සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ සෞදි අරාබි රාජධානියේ තානාපති, කලීඩ් හමූද් නසාර් අල්කහ්තානි (Khalid Hamoud Nasser Alkahtani) මහතා 2026 ජූලි 16 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සිය සමුගැනීමේ නිල පණිවුඩය දන්වා සිටියේය.
ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර පවතින අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අග්‍රාමාත්‍යතුමිය, ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටු බලපෑමෙන් පසුව සෞදි අරාබි රජය විසින් ශ්‍රී ලංකාව වෙත කඩිනමින් ලබාදුන් මානුෂීය ආධාර සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළාය.
සෞදි රජයේ අරමුදල් මගින් ක්‍රියාත්මක වන වැඩසටහන් හරහා සෞදි අරාබි රජය මඟින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා ලබාදෙන අඛණ්ඩ සහයෝගය ද අග්‍රාමාත්‍යතුමියගේ ඇගයීමට ලක්විය.
තම ධූර කාලය තුළ ශ්‍රී ලංකා රජය ලබාදුන් සහයෝගය පිළිබඳව තානාපතිතුමන්, ශ්‍රී ලංකා රජයට ස්තූතිය පුද කළ අතර, ඉදිරි වසරවලදී ද සෞදි අරාබි රාජධානියේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බවට සහතික විය.
දෙරටේම අන්‍යෝන්‍ය යහපත උදෙසා පවත්නා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය තානාපති යසීර් අල්හසෙමි (Yasir Alhazemi) මහතා, තානාපති ලේකම් ඒ.සී.ඒ. මෂාහිර් (A.C.A. Mazahir) මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.


