මාර්තු 25, 2019

tami eng youtube google twitter facebook

    වඳ වී යන විල් මුවා රැකගනිමු

    දෙසැම්බර් 14, 2014

    ශ‍්‍රී ලංකාවේ මුව පවුලේ සාමාජිකයන් හතර දෙනා අතුරෙන් දුර්ලභම සාමාජිකයා වන්නේ විල් මුවා හෙවත් ගෝන මුවා ය. සර්විඩේ (Cervidae) කුලයට අයත් වන විල් මුවා ඉංග‍්‍රීසියෙන් Hog Deer, Ceylon Hog Deer, Paddy - field Deer හා Swamp Deer යන නම්වලින් හඳුන්වයි. විද්‍යාත්මක ව Axis porcinus ලෙස හඳුන් වන මේ විශේෂය 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට ලක් වූ නැතහොත් තර්ජිත (Endangered) විශේෂයක් ලෙස දක්වා තිබේ.

    ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති මේ සතුන් තෙත් කලාපයේ කළුතර හා ගාල්ල දිස්ත‍්‍රික්ක දෙකෙහි ද රට තුළට වන්නට ස්ථාන කිහිපයක හා වෙරළබඩ කලාපය ආශ‍්‍රිත පහත් බිම් ප‍්‍රදේශවල පමණක් වාර්තා වේ. මතුගම, බුලත්සිංහල, අම්බලන්ගොඩ, ගෝනපිනුවල, ඇත්කඳුර, කරන්දෙණිය, තෙල්වත්ත, බටපොළ, ඌරගස්මංහන්දිය හා මාඳු ගඟ ආශ‍්‍රිත දූපත්වල ද සුළු වශයෙන් මොවුන් ජීවත් වෙති. එහි වගුරු බිම්, පදුරු වනාන්තර, කුරුඳු වතු ආශ‍්‍රිත ප‍්‍රදේශවල හා කඩොලාන ආශ‍්‍රිත පරිසරවල ජීවත් වේ. එහෙත් දැනට මේ සතුන් වාර්තා වන ප‍්‍රදේශවල සුදුසු වාසස්ථාන බොහොමයක් එළි පෙහෙළි වීම හේතුවෙන් මේ සතුන් ගේ ගහනය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතී.

     

    මේ ප‍්‍රදේශවල ජනතාව විල් මුවා වගා බෝග ආහාරයට ගන්නා සතුරෙකු ලෙස සලකයි. කිරිවදින ගොයම්, කුරුඳු දළු, එළවළු බෝගවල දළු ආහාරයට ගැනීමට මේ සතුන් රාත‍්‍රී කාලයේ දී වගාබිම්වලට පැමිණේ. එසේ පැමිණෙන සතුන්ව විදුලි සැර යෙදීමෙන් හා මළ පුඩු වැනි උගුල් ඇටවීමෙන් මරණයට පත් කරයි. ඉතාම සීමිත ගහනයක් පමණක් ජීවත් වන මේ සතුන් මේ අයුරින් මරා මස් විකිණීම මේ ප‍්‍රදේශවල බහුලව සිදු කරයි. විශේෂයෙන් මෙය අම්බලන්ගොඩ, කරන්දෙණිය, බටපොළ හා ඌරගස්මන්හන්දිය වැනි ප‍්‍රදේශවල බහුල ව සිදුවන්නකි.

     

    ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති මේ සතුන් ආසියාවේ රටවල් කිහිපයක ම වාර්තා වේ. නේපාලය, භූතානය, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය, පකිස්තානය හා ඉන්දියාව වැනි රටවල මේ විශේෂය ව්‍යාප්ත ව සිටී. ඉන්දියාවේ තරමක් බහුල ව වාසය කරන මේ සතුන් බෙංගාලය, උතුරු ඉන්දියාව, පංජාබය හා ඇසැමය යන ප‍්‍රදේශවල ජීවත් වේ. මියන්මාරයේ කඩොලාන වනාන්තරවල තරමක් බහුල ව මේ සතුන් වාර්තා වේ.

     

    විල් මුවා ලංකාවේ ඉතා සීමිත ප‍්‍රදේශයක පමණක් ව්‍යාප්ත ව සිටින බැවින් සමහරුන් මේ විශේෂය යටත් විජිත යුගයේ දී දඩයම පිණිස ලංකාවට හඳුන්වා දුන් සත්ත්ව විශේෂයක් ලෙස හඳුන්වයි. එහෙත් ඒ සඳහා කිසිදු ලිඛිත හෝ වෙනත් සාධක නොමැති අතර මේ විශේෂය ඈත අතීතයේ සිට ලංකාවේ ජීවත් වූ බවට සාධක පවතී. වසර 14000 ක් පමණ පැරණි අලවල පොත්ගුල් ලෙන තැනීමේ දී විල් මුවා ගේ යටි හනුවේ දතක කොටස් හමු වී ඇත. ඒ ගල් ලෙනෙහි හමු වූ සත්ත්ව නිදර්ශක පිළිබඳ ව ආචාර්ය ගාමිණී අධිකාරි මහතා සමඟ පර්යේෂණවල නිරත වන කැළුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා විසින් මේ බව තහවුරු කර තිබේ.

     

    ඒ අනුව විල් මුවා ඈත අතීතයේ සිට ම ලංකාවේ ජීවත් වූ බවට තහවුරු වේ. තව ද දැනට වඩා පුළුල් ව්‍යාප්තියක් මේ සතා ගේ අතීතයේ තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. තව ද ලංකාවේ වාර්තා වන විශේෂයේ ලක්ෂණ හා ඉන්දියාවේ වාර්තා වන විශේෂයේ ලක්ෂණ අතර පුළුල් වෙනසක් පවතින බව බොහෝ පර්යේෂකයින් ගේ මතයයි. මේ පිළිබඳ ව වැඩිදුර පර්යේෂණවල නිරත වුවහොත් මේ විශේෂය ලංකාවට ආවේණික විශේෂයක් වීමේ වැඩි හැකියාවක් ඇති බව දැනට විද්‍යාඥයින් අතර පවතින මතයකි.

     

    ප‍්‍රමාණයෙන් සෙන්ටිමීටර 60 - 65ත් අතර උසින් යුත් විල් මුවා ගේ ශරීර වර්ණය ඒකාකාර ලා දුඹුරු පැහැති ය. ශරීර ප‍්‍රමාණයෙන් තිත් මුවාට වඩා කුඩා වන අතර  ඕලු මුවාට වඩා තරමක් විශාල ය. ශරීරයේ සුදු පැහැති තිත් නොමැති බැවින් තිත් මුවාගේ ශරීර වර්ණය රතු - දුඹුරු පැහැයක් ගන්නා බැවින්  ඕලු මුවා ගෙන් ද වෙන් කර හඳුනා ගත හැකි ය. පිරිමි සතුන්ට කොටස් තුනකට බෙදුණු අං යුගලක් හිමි ය. සාපේක්ෂව තරමක් දික් වූ වලිගයක් දරණ මේ සතා ගේ පාද තරමක් කෙටි ස්වභාවයක් ගනී. ඇස් පැහැදිලි ව නෙරා පෙනෙන අතර කළු පැහැයෙන් යුක්ත වේ.

     

    මේ සතුන් ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රධාන වශයෙන් ම වාසස්ථාන ආරක්ෂා කිරීම සිදු කළ යුතු ය. ඒ සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතු ව ඇත. මීට අමතර ව මේ සතුන් විවිධ ආකාරයෙන් මරණයට පත් කිරීමට එරෙහි ව නීති ක‍්‍රියාත්මක කළ යුතු ව ඇත.

     

    2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව විල් මුවා ආරක්ෂිත සතෙකි. පනතේ 30 වන වගන්තියට අනුව මේ සතුන්ට තුවාල සිදු කිරීම, මැරීම, අල්ලා ගැනීම, අල්ලා ගැනීම සඳහා මළ පුඩුවක්, උගුලක්, තුවක්කුවක්, පොල්ලක් හෝ වෙනත් උපකරණයක් භාවිත කිරීම, මරණ ලද හෝ අල්ලා ගනු ලැබූ සතෙකු හෝ සතා ගේ කොටසක් (මස් ඇතුළුව) ළඟ තබා ගැනීම හෝ සන්තකයේ තබා ගැනීම, මස් විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම, සම් හෝ අං තට්ටු ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙවැනි වරදකට වරදකරු වූ පුද්ගලයකුට රු. 20,000කට නොඅඩු හෝ රු. 50,000කට නොවැඩි දඩයක් හෝ අවුරුදු දෙකකට අඩු නොවන හෝ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා වූ බන්ධනාගාර ගත කිරීමක් හෝ ඒ දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකට ම හෝ යටත් විය යුතු ය.

     

    මේ නීති ක‍්‍රියාත්මක කිරීම පමණක් නො ව ජනතාව ඒ පිළිබඳ ව දැනුම්වත් කිරීම තුළින් මේ සතුන් රැක ගැනීම සඳහා යොමු වීම අද වන විට අත්‍යවශ්‍ය ව තිබේ.

     

    SDF

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu