පසුගිය සමයේදී සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (07)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අදාළ ඖෂධය ගෙන්වීමට මූළික වූ අයට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීන්දුකළ බවද ඒ මහතා පැවසිය. මෙවැනි ආකාරයේ වන්දි පිරිනැමීමක් මීට පෙර සිදුව නොමැති බවද ඇමතිවරයා පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසීය.
නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජනය කරන ලද රෝගීන් ගණනාවකගේ ඇස් අහිමි වීමේ තත්ත්වයන් වාර්තා වුණා. සමහර කෙනෙක් පූර්ණ අන්ධ භාවයට පත් වුණා. ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කරලා ඒ කමිටු වාර්තාව ලැබුණා. ඊයේ අපි කැබිනට් මණ්ඩලයේ දී තීන්දු කළා එකක් ඒ ආබාධිත තත්ත්වයට පත්වෙන ලද රෝගීන් 17 දෙනෙකුට රජය මගින් වන්දි මුදල් ලබා දෙන්න. මෙවැනි ආකාරයේ වන්දි ප්‍රදානයක් මීට කලින් සිදුවෙලා නැහැ.