ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අගෝස්තු මස සිට ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට එරට රජය බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
සිය ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින් කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එසේම ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික පියවර සාර්ථකව ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මෙම සංචාරය අතරතුර සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගනිමින්, RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාව පළ කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ගෝලීය ජනගහනය මෙන්ම ආර්ථික නිපැයුම් සඳහා ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම ලෙස සැලකෙන RCEP ආසියානු පැසිපික් කලාපයේ ආර්ථික සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා රටවල් 15ක සහභාගීත්වයෙන් පිහිටුවා ඇත. මෙයට බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මලයාසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන ආසියාන් (ASEAN) කලාපීය සාමාජික රටවල් 10 මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, චීනය සහ දකුණු කොරියාව යන සෙසු ප්‍රධාන ආර්ථික බලවතුන් ද ඇතුළත් වේ.


