මාර්තු 25, 2019

tami eng youtube google twitter facebook

    ගාල්ලට අරුණැල්ලක්

    දෙසැම්බර් 02, 2014
    දිවයිනේ දිස්ත්‍රික අතරින් ගාල්ල දිස්ත්‍රික්කය ඓතිහාසික වශෙයන් මෙ‍න් ම ආර්ථික සාධක අතරින් ද රට තුළ කැපී පෙනන පරිපාලන ඒකකයකි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19කින් සමන්විත ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් සංඛ්‍යාව 895කි. මෙම කලාපය තුළ දියුණු නාගරික ලක්ෂණ ඉස්මතු කරන ප්‍රදේශ මෙන් ම නොදියුණු ග්‍රාමීය ලක්ෂණ පවතින ප්‍රදේශ පවතින්නේ අලුත් ආර්ථික සංවර්ධනයත් සමඟ ආසියාවේ අසිරියේ හිමිකරුවෙක්  වීමට මහත් වූ අපේක්ෂාවෙනි. නොදියුණු යැයි සම්මත ලක්ෂණ ගාල්ල  දිස්ත්‍රික්කයේ ඉස්මතුවීමට රටේ  අනිකුත් ප්‍රදේශවලට හේතුවන පොදු කරුණු ම බලපා ඇති බව දැනට පැහැදිලි ව පවතින කාරණාවක් වී ඇත. 
     
    එනම් ආර්ථිකමය ගැටලු, පවුල්වල විසරීයාම, පවතින සම්පත්වලින් ඉහල ඵලදායිතාවක් ලබා ගැනීමට නොහැකි  වීම යන කාරණා වේ. එමෙන් ම මෙම කාරණා තුළින් ළමා අපචාර, කාන්තා හිංසනය වාර්තා වැඩිවීම, දිවිනසා ගැනීම් වැඩිවීම, සමාජයීය පරිහානිය ඉහළ යාම වැඩි වී ඇති බවද ගම්‍ය කරයි. මෙම සමාජ ප්‍රශ්න ගාලු දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ව ජීවත්වන අඩු ආදායම්ලාභී ජනතාවගෙන් උද්ගත වන සමාජයීය ප්‍රශ්නයක් ලෙස ද හඳුනාගෙන ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාව 269,000ක් පමණ වන විට එයින් 100,000කට ආසන්න පිරිසක් තේ වගාව ආශ්‍රිත ව ජීවිකාව ගොඩනඟාගත් පුද්ගලයන් වන අතර 50,000කට ආසන්න ප්‍රමාණයක් කුරුඳු වගාව ආශ්‍රිතව ජීවනෝපාය මාර්ග සකසාගත් පිරිසක් වෙති.
     
    මෙම කරුණු පාදක කරගත් ගාල්ල මහ දිසාපති, දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු අවම කර ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සමාජ ඵලදායිතා සතිය නම් කරමින් සමාජ ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහනකට වර්තමානයේ මුල් පියවර තබා ඇත. ඒ  අනුව මෙහි පළමු පියවර වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජීවනෝපාය මාර්ගයක් වන කුඩා වතු ආශ්‍රිත තේ, කුරුඳු හා රබර් වගාවන්හි ඵලදායිතාව උපරිමය සඳහා මෙන්ම ඒ ආශ්‍රිත ව ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය  උසස් කිරීමට කටයුතු යොදා ඇත. එමගින් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඉලක්කයක් වන ගාල්ල දිස්ත්‍රික් ජනතාවගේ  9.9%ක් වන දිළිඳුකම අඩු කිරීම මෙමගින් අපේක්ෂා කරයි.
     
    download 2වර්තමානය වන විට මෙම වැඩසටහන සඳහා ස්ථාපිත ක්‍රියාකාරී මෙහෙයුම් කමිටුව මගින් ජීවනෝපාය මාර්ග දෙකක් ලෙස තේ හා කුරුඳු ආශ්‍රිත ජීවනෝපාය කටයුතුවල ඵලදායිතාව වැඩිදියුණු කිරීමට  කටයුතු යොදා ඇත. එමෙන් ම  මෙම ජීවනෝපායන් පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයේ දී තේ හා කුරුඳු සඳහා  විශේෂ වෙළෙඳපොළක් තිබීම, ගැනුම්කරුවන් සමීපයේ සිටීම, වෙළෙඳපොළ ඇතිවන ඉහළ භාණ්ඩ අවශ්‍යතාව, ශ්‍රී ලාංකික තේ හා ආදේශන නොවන කුරුඳු සඳහා පවතින ඉල්ලුම හා පර්යේෂණ මගින් ලබා ගත හැකි නව නිපැයුම්වලින් නිර්මිත විශාල සම්පත් හා සේවා ප්‍රමාණයක් පැවතීම යන කරුණු නිසා තේ හා කුරුඳු ක්ෂේත්‍රයන් හි ඵලදායිතාව ඉහළ නැංවීම සාර්ථක ඉදිරි ඉලක්කයක් ලෙස මේ වන විටත් හඳුනාගෙන ඇත. 
     
    ප්‍රවර්ධනය තුළින් වැඩි ආදායමක් ලබා ගත හැකි භෝග සම්පතක් ලෙස කුරුඳු හා තේ වගාව හඳුනාගත්ත ද, මේ වන විට ලබා ගත හැකි උපරිම අස්වැන්න නෙළා ගැනීමට වගාකරුවෝ අපොහොසත් වී තිබීම දේශීය ආර්ථිකයට ලැබෙන ආදායම් නොලැබී යාමකි. එනම් කුඩා තේ වතු අධිකාරිය පවසන ආකාරයට අක්කරයකින් තේ කිලෝ ග්‍රෑම් 650 පමණක ප්‍රමාණයක් ලබා ගත හැකි වුව ද වගා හිමිකරුවෝ තේ අක්කරයකින් ලබා ගන්නා දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 350ක සාමාන්‍ය අගයක පවතින බවය. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය තුළ තේ කිලෝ ග්‍රෑම් 1000ක ප්‍රමාණයක් අක්කරයකින් ලබා ගන්නා පිරිස 10%ක් පමණ අඩු  ප්‍රමාණයක් බව සඳහන් වේ. කුරුඳු භෝගය ගැන සලකා බැලීමේ දී, එහි තත්ත්වය ද එම ආකාරයෙන් ම පවතී. එනම් කුරුඳු අස්වැන්න කිලෝ ග්‍රෑම් 150/200ක අගයක් පවතින අතර අපනයන කෘෂිකර්ම දෙපාර්තෙම්න්තුවට  අනුව කුරුඳු අක්කරයකින් කුරුඳු කිලෝ ග්‍රෑම් 450ක පමණ අස්වැන්නක් වසරකට ලබා ගත හැකි බව සඳහන් වේ. 
     
    download 3එබැවින් මේ වන විට ඵලදායිතා ප්‍රවර්ධන කමිටුව මගින් ඵලදායිතාව අඩු වීමට හේතු හඳුනාගනිමින් පවතී. එනම් ප්‍රධාන වශයෙන් වගාකරුවෝ දැනුවත් කිරීම සඳහා අවශ්‍ය සේවා පහසුකම් ලබා ගැනිමට ඇති අපහසුතාව, එනම් සේවා සැපයීමට සිටින නිලධාරීන් ගණන අඩු සංඛ්‍යාවක් වන අතර 90,000ක් පමණ වන ඉඩම් කැබලි සංඛ්‍යාවකට ඔවුන්ගේ උපදේශන සේවාව තුළින් වගාකරුවෝ සඳහා දැනුවත් භාවය ලබා දිය යුතුය. ඒ මගින් එක් අයෙකුට ඉඩම් 4000කට වඩා වැඩි සංඛ්‍යාවකට තම  උපෙද්ශන සේවාව සැපයිය යුතු අතර ඒ සඳහා ඔවුනට හිමි සම්පත් හා කාලය ප්‍රමාණවත් නොවන්නේය. කාර්යාල තුළ අතිරේක නිලධාරීන් සිටිය ද ඔවුහු තම රාජකාරියෙන් බැහැර නොවන නිසා හෙවත් වෙනත් කටයුත්තකට සහය දැක්වීමට කැමැත්ත නොදැක්වීම මත ඔවුහු මැඳිරිගත මානසිකත්වයෙන් යුත් නිලධාරියෝ ලෙස හඳුනාගෙන ඇත. ඔවුන්ගේ මෙම මානසිකත්වය නිසා අතිරේක සේවා සම්පත වැදගත් කටයුත්තකට දායක නොවන සම්පතක් ලෙස අපතේ යාමක් සිදුවේ.
     
    මෙම ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහනේ දී ප්‍රධාන වශයෙන් වගාකරුවෝ පිළිබඳ සලකා  බැලීමේ  දී රජය මගින් ලබා දෙන දැනුම ලබා ගැනීම සඳහා සංවිධානගත වීම අඩුවීම භෝග ඵලදායිතාව අඩු මට්ටමක පැවතීමට හේතු වී ඇත. ඒ අනුව මෙහි පවතින දුර්වලතා හඳුනාගත් නිලධාරීහු ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහනට සම්බන්ධ වන්නේ සියල්ල අවබෝධ කරගත් පරිසරයකින් පසු විෂය ක්ෂේත්‍රයේ  සිය කාර්යයට එහා ගිය මැදිහත් වීමකටය. ප්‍රායෝගිකව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අභියෝගයක් වුව ද එමගින් ජනතාවගේ ජීවන අර්බුද විසඳා ගැනීමට මඟ පෙන්වීම අරමුණු කර ගෙන ඇත.
     
    මෙම වැඩපිළිවෙළ ආරම්භයේ දී ප්‍රථමයෙන් ම ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් අනුව ප්‍රාදේශීය කණ්ඩායම් සංකල්පය සවිබල ගැන්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම කටයුත්ත උදෙසා වසමක ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී ,කෘෂි පර්යේෂණ නිලධාරී හා ආර්ථික සංවර්ධන නිලධාරී යන කණ්ඩායම මුලික කරගෙන ඇත. ඒ ආකාරයෙන් මෙම කණ්ඩායම ප්‍රාදේශීය ලේකම් එහි නියමුවා වශයෙන් ප්‍රාදේශීය මෙහෙයුම්  කමිටුවේ ආරම්භය 2012 වර්ෂයේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන්නකි. ප්‍රථමයෙන් කුරුඳු වගාවේ නියුතු 31දෙනෙකු සමඟ සාකච්ඡා කර ආරම්භ කරන ලද මෙම වැඩසටහන සතිපතා පවත්වන ලද ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුවල  තීන්දු තීරණ මත ඉදිරි කාර්යයන්ට සැලසුම් සකස් කරන ලදී. මෙහි දී විශේෂයෙන් ම අපනයන කෘෂිකර්ම නිලධාරීන්, කුඩා තේ වතු නිලධාරීන් හා සෙසු නිලධාරීන් විසින් භෝග වගාකරුවෝ සඳහා තම ඉඩම්වල ඇති භෝගවල සතු ආර්ථික වටිනාකම හා ඒ සඳහා ඵලදාව වැඩිදියුණු කර ගැනීමට හැකි ක්‍රම ගැන දැනුවත් භාවයට ගෙන එමින් ඵලදායිතාව අඩුවීමට හේතුවන කාරණා පැහැදිලි කර දෙනු ලැබීය. ඒ අනුව පසේ ආම්ලිකතාවය වෙනස්වීම මත ඵලදායිතාව වෙනස් වන බවද පස සංරක්ෂණය, පඳුරු පාලනය, පසට ගැලපෙන උසස් පොහොර භාවිතය හා අස්වැන්න ලබා ගැනීමේ දී තේ දළු නෙළීමේ ක්‍රමවත් භාවය, කුරුඳු අස්වැන්න ලබා ගන්නා නිවැරදි ක්‍රමයන් යන අස්වැන්න වැඩි කර ගතහැකි ක්‍රමයන් පිළිබඳ වගාකරුවන් දැනුවත් භාවයට පත් කරන ලදී. 
     
    මෙම  කාල වකවානුවේ දී ලබාගත් ප්‍රගතිය මූලික පදනම කරගත් ප්‍රාදේශීය නියමුවෝ මෙහි ඉදිරි ගමන පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ සාකච්ඡාවන් ආරම්භ කරන ලද්දේ මුදල් අමාත්‍යාංශයේ ද අනුදැනුම අතැතිවය. ඒ යටතේ මේ වන විට ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන මගින් සපුරාගත් ඉලක්ක  ලෙස තාක්ෂණික ගැටලු විසඳා ගැනීමට ඒ ඒ භෝගයන්ට අදාළ ව සේවා උපදෙස් ලබා ගැනීමට වතු හිමියන්ට අවස්ථාව ලබා දීම හා වතු හිමියන්ගේ ගැටලු විසඳා ගැනීමට ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන ජාලයක් නිර්මාණය කර ගැනීමට පසුබිම සකස් කරදීම ළඟා කර ගත් සාර්ථක ඉලක්කයන් වේ.
     
    වර්තමානය වන විට මෙම දැවැන්ත වටිනා මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික්කය තුළ මෙහෙයුම් කමිටු 18ක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහනේ ඉදිරි සැලසුම් සකස් කරමින් ප්‍රධාන ඉලක්කයන් දිනා ගැනීමට මෙම කමිටුව තුළ ඇති වටිනා ම සාධකය වන්නේ උප මෙහෙයුම් කමිටු 18හි ක්‍රියාකාරිත්වයයි. එහි ක්‍රියාකාරිත්වය යනු ගාලු දිස්ත්‍රික්කයේ  අනාගත සුබ නිමිති වේ.
     
    2013/2014 ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන මෙසේ සාර්ථක වන විට 2 වන අදියර ලෙස 2015 දී සපුරාගැනීමට ඉලක්ක කරගෙන පවතින අරමුණු කිහිපයක් පවතී.
     
    01. පළමු අදියරේ ක්‍රියාත්මක වු ග්‍රාම නිලධාරී වසම්වල පහසුකාරකයන් 1105ක ගේ මැදිහත්වීම මත නව පවුල් 10,000ක් සම්බන්ධ කර ගැනීම.
     
    02. ප්‍රජා සංවිධාන ක්‍රියාකාරීන් අතරින් වසමකට 05 බැගින් වසම් 284ක් සඳහා මැදිහත්කරුවන් 1420ක් හඳුනාගෙන එක් ප්‍රජා ක්‍රියාකාරියෙකුට නව වසම තුළ නව පවුල් 10 බැගින් වැඩසටහනට යොමු කර ගැනීමට කටයුතු කිරීම.
     
    03. දිස්ත්‍රික්කයේ ඉතිරි ග්‍රාම නිලධාරි වසම් 612 තුළ වැඩසටහන ආරම්භ කිරීම මගින් නව පවුල් වැඩසටහන සඳහා සම්බන්ධ කර ගැනීම, ඒ තුළින් 48,680ක පමණ පහසුකාරකයන් මෙම වැඩසටහනට එක් කිරීමට අපේක්ෂා කරයි.
     
    විධිමත්ව පියවර තබමින් ඉදිරියට පැමිණෙන ගාලු දිස්ත්‍රික්කයේ තවත් සාධනීය සුභ ලකුණක් වන මෙම ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන ගාල්ලට සැබැවින්ම හෙමින් පායන අරුණාලෝකයක් ව හෙට දින ප්‍රාණවත් කරන මහා හිරු කදම්භයක්ව එය ගාලු කොටුව දෙසින් පෙනෙන සුන්දරත්වයෙන් පිරි හිරුට වඩා එකතු කළ අගයක් සහිත ව දිදුලන රැස් දහරක් වනු ඇත.
     
    - ගෞරි නවරත්න
    ප්‍රවෘත්ති නිලධාරී
    ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu