගෑම ලෙස හඳුන්වයි. ඊට පසු මාන් ගසා බැත රාශි කරයි. මේ සඳහා අත් පෝරුවක් යොදා ගනී ඉන් පසු බැත ගරයි. බැත ගරනවා යනු රොඩු කාටු ඉවත් කර වී ඇට සුද්ධ කිරීමටයි. බැත ගරන්නේ යතුරෙනි. යතුර යනු කුල්ල යි. ඊට පසු වී කමතේ ගොඩ ගසයි. එය බැත කන්ද ලෙස සලකයි. මෙම බැත කන්ද වටේට පිදුරු වෙනියක් දමා කමත පුරා වී ඇට විසිරීයාමෙන් ආරක්ෂා කර ගනී. අනතුරුව බැත කන්දට තුන් වරක් වඳින ගොවිරාළ අක්යාල කොටස මුලින් ම වෙන් කරයි. අක් යාල යනු දෙවියන් උදෙසා වෙන් කරන කොටසයි. එම කොටස බිමින් නොතියා කමත අසල ගසත් උඩ තියයි. අනතුරුව වී මැනීම කරයි. එයට යාල්ලනවා යැයි කියයි. වී මනින්නේ ලාහෙන්, කුරුණියෙන් හෝ කාර්තුවෙන්ය. ගොවියා බැත කන්දට වැඳ වී මැනීම කරයි. “එක හොඳයි.....” කියා පළමු වී මැනීම අරඹයි. මෙසේ දෙක තුන ලෙස කියා අට හොඳයි කියා නවය නොකියා දහය කියයි. ඊට හේතුව කමතේ දී නවය නපුරු යැයි විශ්වාසය නිසයි. මෙසේ මැන කරත්ත මළුවල දමා වී නිවසට ගෙන යයි. ඉන් පසු අටුවේ හෝ වී බිස්සේ වී තැන්පත් කරයි.kamatha 2
     
    එදා කමතේ වැඩවල දී ගොවීන්ගේ මුවග රැව් දුන්නේ අමුතු බසකි. ගොවිතැනට හා වීවලට ගෞරව දක්වන්නට එම භාෂාව භාවිත කළේ ය. මෙම බස් වහර කමත් බස ලෙස හැඳින්වේ. අටමගල යනු කමතේ අළුවලින් අඳින කමත් යන්ත්‍රයට කියන නමකි. අඬහැරය යනු හරකුන් දැක්කීම සඳහා කරන හඬ ගෑමයි. මෙය ඕසේ ඇදීම ලෙස ද හඳුන්වයි. අතුගොයියාව යනු කමත අතුගෑමට ගන්නා ඉදලයි. අරක් තැබීම යනු අරක් වස්තු චාරිත්‍රානුකූලව අරක් වලේ තැබීමයි. අම්බරුවා යනු මී ගවයා ය. උකුණු ගස දැතිගොයියාවයි. කතුර කුල්ලට නමකි. කමත් කොළය යනු කමතට දමන ගොයම් ප්‍රමාණයයි. කාටුව යනු පිදුරු රොඩුවලට නමකි. කොළ පාගනවා යන්න කමතේ ගොයම් පෑගීමයි. ගොන් මෝල්කඩ යනු කමතට වැටෙන වතුර බැස යාම සඳහා සකසන කවයක් වැනි කාණුවයි. බැත රාශි කිරීම යනු වී එක් රැස් කිරීමයි. වී බිස්ස යනු වී තැන්පත් කරන ගබඩාවයි.
    එදා කමතේ වැඩකටයුතුවලදී ගොවීයෝ විවිධ සිරිත් විරිත් විශ්වාස මත පදනම් ව කටයුතු කළහ. මේ නිසා කමත සිංහල ගොවියාගේ කෙම් බිමකි. ඒ නිසා එය ශුද්ධ භූමියක් ලෙස ගොවින් සැලකූහ. මේ නිසා කමතට ආවේණික උප සංස්කෘතියක් ද හඳුනා ගත හැක. එහෙත් එදා කොළ මැඩීමට යොදා ගත් ගවයා අද වන විට කමතෙන් අහෝසි වී එතැනට නවීණ යන්ත්‍රසූත්‍ර පැමිණ ඇත. එබැවින් කමත වටා ගොඩනැගුණු සංස්කෘතිය ද බිඳවැටෙමින් පවතී කමත හා කමත් භාෂාවට ද ඒ ඉරණම ම අත් වී තිබීම කණගාටුදායක ය.
     
    NDH
     
    ජයසිරි වීරක්කොඩි -  ප්‍රවෘත්ති නිලධාරී, කොළඹ

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya