අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ඔක්තෝබර් මාසයේ දී විදේශීය අංශයේ ක‍්‍රියාකාරිත්වය

    දෙසැම්බර් 17, 2014
    2014 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලපරිච්ඡේදය තුළ දී අපනයන ඉපැයුම්, විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ සහ සංචාරක ඉපැයුම් මෙන්ම මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ලෙස වූ විදේශ විනිමය ලැබීම් අඛණ්ඩ ව ඉහළ යාම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ විදේශීය අංශය සතුටුදායක ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


    ගෙවුම් තුලනයේ ජංගම හා මූල්‍ය ගිණුම් හි අපේක්ෂිත ලැබීම් සමඟින් 2014 වසරේ ඉතුරු කාලපරිච්ඡේදය තුළ දී විදේශීය 
    අංශය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නොවැම්බර් මාසයේ දී විශාල වශයෙන් සංචාරකයන් පැමිණීම ආරම්භ වීමත් සමඟ සංචාරක ඉපැයුම් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර උත්සව සමය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මෙම වර්ධනයන් සමඟ වෙළෙඳ හිඟයෙ හි අපේක්ෂිත අඩුවීම ජංගම ගිණුමේ හිඟය අඩු වීමට හේතුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය ඍජු ආයෝජන, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වන ලැබීම් හා පෞද්ගලික අංශයෙ හි ලැබීම් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශක්තිමත් කිරීමට දායක වනු ඇත. මේ අනුව මෑත කාලීන ව රාජ්‍ය සුරැකුම්පත් හා හිමිකම් වෙළෙඳපොළෙ හි වූ ඇතැම් විචලනයන් හමුවේ වුව ද වසර අග  වන විට ගෙවුම් තුලනය හිතකර අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    අපනයන ක‍්‍රියාකාරිත්වය දෙස බැලීමේදී 2014 ජූනි මාසයේ සිට අඛණ්ඩව මාසික වර්ධනයක් වාර්තා කළ අපනයන ආදායම, 2014 ඔක්තෝබර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 899ක් දක්වා 13.7%කින් අඩු වූ අතර, 2014 පළමු මාස දහය තුළ දී සමුච්චිත අපනයන ආදායම එ.ජ. ඩොලර් මිලියන 9,187ක් දක්වා 9.7%කින් වර්ධනය විය. 2013 වසරේ වාර්තා වූ ඉහළ ම අපනයන ආදායම එම වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්තා වීම, අපනයන ආදායමේ මෙම අඩුවීම සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු විය. 2014 ඔක්තෝබර් මාසයේ දී අපනයන ආදායමේ අඩුවීමට ප‍්‍රධාන වශයෙන් කාර්මික අපනයන යටතේ වර්ග කර ඇති රෙදිපිළි හා ඇඟලුම් අපනයනය දායක වූ අතර අනතුරුව ප‍්‍රවාහන උපකරණ සහ රබර් නිෂ්පාදිත අපනයනය හේතු විය. 2014 ඔක්තෝබර් මාසයේ දී යුරෝපා සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වෙත කළ ඇඟලුම් අපනයනය පිළිවෙලින් 10.1%කින් සහ 8.4%කින් අඩුවීමත් සමඟ රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ආදායම 8.7%කින් අඩු විය. 

    මේ අතර කුළුබඩු අපනයන ආදායම අඛණ්ඩ ව තවදුරටත් අඩු වූ අතර පෙර වසර සමඟ සැසඳීමේ දී අඩු නිෂ්පාදනයක් පැවතීම මේ සඳහා හේතු විය. තේ අපනයන ආදායම ද අඩු වූ අතර මේ සඳහා අපනයන මිල සහ පරිමාව යන දෙකෙහි ම සිදු වූ අඩු වීම හේතු විය. එසේ වුවද, පොල් අපනයන ආදායම 51.5%කින් වර්ධනය වූ අතර ප‍්‍රධාන වශයෙන් පොල් මද නිෂ්පාදිත අපනයන ආදායමේ වූ සැලකිය යුතු වර්ධනය මේ සඳහා හේතු විය. 2014 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඉන්දියාව සහ ජර්මනිය ප‍්‍රධාන අපනයන ගමනාන්තයන් වූ අතර එය මුළු අපනයනයෙන් 50%ක් පමණ විය.

    ආනයන ක‍්‍රියාකාරිත්වය දෙස බැලීමේ දී 2014 ඔක්තෝබර් මාසයේ දී ආනයන සඳහා වූ වියදම එ.ජ. ඩොලර් මිලියන 1,750ක් දක්වා 25.6%ක ඉහළ අනුපාතයකින් වර්ධනය වූ අතර, සමුච්චිත වශයෙන් සැලකූ විට 2014 වසරේ පළමු මාස දහය තුළ දී ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 15,972ක් දක්වා 7.3%කින් වර්ධනය විය. 2014 ඔක්තෝබර් මාසයේ ආනයන වියදමෙහි වර්ධනය සඳහා විශේෂයෙන්ම ඉන්ධන ආනයන ප‍්‍රධාන වශයෙන් හේතු වූ අතර, අනතුරුව යතුරුපැදි හා මෝටර් රථ වැනි පෞද්ගලික පරිහරණය සඳහා වූ රථවාහන ආනයනයන්හි වූ කැපී පෙනෙන වර්ධනය ද හේතු විය. පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන අඩු මට්ටමක පැවතිය ද, බොරතෙල් ආනයන ඉහළ යාම හේතුවෙන් ඉන්ධන සඳහා වූ වියදම සැලකිය යුතු ලෙස වර්ධනය විය. වසර තුළ දී දේශීය සහල් නිෂ්පාදනය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් මෙම මාසය තුළ දී සහල් ආනයන ද සැලකිය යුතු ලෙස වර්ධනය විය. රෙදිපිළි හා රෙදිපිළි උපාංග, තිරිඟු හා බඩඉරිඟු, කඩදාසි හා ඝන කඩදාසි, එළවළු හා කිරි නිෂ්පාදන ආනයන ද සලකා බලන මාසය තුළ ඉහළ මට්ටමක පැවතුණි.

    සියලු ම උප කාණ්ඩවල වර්ධනයක් පෙන්නුම් කරමින් ආයෝජන භාණ්ඩ සඳහා වූ වියදම 12.9%කින් වර්ධනය විය. කෙසේ වුවද, පොහොර ආනයන පරිමාව සැලකිය යුතු ලෙස අඩුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම මාසය තුළදී පොහොර ආනයන වියදම අඩු විය. 2014 වසරේ පළමු මාස දහය තුළ දී ඉන්දියාව, චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව සහ ජපානය යන රටවල් ප‍්‍රධාන ආනයන ප‍්‍රභවයන් වූ අතර මුළු ආනයනවලින් 58%ක් පමණ මෙම රටවලින් සිදු කරන ලදී. 

    වෙළෙඳ ශේෂය ගණනයේදී වෙළෙඳ හිඟය, 2013 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 352ට සාපේක්ෂව 2014 ඔක්තෝබර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 852ක් දක්වා පුළුල් විය. 2013 වසර සඳහා වාර්තා වූ ඉහළ ම මාසික අපනයන ආදායම සහ අවම මාසික ආනයන වියදම 2013 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, 2014 වසරේ පළමු මාස දහය තුළ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 4.3%කින් පුළුල් විය. 

    සංචාරක ඉපැයුම්, 2014 වසරේ ඔක්තෝබර් මාසයේ දී 121,576ක සංචාරක පැමිධීම් ප‍්‍රමාණයක් වාර්තා කළ අතර, එය වාර්ෂිකව 13.6%ක සතුටුදායක වර්ධනයකි. මේ අනුව, වසරේ පළමු මාස දහය තුළදී සමුච්චිත සංචාරක පැමිණීම් 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 1,228,754 දක්වා 21.5%කින් වර්ධනය විය. 2014 ඔක්තෝබර් මාසයේ දී සංචාරක ඉපැයුම් 2013 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 144ට සාපේක්ෂව එ.ජ. ඩොලර් මිලියන 176 ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. සංචාරක පැමිණීම් හි සැලකිය යුතු වර්ධනය මෙන්ම ඇස්තමේන්තුගත දෛනික සාමාන්‍ය වියදම ඉහළ යාම හේතුවෙන් 2014 වසරේ පළමු මාස දහය තුළ දී සමුච්චිත සංචාරක ඉපැයුම් 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වූ එ.ජ. ඩොලර් බිලියන 1.4 සිට එ.ජ. ඩොලර් බිලියන 1.8 දක්වා 30.4%ක වර්ධනයක් වාර්තා කළේය.

    විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ 2014 ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ 2013 වසරේ අනුරුප කාලපරිච්ඡේදයේ දී වූ එ.ජ. ඩොලර් මිලියන 573 සමඟ සැසඳීමේ දී එ.ජ. ඩොලර් මිලියන 600 දක්වා 4.7%කින් වර්ධනය විය. මේ අතර, 2014 වසරේ පළමු මාස දහය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණයන් හි සමුච්චිත ලැබීම් 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වූ එ.ජ. ඩොලර් මිලියන 5,236 සිට එ.ජ. ඩොලර් මිලියන
    5,690 දක්වා 8.7%කින් වර්ධනය විය. 

    මූල්‍ය ලැබීම් 2014 වසරේ පළමු මාස දහය තුළ රජය විසින් ලබාගත් දිගුකාලීන ණය එ.ජ. ඩොලර් මිලියන 1,411ක් විය. 2014 ජනවාරි මස සිට ඔක්තෝබර් මස අග දක්වා රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 109ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර, 2014 නොවැම්බර් අග දක්වා කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත එ.ජ. ඩොලර් මිලියන 150ක ශුද්ධ විදේශීය ආයෝජන ලැබීම් ප‍්‍රමාණයක් වාර්තා විය. තවද, ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් 2014 සැප්තැම්බර් මාසයේ දී සිදු කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව තුළින් ලද එ.ජ. ඩොලර් මිලියන 250 ද ඇතුළුව 2014 වසරේ පළමු මාස දහය තුළ දී බලපත‍්‍රලාභී වාණිජ බැංකු සහ බලපත‍්‍රලාභී විශේෂිත බැංකු වෙත වූ ලැබීම් එ.ජ. ඩොලර් මිලියන 450ක් විය. 

    ගෙවුම් තුලනයේ සමස්ත තත්ත්වය, මූල්‍ය ගිණුම සහ ජංගම ගිණුම වෙත වූ අඛණ්ඩ විදේශ විනිමය ලැබීම් සමඟ 2014
    වසරේ පළමු මාස දහය තුළ දී ගෙවුම් තුලනය 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වූ එ.ජ. ඩොලර් මිලියන 745ක අතිරික්තයට සාපේක්ෂව එ.ජ. ඩොලර් මිලියන 1,761ක අතිරික්තයක් වාර්තා කර ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. 

    2014 ඔක්තෝබර් මස අග වන විට ජාත්‍යන්තර සංචිත ශ‍්‍රී ලංකාවේ දළ නිල සංචිත ප‍්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 8.8ක් වූ අතර බැංකු අංශයේ විදේශීය වත්කම් ඇතුළත්ව මුළු විදේශීය වත්කම් එ.ජ. ඩොලර් බිලියන 10.3ක් විය. ආනයනික මාස වශයෙන් සැලකූ විට, 2014 ඔක්තෝබර් මස අග වන විට දළ නිල සංචිත ප‍්‍රමාණය ආනයනික මාස 5.5කට සමාන වූ අතර මුළු විදේශීය වත්කම්, ආනයනික මාස 6.4කට සමාන විය. එ.ජ. ඩොලර්ඣ මිලියන 1,980ක විදේශීය ණය සේවාකරණ ගෙවීම් සහ එ.ජ. ඩොලර් මිලියන 624ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්ථ ණය පහසුකම සඳහා වූ ගෙවීම් හමුවේ වුවද ජාත්‍යන්තර සංචිත හිතකර මට්ටමක පවත්වා ගැනීමට හැකි වීම සැලකිය යුතු තත්ත්වයකි.

    විනිමය අනුපාතිකයේ හැසිරීම, 2014 දෙසැම්බර් මස 09 වන විට එ.ජ. ඩොලරයට එරෙහි ව රුපියල 0.2%ක ආන්තික අවප‍්‍රමාණයක් පමණක් වාරතා කරමින් ස්ථාවරව පැවතුණි. කෙසේ නමුත්, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික හැසිරීම මත පදනම්ව 2014 දෙසැම්බර් මස 09 වන විට ශ‍්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව 11.9%කින් ද, ජපන් යෙන්වලට එරෙහිව 14.8%කින් ද, ස්ටර්ලින් පවුමට එරෙහිව 5.2%කින් ද, කැනේඩියානු ඩොලරයට එරෙහිව 7.7%කින් ද,  ඕස්ටේ‍්‍රලියානු ඩොලරයට එරෙහිව 7.9%කින් සහ චීන රෙන්මින්බිවලට එරෙහිව 1.8%කින් සැලකිය යුතු ලෙස අධිප‍්‍රමාණය විය. මේ අතර, 2014 දෙසැම්බර්ඣ මස 09 වන විට ශ‍්‍රී ලංකා රුපියල, ඉන්දියානු රුපියලට එරෙහිව 0.3% කින් අවප‍්‍රමාණය වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya