බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කළමනාකරණය සඳහා නව ආයතනයක්

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කළමනාකරණය සඳහා නව ආයතනයක්
  • SocialShare:

ශ්‍රී ලංකාවේ නාගරික හා නගරාන්තර මගී ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, ඒකාබද්ධ හා පරිශීලක හිතකාමී සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කළමනාකරණය සඳහා නව රාජ්‍ය සමාගමක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බස් රථ, දුම්රිය, කුලී රථ සහ අනෙකුත් ප්‍රවාහන සේවා අතර කාර්යක්ෂම සම්බන්ධීකරණයක් ඇති කිරීම සඳහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ වැඩසටහනකි. මේ වන විට මාකුඹුර සහ කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර, අනුරාධපුර (දක්ෂිණ) සහ මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

එම මධ්‍යස්ථානවල මෙහෙයුම්, පරිපාලනය, ප්‍රමිතිකරණය, ව්‍යාපාර සංවර්ධනය සහ ජාතික මට්ටමේ ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය සඳහා ප්‍රවාහන විෂයභාර අමාත්‍යාංශය යටතේ ස්ථිර ආයතනික ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා තිබිණි.

ඒ අනුව, අදාළ අමාත්‍යාංශ සහ නිලධාරීන්ගේ නිර්දේශ මත, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන ප්‍රකාරව, ප්‍රවාහන විෂයභාර අමාත්‍යාංශය යටතේ පාලනය වන 100%ක් මහා භාණ්ඩාගාරයට අයත් සීමා සහිත (පොදු) සමාගමක් පිහිටුවීමට තීරණය කර ඇත.

ඒ සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන වැඩ බලන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ(27) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.