“Gift of Vision” වැඩසටහනට වසරක් සපිරේ…රෝගීන් 1000කට අක්ෂි ශල්‍යකර්ම

“Gift of Vision” වැඩසටහනට වසරක් සපිරේ…රෝගීන් 1000කට අක්ෂි ශල්‍යකර්ම
  • SocialShare:

“Gift of Vision” විශේෂ වැඩසටහනට වසරක් සපිරීම නිමිත්තෙන්, ඇසේ සුද හේතුවෙන් පෙනීම අහිමි වූ රෝගීන් 1000 දෙනෙකු සඳහා අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා (21) කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ආරම්භ කෙරිණි.

එහි දෙවන දිනය වූ ඊයේ (22) එම වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිරීක්ෂණයක නිරත විය.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, කුමන බාධක හෝ අභියෝග පැමිණියත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන්කරන මුදල් කිසිදු ලෙසකින් අඩු නොකරන බවයි. මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය හෝ පෙර සිදු වූ දිට්වා සුළි කුණාටු වැනි අභියෝග හමුවේ වුවද සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ප්‍රතිපාදන අඛණ්ඩව ලබාදීමට රජය කැපවී සිටින බවද ඔහු පැවසීය.

රජයේ ප්‍රධාන රෝහල්වල පොරොත්තු ලේඛනවල සිටින අක්ෂි රෝගීන් සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් 2025 මාර්තු මාසයේදී ආරම්භ කරන ලද “Gift of Vision” වැඩසටහන යටතේ පසුගිය වසර තුළ අක්ෂි ශල්‍යකර්ම 4000කට අධික ප්‍රමාණයක් සිදු කර ඇත. 2026 වසරේ මෙය තෙවන වැඩසටහන වේ.

තවද, මෙරට සෞඛ්‍ය සේවාව ව්‍යුහාත්මකව පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව ද, ආයතන කේන්ද්‍ර කරගත් සේවාවක සිට පුරවැසියා කේන්ද්‍ර කරගත් සේවාවක් බවට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පුරවැසියන්ට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම, නිරෝගී දිවි පැවැත්මක් සහතික කිරීම සහ ආර්ථිකයට දායක වන සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රැකගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ බවද ඔහු පැවසීය.

ඒ සඳහා කෙටි, මධ්‍ය හා දිගු කාලීන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය. එමෙන්ම, බෝ නොවන රෝග පාලනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා පිළිකා, හෘද, වකුගඩු, ශ්වසන සහ දියවැඩියාව ඇතුළු රෝග කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ඒවා පාලනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

මෙම වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය සහ කොළඹ ජාතික අක්ෂි රෝහල එක්ව ක්‍රියාත්මක කරයි. මෙහිදී ශල්‍යකර්ම සඳහා ලක්වන රෝගීන්ට උසස් ප්‍රමිතියේ අක්ෂි කාච නොමිලේ ලබාදීම ද සිදු කෙරේ.

අක්ෂි කාච සඳහා එක්සත් රාජධානියේ Assist RR සංවිධානයේ වෛද්‍ය සවේශ්වරන් මහතා අනුග්‍රාහකත්වය ලබා දී ඇත. එමෙන්ම සිංහ සමාජය මගින් ද ජාතික අක්ෂි රෝහලට අක්ෂි කාච පරිත්‍යාගයක් සිදු කර ඇත.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සෞඛ්‍ය වෘත්තිකයන් සහ ආයතනවලට අමාත්‍යවරයාගේ ඇගයීම ද පිරිනැමිණි.