මෙවර අයවැයෙන් සැළකියයුතු මුදල් ප්‍රමාණයක්, අතරමග නැවතී ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද (07) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය යන සේවාවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රුපියල් බිලියන 69ක ව්‍යාපෘති මෙලෙස අතරමග නතර වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉදිරි බඳවා ගැනීම් සිදු කිරීමේදී රෝහල්වල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. රෝහල්වල පුරප්පාඩු මෙන්ම ඇතැම් රෝහල්වල කාර්ය මණ්ඩලයේ අතිරික්තයක් සිටින බවත් ඉදිරියේදී එය කළමනාකරණය කරන බවද පැවසීය.