මාර්තු 25, 2019

tami eng youtube google twitter facebook

    පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ හෙට දවසේ අවශ්‍යතාව

    නොවැම්බර් 12, 2014

    ශ‍්‍රී ලංකාව පාරිසරික විවිධත්වය සහ පාරිසරික පරිභෝජනය තුළ ඉතා ඉහළ අගයක් ගනී. දකුණු ආසියාතික රටකට ආවේණික වූ පාරිසරික ව්‍යාප්තිය සෑම බිම් අඟලක් පුරාවට ම පැතිර පවතින රටක් ලෙස ශ‍්‍රී ලංකාව හැඳින්විය හැකි වුවද මෙහි පවතින විශේෂත්වය වන්නේ, අන් ආසියානු රටවල්වලට සාපේක්ෂව සුවිශේෂී අන්‍යතා රැසකින් මෙරට පාරිසරික පද්ධතිය පැවතීමයි. අප ජීවත්වන වටපිටාව පරිසරය ලෙස සරලව ම හැඳින්විය හැක. නමුත් මෙම සරල අර්ථකථනයට එහා දිව ගිය ඉතා ගැඹුරු අර්ථයක් එකී මාතෘකාව විෂයෙහිලා පවතී.


    පරිසරය හා එකනෙකට දිවයන බුද්ධිමත් ම සත්ත්ව කොට්ඨාසය මිනිසා ලෙස හඳුනාගත හැකිය. සතුන්ට සාපේක්ෂව අප වටා පවතින පාරිසරික විවිධත්වය අප විසින් පරිභෝජනය කිරීම ඉතා ඉහළය. මිනිසා මෙම පාරිසරික පද්ධතිය අවබෝධයකින් තොරව ද පරිභෝජනය කිරීම ද ඉතා ඉහළ අගයක පවතී. මෙම පාරිසරික පද්ධතිය අවබෝධයන් ගෙන් තොර ව පරිභෝජනය කිරීම නිසා නූතනයේ ඇති ව තිබෙන පාරිසරික උවදුරු විෂයෙහි ලා මහත් බලපෑමක් සිදු කොට තිබේ. දෛනික පරිභෝජන රටාවට පමණක් පරිසරය වෙතින් අදාළ දෑ උකහාගනු ලබන මිනිසා පරිසරය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර වෙනුවෙන් දක්වනු ලබන්නේ ඉතා අල්ප වූ ප‍්‍රතිචාරයකි.

    ග‍්‍රීක භාෂාවෙන් පරිසරය ඔයිකස් ලෙස හඳුන්වයි. තමන් ජීවත් වන වටපිටාව සහ ඒ සමඟ දක්වන අන්තර් සබඳතාව මෙහි සරල ම අර්ථයයි. මෙහි පවතින විද්‍යාත්මක ඉඩහසර අති විශාල වන අතර විද්‍යාත්මක හේතු ඵලවාදයන් පාරිසරික තත්ත්වය හා ගැටී පවතී. ජලය, වාතය, හිරුඑළිය, ගහකොළ, සතා සිව්පාවුන්, ගේ දොර, සමුද්‍රය මෙකී සියල්ල ම අප දෛනික ව ජීවිතය තුළ තදබල ලෙස ඇසුරු කරනු ලබන පාරිසරික සාධකයි. මෙබ සාධක විෂයෙහිලා පවතින ජීව විද්‍යාත්මක සහ භෞතික විද්‍යාත්මක පදනම ප‍්‍රජාව විෂයෙහිලා ලබා දිය යුතු සරල අවබෝධයක් පැවැතීම අනිවාර්යය වෙයි.

    පාරිසරික ජනමාධ්‍යවේදයේ (Environmental  journalism) අවශ්‍යතාව ඉස්මතු වන්නේ මෙකී කරුණු කාරණා හේතුවෙනි. ජනමාධ්‍යාවේදියා යනු තොරතුරු සහ සිදුවීම් මාධ්‍ය වෙත සමීප කරවීම සහ එම තොරතුරු මඟින් සමාජයට අවශ්‍ය දැනුවත්භාවය සැලසීම යන විෂය පිළිබඳ ව හැදෑරීම සිදු කරන පුද්ගලයායි. එය විෂයයක් ලෙස භාවිතය හා අවබෝධය යන කරුණු මත ලබන ක්ෂේත‍්‍රගත වෘත්තීයකි. මෙම වෘත්තීය විවිධ විෂයයන්ට සමගාමීව එකිනෙකට වෙනස් වුවද ඔවුන් සියලු දෙනාගේ ම කාර්යභාරය තොරතුරු සහ සිදුවීම් ප‍්‍රවෘත්තිගත කිරීමයි. පරිසරය යන විෂය සමගාමීව ද මෙවැනි ම වූ වෘත්තියක් ක‍්‍රියාත්මක වේ. ලංකාව තුළ මෙම වෘත්තීය තවදුරටත් නව වෘත්තීය ස්වභාවයක් වුව ද යුරෝපය සහ අප‍්‍රිකානු රටවල මෙම වෘත්තීය වඩාත් ජනප‍්‍රිය මෙන් ම ජනතාව සහ මාධ්‍ය විෂයෙහිලා සහ සම්බන්ධතා ගොඩනගනු ලබන විෂය ක්ෂේත‍්‍රයක් බවට පත් වී හමාරය.
     
    පාරිසරික ජනමාධ්‍ය, පාරිසරික ගවේෂණය යන ක්ෂේත‍්‍රයෙන් බිඳී ආවකි. ගවේෂණය යන ක්ෂේත‍්‍රය දැනට ශතවර්ෂ කිහිපයක සිට ලොව පුරා සිදු වූ ජනප‍්‍රිය විනෝද මාධ්‍යයක් විය. දේශගවේෂක ක‍්‍රිස්ටෝපර් කොලොම්බස් (Christopher Columbus)  රැල්ෆ් වැල්ඩෝ එමර්සර් (Ralph Waldo Emerson)  හෙන්රි ඩේව්ඩ් තෝරිව් (Henry David Thoreaw) යනාදීන් 19 වන ශත වර්ෂයේ සහ ජෝන් බරෝ (John Burrough) සහ ජෝන් මූයිර් (John Muir) 20 වන ශත වර්ෂයේත් මෙම ගවේෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් වූ අතර චාල්ස් ඩාවින් වැනි ප‍්‍රමුඛයන් ද මෙම ක්ෂේත‍්‍රයේ කැපී පෙනේ. මොවුන් සිය ගවේෂණයට අමතරව සිදුකළ සුවිශේෂී ම ක‍්‍රියාවලිය වූයේ සිය ගවේෂණ දත්ත සටහන් කර තැබීමයි.

    එම දත්ත පසු කලෙක පුවත්පත් මාධ්‍ය විෂයෙහි ලා සමාජගත කිරීමට අවශ්‍ය පසුබිම පවා නිර්මාණය වූ අතර ප‍්‍රජාව විෂයෙහිලා මෙම ප‍්‍රවෘත්තීන් වඩාත් ජනප‍්‍රිය වූ අතර වැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය. පාරිසරික ජනමාධ්‍ය විෂය, විෂයයක් ලෙස හැඩගැසීම 1960 දශකයෙන් පසු සිදු විය. මේ හා සමගාමීව පාරිසරික සන්නිවේදන විෂය ආරම්භ වී පැවති අතර පාරිසරික සන්නිවේදනයේ ම තවත් එක් කාණ්ඩයක් ලෙස මෙම පාරිසරික ජනමාධ්‍යවේදය සමාජගත විය. යුරෝපය ආශ‍්‍රිත ව ගොඩනැගී පවතින කාර්මික පරිසරය නිසා පාරිසරික ප‍්‍රවණතා මොහොතින් මොහොත අභියෝගයට ලක් විය. මේ නිසා මිනිසා වටා පවතින යහදායක පරිසරය අවපැහැයට වෙනස් වූ අතර මේ පිළිබඳ ජනමාධ්‍ය විසින් නිතර දෙවේලේ මිනිස් ප‍්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පැන නැගිණි. මිනිසාගේ ක‍්‍රියාවලීන් හි පවතින ප‍්‍රතිපෝෂණය ලෙස මෙම පාරිසරික සමතුලිතතාව බිඳවැටීම ආරම්භ වූ අතර එය මිනිසා විසින් ම අවම කරගත යුතු බවට තීරණය විය. එහි අවසානය වූයේ පාරිසරික ජනමාධ්‍යාව්දීන් වඩාත් වේගයෙන් සමාජගත වීමයි.


    ඒ අනුව 1966 සිට පාරිසරික න්‍යායපත‍්‍ර හඳුන්වා දීම සිදුවිය. පාරිසරික නීති (Environmental Policy)  පාරිසරික ආචාර ධර්ම (Environmental Ethics) ආදිය සමාජගත විය. පරිසරය විෂයෙහි ලා සිදුවන විවිධ හානිදායක තත්ත්වයන් මෙම මාධ්‍යවේදීන්  විසින් හඳුනාගන්නා ලද අතර ඔවුන් විසින් ඒවාට අවශ්‍ය දැනුවත්භාවය පුවත්පත් මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරන්නට විය. එසේම එම හානිදායක පාරිසරික පද්ධති සුරැකීමට අවශ්‍ය නීති රෙගුලාසි සැකසීමට පවතින රජයට බල කිරීම ද සිදු විය. මේ නිසා මෙම පාරිසරික ජනමාධ්‍යවේදීන් ප‍්‍රධාන මාධ්‍ය වෘත්තිකයන් ලෙස සමාජගත විය. ඔවුන් යුරෝපය සහ අප‍්‍රිකාව පුරා වේගයෙන් ව්‍යාප්ත විය. ඒ අනුව 1990 වසරේ පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ සමාජ කවය (Society of Environmental Journalists) බිහි විය. ඔවුන්ගේ ප‍්‍රධාන මෙහෙයවන්නේ පාරිසරික වාර්තාකරණය මඟින් මහජනතාව දැනුවත් කිරීමත්, ඒ සම්බන්ධ ව නිවැරදි මාර්ගය පෙන්වා දීමත් ය. නූතනය වන විට මෙම සමාජ ක‍්‍රමය විසින් මෙහෙයවනු ලබන අධ්‍යයයන ආයතන ලොව පුරා ක‍්‍රියාත්මක වන අතර ඊට සමගාමීව පාරිසරික ජනමාධ්‍යවේදීහු ද ක‍්‍රියාකාරී මට්ටමක සිටිති.

    පාරිසරික ජනමාධ්‍යවේදය ලංකාව වැනි පාරිසරික විවිධත්වයක් තුළට ඉතා අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නො වේ. පාරිසරික සන්නිවේදන විධික‍්‍රම හමුවේ පාරිසරික සුරක්ෂිතතාව සමාජගත කළ යුතු අතර පාරිසරික ව සිදුවන අවගමනය පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීම ද සිදුවිය යුතුය. ශ‍්‍රී ලංකාව තුළ පවතින පාරිසරික විවිධත්වය වාර්තාගත කිරීමත් ඒවාට අවශ්‍ය මාධ්‍ය අවධානය ලබා දීමත්, එමඟින් ජනතාව දැනුවත් කිරීමත් මේ යටතේ සරලව ම අවබෝධ කරගත හැකි කි‍්‍රයාදාමයයි. පරිසරික ජනමාධ්‍යවේදය තුළ දී පරිසරික විධික‍්‍රම, විෂය රටා වෙනස් වීම් සහ ජෛව විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳ ව ද දළ වශයෙන් අවබෝධයක් පැවතීම මෙම විෂයට සමගාමී ව ප‍්‍රගුණ කළ යුතුය.

    ලංකාව තුළ පවතින සුවිශේෂී පාරිසරික තත්ත්වය මූලිකව ම හැදෑරිය යුතුය. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන බහුලව ම මෙරට පවතී.  අමාත්‍යංශ මට්ටමේ සිට ශාඛා සමිති දක්වා වූ පෙළ ගැසීමක මෙම ආයතන පවතී. මෙම ආයතන තුළ පවතින ප‍්‍රතිපත්ති ආචාරධර්ම රීතිගත කරුණු ආදිය සරල සැකැස්මක් යටතේ අවබෝධයේ පැවතිය යුතුය.  එසේම ඒ සඳහා අවශ්‍ය උපදේශකත්වය පාරිසරික සහ ස්වභාවික සම්පත් අමාත්‍යංශය, වනජීවි සම්පත් අමාත්‍යංශය, මධ්‍යම පරිසරික අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන මඟින් ලබා ගත හැක. ආයතනගතව පවතින නීති රෙගුලාසි සහ පාරිසරික වටිනාකමකින් යුත් පරිසර තත්වයන් පිළිබඳ ව මනා අවබෝධයක් පැවතීම මෙම විෂය සමගාමිව පවතින ශාස්ති‍්‍රය අධ්‍යනයයි. 

    අධ්‍යයනයකින් තොරව මෙම පාරිසරික ජනමාධ්‍යවේදය හැදැරීමට අවශ්‍ය පසුබිම සකසා ගත නොහැක. පාරිසරික ජනමාධ්‍යවේදය, ජාතික තලයේ සිට ප‍්‍රාදේශීය මට්ටම දක්වා ව්‍යාප්ත විය යුතුය. මේ සඳහා සැකසුණු මාධ්‍ය බලමුළුවක් පැවතීම ඉතා ප‍්‍රයෝජනවත්ය.  මෙම වෘත්තිය පසුබිමින් අපේක්‍ෂිත අවසාන අරමුණු පාරිසරික සුරක්‍ෂිතතාව නම්, ඒ සඳහා අවශ්‍ය දිරිගැන්වීම රාජ්‍ය මට්ටමින් ලැබීම වඩාත් වැදගත් ය. නූතනයේ ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් ඉතා අතළොස්සක් පමණ ප‍්‍රාදේශීය ව පවතින පාරිසරික ගැටලු යම් ප‍්‍රමාණයකින් වාර්තාකරණය සිදුකරයි. එසේ වුවද මෙම ප‍්‍රවණතාව දැකිය හැක්කේ පුවත්පත් මාධ්‍ය තුළින් පමණි. විද්‍යුත් මාධ්‍ය මඟින් පාරිසරික දැනුවත්භාවය සහ එවැනි ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය වීම සිදුනොවන තරම්ය.

    මූලිකව ම පාරිසරික ව ඇති වී තිබෙන යම් තත්ත්වයක් පාරිසරික ගැටලුවක් ද, යන්න පිළිබඳ ව අවබෝධ කරගත යුතුය. පසුව එමඟින් සිදුවන හානිය පිළිබඳ ව අධ්‍යයනයක නියැළිය යුතුය. පසුව මෙම ගැටලුව නිසා  ප‍්‍රජාව සහ අන් පාරිසරික තත්වයන් විෂයෙහි ලා සිදුවන හානිය අවබෝධ කර ගත යුතුය. ඒ සම්බන්ධව ඡායාරූප, වීඩියෝ මාධ්‍ය, සහ විචාර, විවේචන ආදි දත්ත ඒකරාශී කර ගත යුතුය. මෙය එක්තරා ආකාරයකට ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. පසුගියදා මෙරට සිදු වූ රතුපස්වල ඛේදවාචකය, මීට කදිම උදාහරණයකි. දීර්ඝ  කාලයක සිට සිදු වූ ජල හානිය සහ පසට එක්රැස් වූ රසායනික ද්‍රව්‍ය දෛනික ජීවිත තුළට මහත් බලපෑමක් කිරීමට සමත් විය. දෛනික ජීවිතය තුළ දී ප‍්‍රජාව විසින් දකින මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් සාමාන්‍ය යැයි සැලකුවද ඒ හා සම්බන්ධව ගවේෂණයක නියැළෙන්නෙකුට මෙම පුවත කදිම පාරිසරික පුවත් අනාවරණයක් වනු ඇත. එය අපට මෑතකදී හමු වූ එක් උදාහරණයක් පමණි. එවැනි ම වූ‍ සිද්ධීන් කිහිපයක් නීත්‍යනුකූල ලේබලය මත නීත්‍යනුකූල නොවන තත්වයක සිට සිදුවන බව අමතක කළ යුතු නො වේ. පාරිසරික ජනමාධ්‍ය වැනි විෂයයන් පිළිබඳ ව අධ්‍යයන ක්ෂේත‍්‍රයක් පැවතිය යුත්තේ මෙබැවිනි.

    පාරිසරික ජනමාධ්‍ය වැනි විෂයයක් තුළ පවතින අධ්‍යයන ක්ෂේත‍්‍ර වඩාත් ගැඹුරු අර්ථයක් යටතේ පවතී. මතුපිටින් දකින පාරිසරික තත්ත්වයන්ට සාපේක්ෂව ඒ හා සමානව අභ්‍යන්තරිකව පවතින ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කළ යුතුය. එවැනි දත්ත මාධ්‍ය විෂයෙහි ලා ප‍්‍රජාව අතරට සන්නිවේදනය විය යුතුය. ජාත්‍යන්තර ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානයන්හි පවතින නෛතික රෙගුලාසි පිළිබඳ ව නූතනයේ වඩාත් ප‍්‍රගුණ කළ යුතු පාරිසරික ආරක්ෂණ විධික‍්‍රම වෙයි. පාරිසරික වෙනස්වීම් අවබෝධය එය ස්වයං අධ්‍යයනයක් බවට පත් වෙයි. මෙම ක්ෂේත‍්‍ර අධ්‍යයනය තුළ විශේෂිත වූ ක්ෂේත‍්‍රයන් අධ්‍යයනයක් බවට පත් වෙයි. මෙම ක්ෂේත‍්‍ර අධ්‍යයනය තුළ විශේෂිත වූ ක්ෂේත‍්‍රයන් අධ්‍යයනයට අවශ්‍ය ඉඩ හසර සකසා ගත හැක. උදාහරණයක් ලෙස දේශගුණික වෙනස්කම් පිළිබඳ ව අධ්‍යයනයක නියැළෙන්නෙකුට මේ සම්බන්ධව පවතින ජාත්‍යයන්තර නීති, ආචාර ධර්ම, ජාතික රෙගුලාසි ආදිය පිළිබඳ ව අධ්‍යයනය කළ යුතුය. ඒ අනුව, එම තත්ත්වයන් මෙරට දේශගුණික පාර්ශවයන් වෙත ආරෝපණය කරලීමත්, හඳුනාගත් ගැටුම්කාරී තත්ත්වයන් වෙත විසඳුම් සෙවීමත් සිදුකළ හැක. මෙය විමර්ශනාත්මක මෙන් ම විද්‍යාත්මක අධ්‍යයන ක්ෂේත‍්‍රයන් දක්වා පුළුල් විය හැකිය.

    1980 දශකයේ, ලෝකයේ දේශගුණික වෙනස්වීම් පිළිබඳ රාජ්‍ය මට්ටමෙන් සාකච්ඡාවට බඳුන් විය. 1988 දී පළමුවරට මෙම දේශගුණික වෙනස්කම් පිටුදැකීමට අන්තර්ජාතික අවධානය යොමු විය. ඒ අනුව මිහිමඬල උණුසුම් වීම (Global Warming) මොන්ටි‍්‍රයෙල් ප්‍රොටොකෝල් (Montreal Protocol)  වැනි සම්මුතීන් වෙනුවෙන් අන්තර්ජාතික ප‍්‍රජාව දිරිගැන්වීම සිදුවිය. දේශගුණ වෙනස්වීම පිළිබඳ අන්තර් රාජ්‍ය සභාව (Inter Governmental Panel on Climate Change – IPCC)  සමුළුව මෙහි එක් ප‍්‍රතිඵලයකි. පාරිසරික ජනමාධ්‍යවේදය තුළ මෙවැනි විෂය ධාරාවන් සුලබව දැකිය හැක්කේ යුරෝපය වැනි රටවල් ඇසුරෙනි. මෙවැනි ඉතා ඉහළ පාරිසරික ප‍්‍රවණතාවන් වෙනුවෙන් පාරිසරික ජනමාධ්‍යවේදය ලංකාව වැනි රටක ගොඩනැගීම තරමක අපහසු වුවද, මෙරට දේශගුණික ප‍්‍රවණතා වෙනුවෙන් මාධ්‍ය හරහා ප‍්‍රජාව දැනුවත් කිරීම වඩාත් සඵලදායි වේ. දේශගුණික වෙනස්කම් තුළට මෙරට මධ්‍යම පළාත බහුලව යොමු වේ. එමඟින් සිදුවන අලාභහානි සහ ඉන් සිදුවන පාරිසරික වෙනස් වීම් පිළිබඳ ව අධ්‍යයනය කිරීම යම් ප‍්‍රතිඵලදායී තත්ත්වයකි. මෙවැනි විෂයගත ක්ෂේත‍්‍රයක් වෙනුවෙන් පාරිසරික ජනමාධ්‍ය ප‍්‍රතිපත්ති සැකසිය යුතුය. ඒ අනුව ඒ ඒ මාධ්‍යයන් විෂයෙහි ලා පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ අවශ්‍යතාව ඉස්මතු විය යුතුය. ප‍්‍රවෘත්ති වාර්තාකරණය තුළ පාරිසරික සුරක්ෂිතභාවය වෙනුවෙන් එක් ප‍්‍රවෘත්තියක් හෝ ප‍්‍රචාරය වීමට අවැසි වැඩපිළිවෙළක් ගොඩනගා ගත හැකි නම් මූලික ම අරමුණ වන පාරිසරික දැනුවත් කිරීම ප‍්‍රජාව විෂයෙහි ලා ජනප‍්‍රිය වෙයි. විද්‍යුත් රූපවාහිනි නාලිකා බිහිවීමට අවශ්‍ය මූලිකම පසුබිම මේ පාරිසරික ජනමාධ්‍යවේදයේ ම තවත් එක් පැතිකඩකි.

    පාරිසරික ජනමාධ්‍යවේදය සහ ජනමාධ්‍යවේදීන්  විෂයෙහිලා, මෙරට පවතින පාරිසරික සංවේදීතාව නිබඳ ව ම සිය වෘත්තියාභිමුඛ මූලාශ‍්‍ර වෙනුවෙන් තොරතුරු සපයයි. දේශගුණය, මුහුදු ඛාදනය, ජල විදුලි නිෂ්පාදනය, ආවේණික පාරිසරික හා සත්ත්ව කොටස්, හරිතාගාර වායු විමෝචනය, එමෙන්ම ගල් කැඩීම, වැලි ගොඩ දැමීම, ඒකදේශීය ශාඛ විනාශය, ජාන මංකොල්ලය, ආක‍්‍රමණික ශාඛ, අනවශ්‍ය පස් ගොඩ දැමීම, වගුරු බිම් ගොඩ කිරීම, කුඹුරු ඉඩම් ගොඩ කිරීම, රක්ෂිත ගිනි ලෑම, පිදුරු වැනි කාබනික පොහොර විනාශ කිරීම, සත්ත්ව දඩයම, කුණු කසළ සහ රසායනික අපද්‍රව්‍ය අක‍්‍රමවත්ව බැහැර කිරීම සහ පතල් මිනිරන් හෑරීම වැනි දෛනිකව අපට හමුවන ගැටලුකාරී පාරිසරික තත්ත්වයන් වෙත සමීපවීම පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ විෂයගත පැතිකඩකි. ලංකාව වැනි ඉතා කුඩා දිවයිනක සිදුවන මෙම අසමතුලිත පාරිසරික  සංහරණය යම් දිනයක  පරම්පරාගතව සිදුවිය හැකි ඛේදනීය තත්ත්වයක් වනු නොඅනුමානය. මෙම තත්ත්වය වළක්වාලීම වෙනුවෙන් ප‍්‍රජාව වහ වහා දැනුවත් විය යුතුය.

    පෘථිවියේ උණුසුම ඉහළයාමෙන් මුහුදු මට්ටම 21 වන සියවස වන විට තවදුරටත් ඉහළ යනු ඇත. ලෝකයේ මුළු ජන සංඛ්‍යාවෙන් 21‍% - 38% ප‍්‍රමාණයක් වෙරළ කි.මී. 30 - 100 අතර කලාපයන්හි  ජීවත් වෙයි. වෙරළ ආශ‍්‍රිතව ගොඩ නැගී පවතින ආර්ථික සම්පාදන ක‍්‍රම විධි බොහොමයක් සිය ජාතික ආර්ථිකය තර කරයි. පාරිසරික හා දේශගුණික වෙනස්වීම නිසා සිදුවන මිහිතලය උණුසුම් වීමේ ප‍්‍රතිවිපාක ඔවුනට නුදුරු කාලය තුළ පොදුවේ භුක්ති විඳීමට සිදු වේ. 

    ශ‍්‍රී ලංකාවේ වෙරළ කලාපය පිළිබඳ ව කර ඇති අධ්‍යයයන ප‍්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතී. 1951 වර්ෂයේදී ඒක පුද්ගල වෙරළ මායිම සෙ.මී. 79ක් වුවද, එය 2031 වසර වන විට සෙ.මී. 07ක් බවට නිගමනය ලැබී තිබේ. දළ ජාතික නිෂ්පාදනයට 40‍%ක දායකත්වයක් වෙරළ කලාප ආශ‍්‍රිත ප‍්‍රජාව විසින් දක්වනු ලබති. මෙනිසා මෙවැනි පසුබිමක දී ඉහත අවධානය යොමු විය යුතු කාලසීමාව අද වන විට ඉස්මතු වී පවතී. මුහුදු වැලි ගොඩ දැමීම, කොරල් විනාශය, මීට ප‍්‍රධාන සාධක වෙයි. දෛනිකව සිදුවන මෙම පාරිසරික සංහරණය මාධ්‍යයන් තුළ වාර්තා නොවන තරම්ය. එමඟින් අදාළ නිලධාරීන් සහ සුරක්ෂිතභාවය ද සිදු නොවන තරම්ය.

    කාර්මික වායු දූෂණය අද වන විට කොළඹ ආදී තදාසන්න නගර කේන්ද්‍ර කර ගනිමින් සීග‍්‍රයෙන් සිදු වෙයි. හරිත ආර්ථිකය (Green Economy) වැනි සංකල්ප වඩ වඩාත් දියුණු විය යුතුය. සංවර්ධනයට සාපේක්ෂව සිදුවන මේ පාරිසරික සංවර්ධනය තිරසාර සංවර්ධනයේම තවත් එක් භූමිකාවකි. ඕසෝන්  වියන වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය කාලය ඉස්මතු වී පවතී. CFC (Chlorofluorocarbon) යන වායුව ක‍්‍රමානුකූලව පරිභෝජන රටාවෙන් ඈත් කළ යුතුය. මෙවැනි ක‍්‍රියාමාර්ග හඳුනා ගැනීමට තරම් දැනුම් ප‍්‍රමාණය ඇතැම් විටක නාගරික ප‍්‍රජාව විෂයෙහිලා ද, ඉතාම අවම මට්ටමක පවතී. මොන්ටි‍්‍රයෙල් සමුළුව (Montreal Protocol) 1987 වර්ෂයේ අත්සන් තැබෙනුයේ මේ වෙනුවෙනි. මෙවැනි ක‍්‍රියාමාර්ගවලට අවශ්‍ය පාරිභෝගික රටාව සැකැස්ම අද දිනයට නො ව හෙට දිනයේ රටේ මෙන් ම මුළු මහත් පෘතුවියේම පැවැත්මට අවශ්‍ය හිතකර ක‍්‍රියාමාර්ග වනු ඇත.

    ශ‍්‍රී ලංකාව තුළ මෑත කාලීනව සිදුවන වන හරණය ඉතා ඉහළ අගයක් ගෙන ඇත. තවදුරටත් මේ තත්ත්වය  ඉහළ ගියහොත් සිදු වනුයේ, ශ‍්‍රී ලංකාව වඩාත් උෂ්ණාධික රටක් බවට නොබෝ කලකින් පරිවර්තනය වීමයි. සංවර්ධනයේ සිදුවන ප‍්‍රතිලාභ අදටත්, හෙට දිනයටත් වඩා අනාගතයට සඵලදායී විය යුතුය. එවැනි අරමුණක් වෙනුවෙන් සිදු කරනු ලබන සංවර්ධනය මෙරට වන හරණය දැඩි ව ආරක්ෂා කළ යුතුය. සිදු කරනු ලබන අනවසර ඉදිකිරීම් හේතුවෙන් මෙරට ජෛව විවධත්වයට හානි සිදුවීම පසුගිය කාලසීමාව තුළ දිගින් දිගටම පුවත් මඟින් වාර්තා විය. අඛණ්ඩව සිදුවන මෙම මාධ්‍ය විමර්ශනය හෙට දිනයේ පාරිසරික පැවැත්මට වඩා යහදායි වනු ඇත. මේ වන විට 78%ක වන විනාශයක් ශී‍්‍ර ලංකාව තුළ සිදු වී හමාරය. ජල පෝෂක සිඳී යාම, වගුරු බිම් සිඳීයාම, ජෛව විද්‍යාත්මක පාරසරික හානිය, දේශගුණික වෙනස් වීම්, කාන්තාරිකරණය,ඩපස සෝදා යාම, ආදිය මෙම වන හරණයට සමගාමීව සිදුවන අතුරු ඵල විපාකයන්ය. මහා පරිමාණයෙන් සිදුවන වාණිජ වගාවන් සහ ඉඩම් කට්ටිකර වෙන් දේසි දැමීම අවධානයට යොමු වී නොමැති තරම්ය. ප‍්‍රාදේශීයව ගොඩනැගෙන පාරිසරක ජනමාධ්‍යවේදීන්ගේ අවශ්‍යතාව ඉස්මතු වන්නේ මෙවැනි බරපතළ ගැටලුවලට අවශ්‍ය ප‍්‍රචාරණය සහ බලධාරීන්ගේ අවධානය යොමුකරවා ගැනීමටයි. එමෙන්ම ප‍්‍රාදේශීයව ප‍්‍රජාව දැනුවත් කිරීම ද මේ හරහා සීග‍්‍රයෙන් සිදුවෙයි.

    පාරිසරික ජමාධ්‍යවේදයේ ම තවත් එක් ජනප‍්‍රිය පැතිකඩකි වාර්තා චිත‍්‍රපට කලාව සහ ඡායාරූප ශිල්පය. වන ජීවි චිත‍්‍රපට (Wild life Documentary) සහ වන ජීවි ඡායාරූප (Wild life Photography) අදිය මෙම ජනප‍්‍රිය තේමාවට අදාළ මූලිකාංග වෙයි. පාරිසරික ආරක්ෂණ උපක‍්‍රම වෙනුවෙන් සැකසුණු වාර්තා චිත‍්‍රපට සහ සඟරා, වාර ප‍්‍රකාශන ජනතාගත කිරීම මෙම පාරිසරික ජනමාධ්‍යවේදයේම තවත් එක් පියවරකි. ප‍්‍රාදේශීය මට්ටමින් සැකසුණු පාරිසරික බලකායන් වෙනුවෙන් ලබාදෙන මාධ්‍ය අනුග‍්‍රහය වඩාත් පුළුල් විය යුතුය. කියුබාව වැනි රටවල් ඩෙංගු උවදුර සිය රටින් තුරන් කර දැමීම සඳහා මෙවැනි මාධ්‍ය මැදිහත්වීම් බහුලව යොදා ගන්නට වූහ.

    එමෙන්ම ගවේෂණාත්මක පාරිසරික පුවත්පත් කලාව වෙනුවෙන් පුවත්පත් තුළින් ලබාදෙන ඉඩ හසර තවත් පුළුල් විය යුතුය. ඉතා අතළොස්සක් පුවත්පත් මෙම ජාතික මෙහෙය වෙනුවෙන් සිය ඉඩ කඩ නිර්ලෝභීව යොදා ගැනීම අගය කළ යුතුය. පාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඇගයීම් උලෙළක් පිළිබඳ ව අසා නොමැති තරම්ය. නමුත් ඉන්දියාව වැනි රටවල් තුළ මෙම ක්ෂේත‍්‍රය සඳහා ඇගයීම් ඉතා ඉහළ තලයක පවතී. ඔවුන් සඳහා රාජ්‍ය මැදිහත් වීමෙන් සපයනු ලබන උපදේශන සේවා සහ පුස්තකාල පහසුකම් පුළුල් විය යුතු අතර මෙරට පාරිසරික කටයුතු වෙනුවෙන් පවතින අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මේ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු කාලය එළඹ තිබේ. ග‍්‍රාමීය ප‍්‍රජාව විෂයෙහිලා පාරිසරික දැනුවත්භාවය ඉතා අවම මට්ටමක පවතී. පරිසරයට සිදුවන අපයෝජනය හඳුනා ගැනීමට සහ ඒවා පිළිබඳ ව දැනුවත් කිරීමට අවශ්‍ය ක‍්‍රමවේද මේ යටතේ ගොඩනැංවීම රටේ හෙට දවසේ පාරිසරික සමතුලිතතාවය සුරක්ෂිත වීමට මහත් පිටුබලයක් වනු ඇත.

    හෙට දවසේ වර්ධනය වන මානුෂීය අවශ්‍යතා වෙනුවෙන් පාරිසරක තත්ත්වය සැකසී ඇත. එසේ වුවද මෙම පාරිසරික තත්ත්වය මඟින් උකහා ගතයුතු ඵල ප‍්‍රයෝජන වඩාත් විධිමත් විය යුතුය. එමඟින් පරිසරයට හානිදායක යමක් සිදුවුවහොත් එහි අනිසි ප‍්‍රතිඵල මතු යම් දිනෙක ඉතා ඉහළින් භුක්ති විඳීමට සිදුවනු නොඅනුමානය. ශී‍්‍ර ලංකාව ඉතා කුඩා භූමි ප‍්‍රදේශයක් හිමි රටකි. නමුත් අපට උරුම වූ මෙන්ම අපට ආවේණික වූ පාරිසරික සමතුලිතතාව ඉතා ඉහළ අගයක් ගනී. මෙම සංවේදීතාවට හානි සිදුවීම පාරිසරික සමතුලිතතාව බිඳීයාමට හේතු වෙයි. හෙට දවසේ මෙරට පාරිසරික වටපිටාව අවදානම් සහගත නොවීමට නම් අප අද සිට ම පරිසරය සුරක්ෂිත කළ යුතුය. එය ජාතියක් සතු වගකීමයි.

    සහන් හේවා ගමගේ
    ප්‍රවෘත්ති නිලධාරි
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය

    NDH

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu