විදේශ උපාධි හදාරන රජයේ ශිෂ්‍යත්වලාභීන්ට නව සහනයක්

විදේශ උපාධි හදාරන රජයේ ශිෂ්‍යත්වලාභීන්ට නව සහනයක්
  • SocialShare:

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහිත විදේශීය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සිසුන් සඳහා සිදුකරන ගෙවීම් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2025 අයවැය යෝජනාවක් අනුව හඳුන්වා දුන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් ඉහළම දක්ෂතා දැක්වූ සිසුන්ට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහිත විදේශීය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි හැදෑරීම සඳහා අවස්ථාව සලසා ඇත.

මෙම වැඩසටහන යටතේ එක් ශිෂ්‍යත්වලාභියෙකු සඳහා වසරකට උපරිම රුපියල් මිලියන 20 බැගින් සහ සිව් වසරක උපාධි වැඩසටහන සඳහා උපරිම රුපියල් මිලියන 80ක මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා දීමට නියමිතය.

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග ප්‍රතිඵල මත සිසුන් 32 දෙනෙකු මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා තෝරාගෙන ඇති අතර, ඉන් සිසුන් 9 දෙනෙකු මේ වන විට අධ්‍යයන කටයුතු සඳහා විදේශගතව ඇත. අනෙකුත් සිසුන් විදේශගත වීම සඳහා වන මූලික කටයුතු සිදු කරමින් පවතී.

විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශීය මුදලින් සිදුකළ යුතු ගෙවීම් සඳහා පවතින ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව සැලකිල්ලට ගනිමින්, විනිමය අනුපාතිකය ස්ථාවර වන තෙක් එක් ශිෂ්‍යයෙකුට වසරකට රුපියල් මිලියන 2.5ක් දක්වා වූ විනිමය අනුපාතික ගැලපුම් දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.

ඒ සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට 2026 ජූලි 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.