සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි

    ජූලි 26, 2024

    මෙම වසරේ ජූලි 15 වනදා වන විට මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 1, 095, 675 ක් වූ බවත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

    මෙරට සංචාරක ව්‍යාපාරය පාස්කු ප්‍රහාරය, කොවිඩ්19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ බිඳ වැටුණු නමුත් සංචාරක අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන එක්ව දියත් කළ විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

    සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මෙසේද පැවසීය.

    මීට වසර දෙකකට පෙර මෙරට සංචාරක ව්‍යාපාරය පැවතියේ සතුටුදායක තත්ත්වයක නොවෙයි. විශේෂයෙන් පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමට ලක් වුණා. නමුත් සංචාරක අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන එක්ව දියත් කළ වැඩපිළිවෙල තුළින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.

    ඒ අනුව 2022 වසරේ දී 719,978 ක් සහ 2023 වසරේ 1 487,303 ක් ලෙස විදෙස් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා. 2024 ජූලි 15 වෙනිදා වන විට මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1, 095, 675 ක් වනවා. ඒ අනුව මේ වසර අවසානය වන විට පසුගිය වසර දෙකට සාපේක්ෂව වැඩි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් මෙරට සංචාරය කරනු ඇති බවට පුරෝකතනය කළ හැකියි. යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමයට ළඟා වූයේ 2018 වසරේදීයි. එම වසරේදී 2,333,796 දෙනෙකු මෙරට සංචාරය කළා. එම වසරේ සංචාරක ව්‍යාපාරයේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4 ක් ලෙස වාර්තා වුණා. මේ වන විට රටේ පවතින තත්ත්වය අඛණ්ඩව පැවතුන හොත් 2024 වසර අවසන් වන විට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාවත්, ඒහරහා ලබන ආදායමත් අනිවාර්යයෙන් 2018 ප්‍රමාණයට වඩා වැඩි කර ගත හැකියි.

    ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එච්.ජී.ජයසේකර මහතා,

    2022 හා 2023 වසර තුළ උද්භිද උද්‍යාන නැරඹීම සඳහා පැමිණි මුළු දේශිය සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙලින් 1,773,048 ක් හා 1,925,129 ක් වනවා. ඒ අතරින් විදේශිය සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙලින් 103,322 ක් සහ 227,729 ක් වෙනවා. එය ඊට පෙර වර්ෂය සමඟ සංසන්දනයේ දී දේශිය සංචාරකයින් ගේ පැමිණීම පිළිවෙලින් 2022 වර්ෂයේ දී 148% කින් ද 2023 වර්ෂයේ දී 9% කින් ද වැඩීවීමක් බව කිව යුතුයි. විදේශිය සංචාරකයන්ගේ පැමිණීම 2022 වර්ෂයේ දී 461% කින් ද 2023 වර්ෂයේ දී 120% කින් ද වැඩිවී තිබෙනවා.

    2024 වසර ජුනි මස තෙක් උද්භිද උද්‍යාන නැරඹීම සදහා පැමිණි මුළු දේශිය සංචාරකයන් සංඛ්‍යාව 965,468 ක් සහ විදේශිය සංචාරකයන් සංඛ්‍යාව 183,674 ක් වනවා. එය පසුගිය වර්ෂයේ ජුනි මස තෙක් විදේශිය සංචාරකයන්ගේ පැමිණීම සමඟ සන්සංදනය කිරීමේ දී එය 96% කින් වැඩිවී තිබෙන බව කිව හැකියි.

    ඒ අනුව 2022 වසරේ දී ආදායම රුපියල් මිලියන 420.02ක් සහ 2023 වසරේදී ආදායම රුපියල් මිලියන 901.1ක් ලෙස වාර්තා වෙනවා. 2024 වසරේ ජූනි මස වන තෙක් පමණක් රුපියල් මිලියන 735.56ක ආදායමක් වාර්තා වෙනවා. එය පසුගිය වසරවල සමාන කාලපරාසය හා සන්සංදනයේ දී 2022 දී 184% කින්ද 2023 දී 115% කින් ද ඉහළ ගොස් ඇති 2024 දී 133% කින් ද ඉහළ ගොස් තිබෙනවා.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.යූ.රත්නායක මහතා,

    ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරය දෙස අවධානය යොමු කිරිමේදී විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 2018 වසරේදී 2,333,796 ක් ලෙස වාර්තා වුණා. ඒ වගේම 2023 වසරේ සිට විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.

    ඒ අනුව 2023 වසර වන විට සංචාරක පැමිණීම 1,487,303 දක්වා වර්ධනය වූ අතර එය 2024 ජූලි15 වනදා වන විට 1,095,675 ක් ලෙස කැපී පෙනෙන ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනවා. 2024 වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා සංචාරක ව්‍යාපාරයෙන් උපයා ඇති සම්පූර්ණ ආදායම ඩොලර් මිලියන 1556.64ක් පමණ වන බවද සඳහන් කළ යුතුයි.

    සංචාරක සංවර්ධන අධිකාරිය මහා පරිමාණ සංචාරක නිකේතන සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම තුළින් තිරසාර බව කෙරෙහි අවධානය යොමු කරමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටිනවා. වර්තමානය වන විට අයෝජකයින් සඳහා සූදානම් කර තිබෙන ව්‍යාපෘති ලෙස කුච්චවේලි, කල්පිටිය, දෙද්දුව පෙන්වා දිය හැකියි. ආයෝජකයින් සඳහා ඉදිරියේදී විවෘත කිරීමට සැලසුම් කරන ව්‍යාපෘති අතර කුච්චවේලි, කල්පිටිය හා යාල ඇතුළත් වෙනවා.

    2024 වසර වන විට සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන ආයතන ලෙස සංචාරක නවාතැන් 4,534 ක්, සංචාරක මාර්ගෝපදේශකයින් 4,923 ක් හා අනෙකුත් සංචාරක සේවා සපයන්නන් 2,756 වශයෙන් මුළු සේවා සපයන්නන් 12,213 ක් ලියාපදිංචි ව සිටිනවා. මීට අමතරව ලියාපදිංචිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් හා ජංගම වැඩසටහන් පාසිකුඩා සහ මඩකළපුව, කිතුල්ගල, කතරගම, මීමුරේ, ඇල්ල, පින්නවල, ගාල්ල ආදී ප්‍රදේශ තුළ ක්‍රියාත්මක වුණා.

    බණ්ඩාරවෙල, කතරගම, අනුරාධපුර, නුවරඑළිය ප්‍රදේශ තුළ දේශිය සංචාරකයින් සඳහා ජාතික නිවාඩු නිකේතන ක්‍රියාත්මක වන අතර පසුගිය දෙවසර තුළ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති වශයෙන් අලුත්නුවර, මදුනාගල, දුන්හිඳ, රජනාව ඇල්ල, සඳතැන්න කෘෂි ව්‍යාපෘතිය, ගැටබරුව සංචාරක මධ්‍යස්ථානය, ගල්කිස්ස සංචාරක පොලිස් ඒකකය සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය ආදි ව්‍යාපෘති පෙන්වා දිය හැකියි.

    2024 ජූනි මාසය වනවිට සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් ආයෝජන ව්‍යාපෘති ගණන 16 ක් වන අතර එහි අනුමත කාමර 224 ක් වනවා. එහි සමස්ත ආයෝජනය ඩොලර් මිලියන 25.39 ක් පමණ වනවා. ඉදිරි නව සැලසුම් ලෙස සමුද්‍ර සංචාරක මාර්ග සිතියමක් සංවර්ධනය කිරීම, සංචාරක සංවර්ධන ප්‍රදේශ ගැසට් කිරීම, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සමඟ ප්‍රධාන කලාප සැලසුම් නිර්මාණය කිරීම, වගේම බලශක්ති අර්බුදය විසඳීමට සහාය වෙමින් මයික්‍රොග්‍රිඩ් සූර්ය බලශක්ති වැඩසටහන ආදිය ඇතුලත් වෙනවා.

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති එච්.චලක දේව් ගජබාහු මහතා,

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පසුගිය දෙවසර තුළ වැඩසටහන් රැසක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ අනුව මහජන සම්බන්ධතා අංශය මඟින් පළමුව දියත් කළ “Seeing is Believing” ව්‍යාපෘතිය යටතේ අන්තර්ජාතික සංචරණ බිලොග්කරැවන් හා සන්නිවේදකයන් 189ක් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකාවට, රුපියල් බිලියනයකට අධික වටිනාකමක් ඇති මාධ්‍ය ආවරණයක් ලබා ගැනීමට හැකි වුණා.

    ජර්මනියේ ITB, ලන්ඩනයේ WTM, ඩුබායිහි ATM, ප්‍රංශයේ IFTM සහ ඉන්දියාවේ SATTE ඇතුළු ප්‍රධානතම සංචාරක ප්‍රදර්ශන (Travel Fairs) 15ක් සහ සංචාරක හමුවිම් 29ක්ද (Roadshows) අලෙවිකරණ අංශය මඟින් සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගනු ලැබුවා. සංචාරක නියෝජිත ආයතන සහ හෝටල් වෘත්තිකයින් 75 දෙනෙකුටඅධික ප්‍රමාණයක් මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා හවුල් වුණා. උත්සව සම්බන්ධ කටයුතු අංශයේ (Events), විශේෂ ව්‍යාපෘති කිහිපයක් අතරින් ලංකාවේ මුල් වරට පැවැත්වු TAAI ( Travel Agents Association of India) සමුළුව සඳහා ඉන්දීය සංචාරක ඒජන්තවරුන් 500 ක් සහ ඉන්දීය මාධ්‍යකරුවන් 50 ක් සහභාගි වීම සුවිශේෂයි.

    මේ වන විටත් ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් අප විසින් දියත් කෙරෙමින් පවතින අතර, පළමු අදියරයේ මහජන සමිබන්ධතා, ඩිජිටල් (Digital) සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සඳහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව සහ චීනය තෝරාගෙන තිබෙනවා.

    මේ දෙවසර තුළ මේ සියළු ක්‍රියාකරකම් සහ ව්‍යාපෘති වලින් උත්තේජනය ලබමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය 2023 හිදී දියත් කළ නැවුම් සන්නාම අනන්‍යතාව – “Sri Lanka – You ‘ll come back for more” යන ප්‍රවර්ධන තේමා පාඨය යටතේ 2024 වසරේ දී වැඩිම ජාත්‍යන්තර ප්‍රණාම හා පිළිගැනීම් දිනාගෙන තිබෙන බවද සඳහන් කල යුතුයි.

    ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරීස් මහතා,

    දිවයින පුරා පිහිටුවා ඇති ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය හරහා සිදු කරන පාඨමාලා මඟින් 2021 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා පිළිවෙලින් 5000, 6000, 8000 වශයෙන් සිසුන් පුහුණු කර තිබෙනවා. මෙම වසර තුළ දී පුහුණු සිසුන් 10000කට වැඩි ප්‍රමාණයක් සංචාරක හා සත්කාරක ක්ෂේත්‍රයට යොමු කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

    මීට අමතරව අප ආයතනය හා අපගේ පාඨමාලා සම්බන්ධ ව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විවිධ ආයතන සමඟ අත්වැල් බැඳගනිමින් සිටින බව කිව යුතුයි. ජාතික ආයතන ලෙස ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය (National School of Business Management), කොරියානු ලංකා හෝටල් පාසල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය (දෙපාර්තමේන්තුව පරිවාස හා ළමාරක්ෂක සේවා), හා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය සඳහන් කළ හැකි යි.

    ජාත්‍යන්තර ආයතන ලෙස Salzburg විශ්ව විද්‍යාලය – ඔස්ට්‍රියාව, ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ S4IG (AUSAID විසින් අරමුදල් සපයන ලදී) යන ආයතන හඳුන්වා දිය හැකි යි. තවද, International College of Hotel Management – Australia සහ මැලේසියාවේ සත්කාරක ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රධාන විශ්වවිද්‍යාල 3ක් සමඟ අප ආයතනයේ සේවකයින් හා සිසුන් හුවමාරු ගැනීමට අවශ්‍ය සාකච්ජාද මේ දිනවල සිදු කෙරෙනවා.

    ශ්‍රී ලංකා සංචාරක සම්මුති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා,

    MICE සංචාරකයන් හඳුනා ගැනීම සඳහා විද්‍යුත් වීසා ඉල්ලුම් කිරීම් පද්ධතියට MICE වර්ගීකරණය ඇතුළත් කර ගැනීම සහ MICE Expo – කොළඹ හා යාපනය අදියර ද්විත්වය සාර්ථකව සංවිධානය කිරීම පසුගිය දෙවසර තුළ අලෙවිකරණ අංශය ළඟා කරගත් ප්‍රධානතම ජයග්‍රහණ ලෙස සඳහන් කළ හැකියි.

    මීට අමතරව නව ප්‍රවර්ධන වීඩියෝ කිහිපයක්ම නිර්මාණය කිරීමත්, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ නව වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමත්, ඩිජිටල් හා වෙබ් අඩවි පාදක ප්‍රවර්ධන කටයුතු සහ සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය කිරීම (SEO) කඩිනම් කිරීමත් ‍පසුගිය වසර දෙක තුළ සිදු කළා.

    ඒ වගේම අන්තර්ජාතික ප්‍රදර්ශන, උත්සව සහ අවස්ථා සඳහා සහභාගි වීම හා නියෝජනය කිරීමත් (OTM, SAATE, ATM, BLTM, IMEX, WTM etc), MICE ප්‍රවර්ධනය සඳහා හුරු කිරීමේ සංචාර (Familiarization Tours) සංවිධානය කිරීමත්, ශ්‍රී ලංකාව MICE ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම උදෙසා සිදු කරන තවත් වැදගත් ක්‍රියාකාරකම් ලෙස සඳහන් කළ හැකියි.

    තවද 2023 වර්ෂය තුළ වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ අන්තර්ජාතික මට්ටමේ සමුළු රැසකටම සහයෝගය දැක්වූ අතර ආසියානු හා ඕෂනියානු අන්තර් රාජ්‍ය අමාත්‍ය රැස්වීම, අන්තර්ජාතික පුහුණුකරුවන්ගේ සමුළුව, ආසියා පැසිෆික් කලාපීය අමාත්‍යවරුන්ගේ සහ පාරිසරික අධිකාරීන්ගේ සැසිය වැනි අන්තර්ජාතික වැදගත්කමකින් යුත් ප්‍රධාන පෙළේ සමුළු රැසකටම ශ්‍රී ලංකා සංචාරක සම්මුති කාර්යාංශය මූල්‍ය හා මූල්‍ය නොවන සහයෝගීතාවයන් දක්වා තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya