දිවයින පුරා “ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන 1,000ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මෙම ව්‍යාපෘතිය සඳහා 2026 අයවැය මඟින් රුපියල් මිලියන 1,500ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, 2028 වසර අවසන් වන විට දිවයින පුරා සුවතා මධ්‍යස්ථාන 1,000ක් දක්වා සංඛ්‍යාව ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ව්‍යාපෘතියේ නියමු අදියර යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇත්ඔය, කළුතර දිස්ත්‍රික්කයේ තල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ලවත්ත සහ මාතලේ දිස්ත්‍රික්කයේ ගන්කන්ද යන ප්‍රදේශවල ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පහක් සාර්ථකව ස්ථාපිත කර ඇත.
දෙවන අදියර යටතේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකළපුව, කල්මුණේ, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, පොලොන්නරුව, මාතලේ, අම්පාර, කෑගල්ල, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුවතා මධ්‍යස්ථාන 42ක් මේ වනවිට ජනතා අයිතියට පත්කර ඇත. එම සංඛ්‍යාව මෙම වසර තුළ 300 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ.
ආසන්න වශයෙන් 10,000ක ජනගහනයකට සේවා සැපයීම ඉලක්ක කරගත් මෙම මධ්‍යස්ථාන හරහා සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග නිවාරණය, ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ සහන වෛද්‍ය සේවා ඇතුළු පුළුල් සේවා පැකේජයක් නොමිලේ ලබාදීමට නියමිතය.
බෝ නොවන රෝග හඳුනාගැනීම සහ පාලනය, පිළිකා තත්ත්ව කලින් හඳුනාගැනීම, සුළු ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සෞඛ්‍ය සේවා, පුනරුත්ථාපන සත්කාර, යොවුන් සහ තරුණ සෞඛ්‍ය සේවා, ප්‍රාථමික අක්ෂි හා මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය උපදේශන, පෝෂණ සත්කාර, මත්ද්‍රව්‍ය නිවාරණ සහ ප්‍රතිකාර සේවා ඇතුළු සේවාවන් රැසක් මෙහිදී ලබාදෙනු ඇත.
සෑම මධ්‍යස්ථානයකටම පවුලේ වෛද්‍යවරයෙකු, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරියෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක, ඖෂධවේදියෙකු ඇතුළු නිලධාරීන් අට දෙනෙකුගෙන් සමන්විත විශේෂිත සෞඛ්‍ය කණ්ඩායමක් අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇත.


